මහර බන්ධනාගාරයේ ඊයේ (01) දින පස්වරුවේ හටගත් දැඩි නොසන්සුන්කාරී තත්ත්වය අද (02) උදෑසන 6.00 වන විට ආරක්ෂක අංශ විසින් සම්පූර්ණයෙන් පාලනය කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා සඳහන් කළේ මෙම සිදුවීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.ලද තොරතුරු වලට අනුව, රැඳවියන්ගේ සුවදුක් විමසීමට ඔවුන්ගේ ඥාතීන් පැමිණ සිටි අවස්ථාවේදී, තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පිටතට ගල්මුල් විසිකිරීමත් සමඟ මෙම නොසන්සුන් තත්ත්වය ආරම්භ වී ඇත. මෙහිදී රැඳවියන් පිරිසක් බන්ධනාගාරයේ දේපොළ රැසකට හානි සිදුකර ඇති අතර, එහි ඉදිකෙරෙමින් පැවති තාවකාලික තාප්පයක් බිඳ දමා පලායාමටද උත්සාහ කර තිබේ. ඊට අමතරව තවත් පිරිසක් බන්ධනාගාර ගොඩනැගිල්ලකට ගිනි තබා ඇත.තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර පිවිසුම් දොරටුව අසල සිටි නිලධාරීන් වෙඩි තබා ඇති අතර, නොසන්සුන්තාව ඇති කළ රැඳවියන් ඔවුන්ට සහාය නොදැක්වූ සෙසු රැඳවියන්ටද පහරදී තුවාල සිදුකර තිබේ.මෙම සිද්ධියෙන් එක් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 6 දෙනෙකු තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.මියගිය තැනැත්තා වත්තල හැඳල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙකි. ඔහු යතුරුපැදියක් සොරකම් කිරීම සහ ‘අයිස්’ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20ක් ළඟ තබා ගැනීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අයෙකි.සිද්ධිය සැලවීමත් සමඟ ඊයේ පස්වරුවේම රැඳවියන්ගේ ඥාතීන් බන්ධනාගාරය ඉදිරිපිටට රැස්වී තිබේ. තත්ත්වය පාලනය සඳහා පොලිසිය, කැරලි මර්දන ඒකකය, යුද හමුදාව, නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) කැඳවීමට පියවර ගැනුණි.බන්ධනාගාර පරිශ්‍රයෙන් වෙඩි හඬට සමාන හඬක් ඇසීමත් සමඟ කුපිත වූ ඥාතීන් මාර්ග බාධක බිඳහෙලමින් ඉදිරියට යාමටත්, බන්ධනාගාරය දෙසට ගල්මුල් ප්‍රහාර එල්ල කිරීමටත් උත්සාහ කළ අතර STF බලකාය විසින් එම උත්සාහයන් ව්‍යර්ථ කරන ලදී. තත්ත්වය ගුවනින් නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් හමුදාව විසින් ඩ්‍රෝන යානයක් සහ බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානයක්ද යොදවා තිබුණි. පසුව පොලිස් නිලධාරීන් පැමිණ ඥාතීන්ට කරුණු පැහැදිලි කරදීමෙන් අනතුරුව පිරිස විසුරුවා හැරීමට කටයුතු කෙරිණි.ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීම සඳහා මහර බන්ධනාගාරය අවට 246 කැන්දලියද්ද පාළුව බටහිර, 246 සී කැන්දලියද්ද පාළුව උතුර සහ 181 ජී දඹුව ග්‍රාම සේවා වසම් 3ට ඊයේ රාත්‍රියේ සිට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය, දැනට තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය වී ඇති බැවින් අද දින ඉවත් කිරීමට පොලීසිය පියවර ගෙන ඇත.