මේ වන විට රට තුළ මහත් ආන්දෝලනයකට ලක්ව තිබෙන අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාමය යෑමේ සේවා කාලය දිගු කිරීමට අමතරව අගවිනිසුරු ධූරය සඳහා නිශ්චිත කාල සීමාවක් පැනවීමට ද රජය සැලසුම් කර තිබේ.ඒ අනුව අගවිනිසුරු ධුරය සඳහා උපරිම වසර හයක සේවා කාලයක් නියම කිරීමට රජය සූදානම් වන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස් සීමාව වසර දෙකකින් දීර්ඝ කිරීම සඳහා රජය විසින් හඳුන්වා දීමට අපේක්ෂා කරන යෝජිත සංශෝධනවල තවත් එක් අංගයක් ලෙස මෙම පියවර ගැනීමට නියමිත බව ද සන්ඩේ ටයිම්ස් සඳහන් කරයි.අගවිනිසුරු ධුරය සඳහා උපරිම වසර හයක සේවා කාලයක් පැනවීමට ගන්නා මෙම පියවර මගින්, අගවිනිසුරුවරයෙකු සිය වසර හයක සේවා කාලය සම්පූර්ණ කිරීමෙන් පසු, විශ්‍රාම වයසට පැමිණ නොමැති වුවද,එම ධුරයෙන් ඉවත් විය යුතු වේ.මේ වෙනුවෙන් ආණ්ඩුව ගෙන ඒමට සැලසුම් කර ඇති සංශෝධන යටතේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ නව විශ්‍රාම වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරයෙකුගේ විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65 දක්වාත් ඉහළ නැන්වීමට නියමිත ය.ඒ අතර සෙසු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් ඉහළ දැමීමට යෝජනා වී ඇත.මෙම යෝජිත සංශෝධන නිතීපතිවරයාගේ අනුමැතිය ලැබීමෙන් පසු ලබන මාසය මුල දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පවසා ඇති අතර . මෙම යෝජනා දැනටමත් නීති කෙටුම්පත්කරු වෙත යොමු කර ඇති බව වාර්තා වේ.මෙම සංශෝධන පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමෙන් පසු එය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමට අවස්ථාව පවතින අතර, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ලැබුණු පසු සංශෝධන පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට සැලසුම් කර ඇත.