කෝවිඩ්වලින් බේරෙන්න රටවල් සුනඛයන්ට බාර දෙයි

රටවල් විවෘත කරන්නට නම් ගුවන් තොටුපොළ සක්‍රිය විය යුතුයි. එසේ නොකරන තාක් කල් රටවල ආර්ථිකය දවසින් දවස කඩා වැටේ. නමුත් රටවලට කෝවිඩ් වසංගතය පැමිණෙන්නේ ගුවන් තොටුපොළ හරහා නම් එම වෛරසය පාලනය කරන්නට නව ක්‍රමයක් සොයාගත යුතුව ඇත. මේ වනවිට ඕස්ට්‍රේලියාව, මහා බ්‍රිතාන්‍යය සාර්ථක පියවරක් ඉදිරියට තබා ඇත. ඒ ගුවන් තොටුපොළ ‘කෝවිඩ් ආරක්ෂාව’ ඉදිරියේ දී සුනඛයන්ට බාර දීමයි. ඒ අනුව ඉදිරියේ දී රටවල් ‘බල්ලන්ට ගිය රටවල්’ වශයෙන් හඳුන්වන්නට බැරිය. ‘බල්ලන් නිසා රැකෙන රටවල්’ යනුවෙන් කතාව වෙනස් කළ යුතු වන්නේ ය.
පෙරහුරුවක් වශයෙන් මෙවැනි සුනඛයන් කීප දෙනෙක් ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් ගුවන් තොටුපොලේ මේ වනවිටත් යොදවා සිටිති. මෙය ඉතා සාර්ථක වනු ඇතැයි ඕස්ට්‍රේලියානු විද්‍යාඥයින් විශ්වාසය පළ කරන අතර රට පුරාම ගුවන් තොටුපොළවල දී කෝවිඩ් රොගීන් හඳුනා ගැනීමේ බාරදූර කර්තව්‍ය ඉදිරියේ දී මෙම සුනඛයන්ට පැවරෙනු ඇත. මෙම සුනඛයින් කෝවිඩ් රෝගීන් හඳුනා ගැනීමේ දී මොන තරම් වේගයකින් එය ඉටු කරනවාදැ යි සෙවීමේ අභ්‍යාස මේ දිනවල ආරම්භ වී ඇත. “ඇදහිය නොහැකි තරම් වේගයකින් මෙම සුනඛයින් ක්‍රියාත්මක වෙනවා” විශේෂඥවරු කියති.
විශේෂිත වර්ගයේ සුනඛයින්ට ඉතා බලවත් නාසයක් පිහිටා ඇත. එවැනි සුනඛයින් දැන් පුහුණු කරනුයේ රෝගවලින් ආසාදනය වන මිනිසුන්ගේ දහදිය සුවඳ හඳුනා ගන්නට ය. කෝවිඩ් රෝගියෙකුගේ දහදිය සුවඳ සාමාන්‍ය පුද්ගලයකුගේ දහදිය සුවඳට වඩා වෙනස් බව මෙම සතුන්ට පුහුණු කෙරේ. “සුනඛයින් ගුවන් මගීන් සමග ඝෘජු සම්බන්ධකම් පවත්වන්නේ නැත. ගුවන් යානයෙන් බැස පැමිණෙන මගීන්ගේ දහදිය සුවඳ සුළඟ සමග ගසාගෙන යන විට කෝවිඩ් 19 වැළඳුන රෝගීන්ගේ ගඳ සුවඳ සුනඛයින්ට ඉතා පහසුවෙන් හඳුනාගත හැකි වෙනවා. එවිට මෙම සුනඛයා එම පුද්ගලයා ඉදිරියේ හිඳ ඔහු දෙස එක එල්ලේ බලා සිටිනවා. එය තමයි සුනඛයාගෙන් අපට ලැබෙන සංඥාව. එවිට අපට පහසුවෙන්ම පුළුවනි ගුවන් තොටුපොළ තුළදීම එම කෝවිඩ් රෝගියා හා ඔහු පැමිණි ගුවන් යානාවත් සෙසු මගීන් සම්බන්ධයෙනුත් අවශ්‍ය පියවර ගන්න.ඕස්ට්‍රේලියාවේ ජෛව ආරක්ෂාව සඳහා වසර 06ක් තිස්සේ සුනඛයින් පුහුණු කරන කොලීන් අයිසර් මහත්මිය පවසයි.
මේ අතර මහා බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් ද මේ දිනවල සිය රටේ ගුවන් තොටපොළ ‘බල්ලන්ට භාර දීමේ’ පර්යේෂණවල නියැලී සිටිති. කෝවිඩ් රෝගීන් පරිහරණය කරන ලද මේස් භාවිතා කරමින් මෙම සුනඛයින් පුහුණු කිරීම අරඹා ඇත. මෙම සුනඛයින් ඉතා ඉක්මණින්ම රටේ සියලුම ගුවන් තොටුපොළ, සමූහ රැස්වීම් සඳහා යෙදවීමට නියමිත ය. ගුවන් යානාවෙන් බැස එන සිය ගණන් මගීන්ට කිසිම බාධාවක් හෝ ප්‍රමාදයක් නොසිදුවන ආකාරයට මෙම සුනඛයින් පැය භාගයක් වැනි සුළු කාලයක දී සිය මෙහෙයුම අවසන් කරන බව බ්‍රිතාන්‍ය විද්‍යාඥයෝ පවසති. මෙම අත්හදා බැලීම් මේ වනවිටත් බ්‍රිතාන්‍ය ගුවන් තොටුපොළවල අරඹා ඇතැයි විදෙස් ප්‍රවෘත්ති අනාවරණය කරයි. සියයට 94.3 ක් දක්වා සංවේදතාවයකින් යුතුව මෙම සුනඛයින් කෝවිඩ් 19 වැළඳුණු රෝගීන් හඳුනා ගෙන තිබේ.
මහජනතාවගේ සහ සෞඛ්‍ය සේවකයින්ගේ සෝදා නොගත් මේස්, ටීෂර්ට් සාම්පල 3500ක් මෙම සුනඛයින්ට ඉදිරිපත් කළ අවස්ථාවේ රෝග ලක්ෂණ නොමැති මේස් සහ ටී ෂර්ට් ඉතා මෘදු ලෙසින් මෙම සතුන් විසින් ඉවත් කළ බව විද්‍යාඥයෝ පවසති. ඔවුන් වැඩි දුරටත් පවසන්නේ මිනිසුන් විශාල සංඛ්‍යාවක් ඉතා ඉක්මණින් පරික්ෂා කිරීමට සහ එක්සත් රාජධානියට කොරෝනා රෝගීන් ඇතුළු වීම මුළුමනින්ම නවතාලීමට මෙම සුනඛ සේවාව මගින් සිදුකළ හැකි බවයි.

අනුර හොරේෂස් බ්‍රිස්බෙන් සිට

සතුන්ටත් හිමි අපේ ලෝකය