‘අනාගත ව්‍යසන වලට වග කියන්න මට බෑ’ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම තාක්ෂණික කමිටුවෙන් අස් වෙයි

කොවිඩ් වසංගතය වෙනුවෙන් කොවිඩ් 19 රෝග මර්දන තාක්ෂණික කමිටුව ලබා දුන් තීරණ දේශපාලනික හෝ වෙනත් හේතු මත රජය වෙනස් කොට ඇති බැවින් එමඟින් සිදුවන අනාගත ව්‍යසන වලට වගකීමට තමන් සූදානම් නැතැයි දන්වමින් අයිඩීඑච්,ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා එම කමිටුවෙන් ඉල්ලා අස්වීමට තීරණය කොට තිබේ.ඔහු මේ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරයා ඇතුළු අදාල බලධාරීන් වෙත ඊමේල් මඟින් දන්වා යවා ඇත.රට වසා දැමීම ,එන්නත්කරණය ආදිය සම්බන්ධයෙන් තාක්ෂණික කමිටුව ලබා දුන් තීරණ රජය මඟින් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් අදහස් දක්වන වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පසුගිය කාලයේ වැඩිහිටි මරණ සංඛ්‍යාව ඉහළ යාමට එන්නත්කරණයේ අවිධිමත් බව ද පෙන්වා දී ඇත.ඒ අනුව තම ඉල්ලා අස්වීමේ ලිපිය මඟින් ඔහු වැඩිදුරටත් අවධාරණය කොට ඇත්තේ රෝග මර්දන තාක්ෂණික කමිටුව ලබාදෙන තීරණ රජය මඟින් වෙනස් කරන පසුබිමක තව දුරටත් එම කමිටු සාමාජිකත්වය දරමින් කොවිඩ් වසංගතය මුල් කොට ගත් අනාගත ව්‍යසන වලට වගකීමට තමන් සූදානම් නැති බව ය

කාලීන පුවත්