වියළි කාලගුණයෙන් උතුරු, නැගෙනහිර, උතුරුමැද සහ ඌව දැඩි අර්බුදයක

මේ වන විට දිවයින පුරා ව්‍යාප්ත වෙමින් පවතින වැසි රහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.දිගුකාලීන වියළි කාලගුණය හේතුවෙන් පානීය ජල හිඟයක් මෙන්ම ගොවිතැන් කටයුතුද බරපතල ලෙස අඩපණ වී ඇති බව එම ප්‍රදේශවල ජනතාව පවසයි.පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති නියං තත්ත්වය හේතුවෙන් කුඹුරු ගොවිතැන් ද විනාශ වීමට පටන්ගෙන ඇත. ජලය නොමැති වීම නිසා යල කන්නයේ වගා කටයුතු අතහැර දැමීමට බොහෝ ගොවීන්ට සිදුව ඇති අතර, දැනට වගා කර ඇති වී බිම් ඉරිතලා යාමට පටන්ගෙන තිබේ.එමෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් පවසන්නේ ජලය නොමැති වීම හේතුවෙන් සිය අස්වනු වලට දැඩි හානි සිදුව ඇති බවයි. පසුගිය කාලවලදී වාර්තා වූ ආකාරයට අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම, මන්නාරම ඇතුළු දිස්ත්‍රික්ක 11කට අධික ප්‍රමාණයක පවුල් ලක්ෂයකට වඩා මෙවැනි නියං තත්ත්වයන් හමුවේ දැඩි ජල හිඟයකට මුහුණ දී තිබුණි.උතුරුමැද පළාතේ ප්‍රධාන ජලාශ රැසක ජල මට්ටම මේ වන විට 40% ට වඩා අඩු මට්ටමකට පහත වැටී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මූලාශ්‍ර සඳහන් කරයි. අනුරාධපුර, පොළොන්නරුව, මාතලේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ජලාශවල ජලය ලබාගැනීම 75% ඉක්මවා ඇති බැවින් එම ප්‍රදේශ දැඩි ජල හිඟ අවදානම් කලාප ලෙස සැලකේ.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වියළි කාලගුණයක් පවතිනු ඇති බවයි. අද (අගෝස්තු 11) දිනය සඳහා නිකුත් කළ නවතම නිවේදනයට අනුවද බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණයක් පවතින අතර, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට පමණක් විටින් විට වැසි ඇතිවිය හැක.මෙම තත්ත්වයට හේතුව ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා පෙන්වා දෙන්නේ එල් නීනෝ සහ ධන අගයක් ගන්නා ඉන්දියානු සාගර ද්වි ධ්‍රැව (IOD) සංසිද්ධියයි.ඔහු අනතුරු අඟවා ඇත්තේ ජූනි මාසයෙන් පසු එල් නීනෝ තත්ත්වයක් සක්‍රීය වුවහොත් ජූලි සහ අගෝස්තු මාසවලදී ශ්‍රී ලංකාවට දැඩි නියං තත්ත්වයකට මුහුණ දීමට සිදුවිය හැකි බවයි. එක්සත් ජාතීන්ගේ කාලගුණ ඒජන්සියට අනුව එල් නීනෝ තත්ත්වයක් ඇතිවීමේ සම්භාවිතාව 80% ඉක්මවන බවත්, දේශීය පුරෝකථනයන්ට අනුව එම සම්භාවිතාව 82% කට වඩා වැඩි බවත් වාර්තා වේ.”එල් නීනෝ තත්ත්වයක් වර්ධනය වුවහොත් ජූලි සහ අගෝස්තු මාසවලදී වර්ෂාපතනය තියුනු ලෙස අඩුවනු ඇත. එය කෘෂිකර්මය, වාරිමාර්ග, ජල සැපයුම සහ බලශක්තියට දැඩි අවදානමක්,” යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබුණි.කෙසේ වෙතත් එළඹෙන මහ කන්නයේ ආරම්භයත් සමඟ ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලට පෙර අදාළ ප්‍රදේශවලට සැලකිය යුතු වැසි තත්ත්වයක් අපේක්ෂා කළ නොහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දී තිබේ.මේ හේතුවෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ පානීය ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසයි.

Ask Meta AI…

කාලීන පුවත්