ඉදිරි පැය විසි හතර තුළ තද වැසි

ඉදිරි පැය 24 තුළ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මි.මී 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.එම කාලගුණ නිවේදනයේ සඳහන් වන්නේ, ඉහත සඳහන් පළාත්වලට අමතරව දිවයිනේ සෙසු ප්‍රදේශවල ද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් වයඹ, දකුණ සහ බස්නාහිර පළාත්වලත් සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැකි බව ද එම කාලගුණ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.මේ අතර දිවයින වටා මුහුදු ප්‍රදේශවල ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ත් ඇතැම් මුහුදු ප්‍රදේශවලට තද වැසි ද ඇතිවිය හැකි බවත් මුහුදු ප්‍රදේශ සඳහා වන කාලගුණ අනාවැකියේ සඳහන් ය.
ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී.50 පමණ දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බව ද එම කාලගුණ නිවේදනයේ සඳහන් වේ.

කාලීන පුවත්