වීදි සුනඛ ප්‍රශ්නයට විසඳුම කන්න නොදී සිටීම ද? – විශේෂඥ වෛද්‍ය ආර්. එන්. ජී. රාජපක්ෂ


වීදි සුනඛ ප්‍රශ්නය ලොව බොහෝ රටවලට පොදු අභියෝගයක් වුවද, දියුණු රටවල් බොහොමයක් වන ජර්මනිය, නෙදර්ලන්තය, ස්වීඩනය, නෝර්වේ, ස්විට්සර්ලන්තය, ඕස්ට්‍රේලියාව සහ ජපානයේ බොහෝ ප්‍රදේශ මෙම ගැටලුවට සාර්ථක විසඳුම් ලබා දී තිබේ. ඒ එකම ක්‍රියාමාර්ගයකින් නොව, නීතිමය, සෞඛ්‍යමය සහ සමාජමය පියවර කිහිපයක් ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමෙනි. ඔවුන් අනුගමනය කළ ප්‍රධාන පියවර වන්නේ සියලු සුරතල් සුනඛයන් ලියාපදිංචි කිරීම සහ මයික්‍රොචිප් සවි කර සෑම සුනඛයෙකුටම අනන්‍යතා අංකයක් ලබා දීමයි. එමගින් අතහැර දැමූ සුනඛයෙකුගේ අයිතිකරු පහසුවෙන් හඳුනාගෙන ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනීමට හැකි වී තිබේ. දෙවනුව, අයිතිකරුවන්ට අඩු වියදමින් හෝ නොමිලේ වන්ධ්‍යාකරණ සේවාව ලබා දීමෙන් අයාලේ උපදින පැටවුන් සංඛ්‍යාව විශාල ලෙස අඩු කර ඇත. තෙවනුව, සතුන් අතහැර දැමීම නීති විරෝධී කර, දඩ මුදල් සහ සමහර රටවල සිර දඬුවම් පවා පනවා නව වීදි සුනඛයන් බිහිවීම වැළැක්වීමට කටයුතු කර ඇත.

එමෙන්ම එම රටවල් සත්ව රැකවරණ මධ්‍යස්ථාන ස්ථාපිත කර වීදි සුනඛයන් අල්ලා තාවකාලිකව රඳවා ගෙන, එහිදී සෞඛ්‍ය පරීක්ෂා, එන්නත්, වන්ධ්‍යාකරණය සිදු කර නව අයිතිකරුවන්ට භාර දීම සිදු කරයි. සුනඛයන් මිලදී ගැනීම වෙනුවට දරුකමට ගැනීම හෙවත් ඇඩොප්ෂන් ප්‍රවර්ධනය කිරීම තුළින් ආරක්ෂිතව ඇති දැඩි කිරීම දිරිමත් කර ඇත. විශේෂයෙන්ම ජලභීතිකා රෝගය වැනි බෝවන රෝග පාලනය සඳහා පුළුල් එන්නත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, වගකීමෙන් සුරතල් සතුන් ඇති කිරීම, අතහැර නොදැමීම, නිසි ආහාර සහ සෞඛ්‍ය රැකවරණය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම ද අඛණ්ඩව සිදු කෙරේ. එමෙන්ම දේශීය පාලන ආයතනවල වගකීම වැඩි කර, වීදි සුනඛයන් පිළිබඳ පැමිණිලි භාර ගැනීම, ඔවුන් අල්ලා ගැනීම, ප්‍රතිකාර කිරීම සහ නැවත පදිංචි කිරීම සඳහා විශේෂ කණ්ඩායම් පවත්වාගෙන යාම ද සිදු වේ.

සාර්ථක වූ රටවල පොදු රහස වී ඇත්තේ “Catch-Neuter-Vaccinate-Register-Adopt” (CNVRA) හෙවත් අල්ලා ගැනීම – වන්ධ්‍යාකරණය – එන්නත් කිරීම – ලියාපදිංචි කිරීම – දරුකමට ලබා දීම යන ඒකාබද්ධ ක්‍රමවේදයයි. දරුකමට ලබා දිය නොහැකි සුනඛයන් ආරක්ෂිත රැකවරණ මධ්‍යස්ථානවල තබා ගැනීම ද ඇතැම් අවස්ථාවල සිදු කරයි. ශ්‍රී ලංකාව සඳහා ද බොහෝ විශේෂඥයන්ගේ අදහස වන්නේ, එක් ක්‍රියාමාර්ගයක් පමණක්, උදාහරණයක් ලෙස වන්ධ්‍යාකරණය පමණක් හෝ අල්ලා ඉවත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවයි. ඒ වෙනුවට විශාල පරිමාණ වන්ධ්‍යාකරණය, රේබීස් එන්නත් කිරීම, සුනඛ ලියාපදිංචිය සහ මයික්‍රොචිප් කිරීම, සතුන් අතහැර දැමීමට එරෙහි නීති ක්‍රියාත්මක කිරීම, ප්‍රමාණවත් රැකවරණ මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සහ ජනතාවගේ වගකීම් පිළිබඳ දැනුවත් කිරීම යන සියල්ල එකට ක්‍රියාත්මක කළ විට පමණක් දිගුකාලීන විසඳුමක් ලැබෙන බවයි.

මෙම පසුබිම තුළ, එම සතුන්ට කෑම ලබා නොදෙන ලෙස බලධාරීන් කරන ඉල්ලීම් සහ ක්‍රියාවලින් හැඟෙන්නේ එවැනි තනතුරු දරන පුද්ගලයන්ගේ නුසුදුසුකමයි. ලෝකයේ කිසිම රටක් කන්න නොදී වීදි සුනඛයින් තුරන් කර නැත. ඊට වඩා පුළුල් වැඩපිළිවෙළක් ඔවුන් සකස් කර ඇත. මැලේරියාව, ගලපටලය, පෝලියෝ වැනි නොපෙනෙන විෂබීජ හෙවත් සතුරන් නැති කිරීමට එකල රජයන් විවිධ මර්දන ව්‍යාපාර ආරම්භ කර ඒවා මෙරටින් තුරන් කළේය. පිටරටවල මැසි, මදුරු, කුහුඹි, වේයන් පවා විද්‍යාත්මකව තුරන් කළෝය. එසේ නම් මෙවැනි ඇහැට පෙනෙන ගැටලුවක් නැති කිරීමට දියුණු රටවල ආභාසය නොලබා මෙවැනි අසාර්ථක, ම්ලේච්ඡ ක්‍රම යෝජනා කරන අයට මොළේ පෑදීමට මෙම සටහන වැදගත් වේ. අපේ රිලා ප්‍රශ්නය, වල් අලි ප්‍රශ්නය විසඳන්නේ ඔවුන්ට කන්න නොදී ද? එලෙසම මෙම කන්න නොදී සිටීමේ ක්‍රමය ද අසාර්ථක නොවන්නේදැයි සිතා බැලිය යුතුය.

මෙම ප්‍රශ්නය පිළිබඳව අදෘශ්‍යමාන පැත්තක් ද ඇත. ජපානය, ඕස්ට්‍රේලියාව වැනි රටවල කරදරකාරී සතුන් එම රජයන් විසින් තොග පිටින් විනාශ කළ අවස්ථාවලදී විවිධ සත්ව ආරක්ෂක හා අවිහිංසාවාදී සංවිධාන එම රජයන් ලොව පුරා ඉතා අපකීර්තියට පත් කළ අතර, එයින් වාසි ලබා ගත්තෝ ද බොහෝය. එයද මතක තබා ගත යුතු කරුණකි. මිනිසුන් වීදි සුනඛයින් සහ බළලුන්ට කෑම දෙන්නේ ඔවුන් එතැන සිටින නිසා ය. බටහිර රටවල පාරවල් අයිනට කෑම දමා යන්නේ නැත්තේ කවුරුවත් සතුන් නැති නිසාය. බටහිර රටවල අඩුම ගානේ කාක්කෙක්වත් දකින්නේ කලාතුරකිනි. රිලවුන්ට සහ වල් අලින්ට කෑම නොදෙන්නේ ඔවුන් නිවෙස්වල හදන සුරතල් සතුන් නොවන නිසාය. සොබා දහමට අනුව වුව සුනඛයන් සහ බළලුන් අපේ ගෘහාශ්‍රිත සුරතල් සතුන් වන අතර, ඔවුන්ගෙන් ප්‍රයෝජන ගන්නා මනුෂ්‍යයින් බොහෝය. වල් අලින්ගෙන් සිදුවන ජීවිත හානි දිනපතා වාර්තා වන අතර, සුනඛයින් හැපීමෙන් හා බයිසිකල්වල හැපී සිදුවන අනතුරු ඊට බොහෝ අඩුය. වාර්තා අනුව ජලභීතිකාව දැන් මෙරට බොහෝ අඩු වී ඇත්තේ ජලභීතිකා මර්දන ව්‍යාපාරය නිසාය.

විශේෂඥ වෛද්‍ය ආර්. එන්. ජී. රාජපක්ෂ

සතුන්ටත් හිමි අපේ ලෝකය