අමතක නොවී සිටීමට නම් මෙසේ කරමු – වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

ඔබටත් මෑතක සිට නිතර යම් යම් දේවල් අමතක වන බවක් හැඟෙනවාද? බොහෝ දෙනෙකු වයසට යාමත් සමග අත් විඳින මෙම අමතකවනසුලු ගතිය පිළිබඳව දැනුවත් වෙමු. අසාමාන්‍ය ලෙස යම් කරුණු, සමහර සිදුවීම්, පුද්ගලයන්ගේ නම්, දිනයන් ආදිය අමතක වීමත් කොතෙක් මතකයට නගා ගැනීමට උත්සාහ කළත් එය කළ නොහැකි වීමත්, අමතක වීම ලෙස හැඳින්විය හැක. මෙය යම් කෙනෙකුට කෙටි කාලීනවත් තවත් කෙනෙකුට දීර්ඝකාලීනවත් බල පෑමට ඉඩ තිබේ.

සාමාන්‍යයෙන් වයසට යන විට බොහෝ දෙනෙකුට මෙම අමතක වීම ආරම්භ වේ. එය මුලදී එතරම් සැලකිය යුතු අන්දමේ අමතක වීමක් නොවෙනු ඇත. වාහනයේ යතුර තැබූ තැන, තමාගේ මුදල් පසුම්බිය තිබුණු තැන, බිලක් ගෙවීමට ඇතිබව, වෙළඳ සැලේදී හමු වී සිනාසුන අයෙකුගේ නම කුමක්ද වැනි දෑ මුලදී අමතක වනු ඇත. එවැනි සුලු අමතක වීම් වයසට යෑමේ ක්‍රියාවලිය තුල දැකිය හැකි සාමාන්‍ය ලක්ෂණයක් ලෙසින්ද සැලකිය හැක. මතකය පමණක් නොව තර්කාන්විතව සිතීමේ හැකියාවද මෙලෙස මතකයට සමගාමීව අඩු වෙන්නට පටන් ගන්නේ මේ වයස් සීමාව තුලදීය. එය සෑම කෙනෙකුටම එක සේ බලපාන්නේ නැත.
වයසට යෑමේදී සුලු සුලු අමතක වීම ඇතිවීම සාමාන්‍ය තත්වයකි. මේ අනුව පහතින් දැක්වෙන අවස්ථා සාමාන්‍ය තත්වයන් ලෙස සැලකිය හැකිය.
• කලාතුරකින් මෙන් යතුරක්, මුදල් පසුම්බිය, කණ්නාඩි කූට්ටම වැනි දෙයක් තිබූ තැන අමතක වීම
• සමහර අවස්ථාවලදී තමන් හොඳින් දන්නා හඳුනන අයගේ නම් අමතක වීම
• සමහර විට තමන් සහභාගී වීමට බලාපොරොත්තුවෙන් සිටි අවස්ථාවලට යෑමට අමතක වීම
• තමන් දැන් කියවූ දෙයක් හෝ අසා දැනගත් තොරතුරක්, අංක, සාකච්ඡා කර ලබාගත් තොරතුරු ආදිය මතකයේ තබාගැනීමට අපොහොසත් වීම

නමුත් එලෙස සාමාන්‍ය තත්වයේ යැයි සිතා බැහැර කළ නොහැකි අමතක වීම් සිදුවන්නේ නම් එය අසාමාන්‍ය තත්වයක් වන අතර එවිට වෛද්‍ය උපදෙස් පැතිය යුතුය. එවැනි අසාමාන්‍ය අමතක වීම් තත්වයන් පහත සඳහන් ලක්ෂණවලින් හඳුනා ගත හැක.

• එකම ප්‍රශ්නය නැවත නැවත අසන්නේ නම්
• හොඳින්ම දන්නා, හුරු පුරුදු පාරක හෝ ප්‍රදේශයක අතරමං වන්නේ නම්
• ලියා දී ඇති උපදෙස් පිළිපැදීමට නොතේරෙන බවක් පෙන්වයි නම්
• වේලාව, පුද්ගලයන් සහ ස්ථානයන් පිළිබඳව දිගටම පැටලිලි සහගත බවක් පෙන්වයි නම්
• තමා ගැන නොසැලකිලිමත් බවක් දක්වයි නම් (උදා: නෑමෙන් වැළකීම, ආහාර ගැනීම අතපසු කිරීම ) සහ අනතුරුවලට නිතර බඳුන් වෙයි නම්

ප්‍රබල ලෙස මතකය අඩු වීමට හේතු වශයෙන් පහතින් දැක්වෙන තත්වයන් හඳුනාගෙන ඇත

• මත්පැන්, දුම්වැටි හෝ වෙනත් මත් ද්‍රව්‍ය පානය කිරීම
• දීර්ඝ කාලීනව භාවිතා කරන යම් ඖෂධවල අතුරු ආබාධයක් ලෙස
• කාලයක් පුරා නිසි පරිදි නිදා නොගැනීම
• ආතතිය, කාංසාව, විශාදය වැනි මානසික ව්‍යාකූලතා
• පෝෂණ ඌනතා
• තයිරොක්සින් හෝමෝනයේ අඩුවීම
• ආඝාතය (Stroke) ඇල්සයිමර් (Alzheimer) වැනි මොළයේ රෝගී තත්වයන්
• මොළයේ ශල්‍යකර්මයකින් පසු
• කාබන්මොනොක්සයිඩ් වායු වැනි විෂ රසායනිකයන්ට නිරාවරණය වීම
• දැඩි අවදානම්, වේදනාකාරී හෝ පීඩාකාරී අත්දැකීමකට මුහුණ දීමෙන්. මෙය පශ්චාත් ව්‍යසන ක්ලමත අක්‍රමතාවය (Post Traumatic Stress Disorder) ලෙසද හඳුන්වනවා

මෙසේ මතකය පිරිහී යාම හේතුවෙන් මතු දිනක පීඩා නොවිඳින්නට නම් අද අපට කළ හැකි දේ මොනවාද?

අනාගතයේ දිනක මතකය අඩු වී යාමේ අවදානමට මුහුණු නොදීමට හා දැනටමත් මෙම අමතක වීම යම් ප්‍රමාණයකට ඔබට ඇති වී ඇත්නම් එයින් වන හානි අවම කර ගැනීමට ඔබට කළ හැකි දේ විමසා බලමු.

• දිනකට පැය 7-8 ක කාලයක් සුවදායී නින්දක් ලැබීම. ඔබ අධික ලෙස නින්දේදී ගොරවයි නම් ඒ සඳහා වෛද්‍ය උපදෙස් සහ අවශ්‍ය ප්‍රතිකාර ලබාගැනීම.
• මත්පැන් පානය නැවැත්වීම.
• දුම්පානයෙන් වැළකී සිටීම.
• නිතිපතා ව්‍යායාම කිරීම.
• සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට හුරු වීම. එළවලු, පළතුරු සහ පලාවර්ග වැඩිපුර ආහාරයට ගැනීම.
• රුධිර පීඩනය, රුධිරයේ කොලෙස්ටරෝල් සහ සීනි මට්ටම නිසි අගයන් හි පවත්වා ගෙන යාම.
• පිෂ්ඨය සහිත ආහාර පරිභෝජනය අවම කිරීම.
• අවශ්‍ය තරම් ජලය පානය කිරීම.
• ශරීරයේ බර ඔබේ උසට සරිලන අයුරින් පවත්වා ගෙන යාම.
• භාවනා කිරීම හා සතිමත් බව පවත්වා ගැනීම.
• නවකතා, කෙටිකතා හෝ තමන් කැමති ඕනෑම පොතක් කියවීම.
• සමාජයීය සම්බන්ධතා මනාව පවත්වාගෙන යාම.
• මානසික ආතතිය පාලනය කර ගෙන මනස සන්සුන්ව තබා ගැන්ම.
• ඕනෑම වයසකදී මනස ක්‍රියාකාරීව තබා ගැනීමට උත්සාහ ගැනීම.
• ඔබේ මුදල් පසුම්බිය, යතුරු, ජංගම දුරකථනය, කණ්නාඩි කූට්ටම වැනි දේ සැම විටම එක ස්ථානයක පමණක් තැබීම.
• එදිනෙදා ඔබට කිරීමට ඇති වැඩ කුඩා සටහන් පොතක, කැලැන්ඩරයක හෝ ජංගම දුරකථනයේ සටහන් කර තබා ගැනීම.
මනස ක්‍රියාකාරීව තබා ගැනීමට කළ හැකි දේ විමසා බලමු
• අලුත් භාෂාවක් ඉගෙන ගැනීම
• අලුත් විෂයයක් හෝ අලුත් ක්‍රියාකාරකමක් ඉගෙන ගැනීම
• චෙස් හෝ එවැනි වෙනත් මනස ක්‍රියාකාරීවන ක්‍රීඩාවක් කිරීම
• හරස් පද ප්‍රහේලිකා පිරවීම
• පොත් කියවීම
• සුඩෝකො වැනි ක්‍රීඩාවන් කිරීම
• සංගීත භාණ්ඩයක් වාදනය කිරීමට පුරුදු වීම
• පවුලේ සාමාජිකයන් සහ මිතුරන් සමග කතාබහ කිරීම හා විනෝද වීම
• ඔබට හුරු අත නොව අනිත් අතෙන් ද යම් යම් ක්‍රියාකාරකම් කිරීමට පුරුදු වීම (උදා: අකුරු ලිවීම, දත් මැදීම, හිස පීරීම, කතුර හෝ පිහිය භාවිතා කර කැපීම )
• ස්වභාවික පරිසරයේ සුන්දරත්වය විඳගැනීම
මතකය ඉතා හොඳ මට්ටමක පවත්වා ගැනීමට නම් ශාරීරිකව මෙන්ම මනසින් ද ක්‍රියාකාරී විය යුතුය. එබැවින් හොඳින් ව්‍යායාම කිරීමත්, ඉහතින් සඳහන් කළ මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි වන ක්‍රියාවන්වල යෙදීම තුලින් මනස පුහුණු කිරීමත් ඔබට වඩා හොඳ මතකයක් පවත්වා ගෙන යාමට උපකාරී වනු ඇත.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

සටහන – යමුනා සරෝජනී ගුණවර්ධන

දොස් දුරු කරවන දොස්තර උපදෙස්