ඔබේ නගරයේ තිබෙන වටිනාම ඉඩමේ පදිංචි වෙන්න කැමතිද? – මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු

ඔබේ නගරයේ තිබෙන වටිනාම ස්ථානය/ ඉඩම මොකක්ද ?
ඉදිරියට කියවන්න කලින් විනාඩියක් අරගෙන කල්පනාකරලා බලන්න ඔබේ උත්තරේ මොකක්ද කියලා.
සමහරවිට නගරෙ තියන තට්ටු කීපයකින් සමන්විත උසම වටිනාම ගොඩනැගිල්ල, නැත්තං බැංකුව, සුපිරි වෙළඳ සංකීර්ණ, ස්වර්ණාභරණ මන්දිර, යනාදි මූල්‍යමය අතින් ඉතා විශාල වටිනාකමක් ඇති දෙයක් ගැන ඔබ කියාවි.
දවසක් ධනාත්මක සංකල්පය ගැන දේශනයකදි, එක දේශකයෙක් රැස්වී සිටි සභාවෙන් ඔය ප්‍රශ්නෙම ඇහුවලු මෙහෙම.
‘‘මේ ගමේ, මේ නගරයේ වටිනාම ඉඩම තියෙන්නෙ කොහෙද..?’’
ඒකට සභාවෙ එක් එක්කෙනා නගරයේ විශාල ගොඩනැගිලි, කර්මාන්ත ශාලා, තට්ටු ගෙවල්, විශාල වී කුඹුරු යනාදී නොයෙකුත් තැන් ගැන සඳහන් කළාලූ.. ඒත් ඒ දේශකයා ඒවා අහල මෙහෙම කිව්වලූ.
‘‘මේ ගමේ, මේ නගරයේ.. වඩාත්ම වටිනා ඉඩම තමයි කැරකෝප්පුව.. මිනිසුන් භූමදානය කරන සුසාන භූමිය..’’
සභාවෙ අය පුදුම වුණාලූ මොකක්ද ඒ පිළිතුරේ තේරුම කියල. ඊට පස්සෙ ඒ දේශකයා මේ විදිහට විස්තර කළාලූ.
‘‘ඇයි මම කියන්නෙ සුසාන භූමිය තමයි වටිනාම බිම කියල..?
එතන මිහිදන් කරල ඉන්න බොහෝ දෙනෙක් මියයන්න ඇත්තේ සැබෑ නොවුණු සිහින දහසකුත් එක්ක.
ඒ සිහින සැබෑ වුනා නම් , ඒවා මිල මුදලින් තක්සේරු කරන්න බැරි තරම් වටින ඒවා බවට සැක නැහැ ..
ගොඩනගන්න බැරි වූ කෝටි ගණන් වටින මාළිගා, පළඳින්න බැරිවූ රන් භාණ්ඩ, නොකළ ශ්‍රේෂ්ඨ කතා, නොගැයූ ගීත, නොකියවූ නොලියවුණු පොත්, සොයා නොගත් විද්‍යාත්මක සත්‍යයන්, ආරම්භ නොකල සාර්ථක ව්‍යාපාර සියල්ල වැළළී තිබෙන්නෙ සුසාන භූමියෙ..
යථාර්ථයක් බවට පත්කර ගත නොහැකි වූ දැවැන්ත අදහස්, සිහින, යෝජනා, අනාගත දැක්මන් යනාදී මිල කළ නොහැකි අද්‍රව්‍යමය නිදන් වස්තු තැන්පත්වෙලා තියෙන්නෙ සුසාන භූමියෙ. ’’

බලන්න.. සාමාන්‍යයෙන් මිනිස්සු හිතන්නේ නැති පැත්තක් පැහැදිලි කරන්න ඒ දේශකයා උපයෝගී කරගෙන තිබුණු නිදසුන කොච්චර අර්ථවත් ද!
අද මිනිස්සු බොහෝ දෙනෙක් ජීවත්වෙන්නෙ බාගෙට. ඒ කියන්නෙ ඒ අයට ජීවත්විය හැකි සම්පූර්ණ පී‍්‍රතිමත්, ධනවත්, නිරෝගී ජීවිත නෙමේ ඒ අය ගත කරන්නෙ.
ඒ හැමෝම තුළ සිහින තියෙනව. බලාපොරොත්තු තියෙනව. ප‍්‍රාර්ථනා තියෙනව. ඒත් බොහෝ දෙනෙක් මිය යන්නෙ ඒ සැබෑ නොවූ යල්පැනපු සිහින බලාපොරොත්තු එක්ක.
හිතලා බලන්න ඔබට කොච්චර සිහින, බලාපොරොත්තු , දක්ෂකම් හැකියාවන්, අවස්ථාවන් තියෙනවද? ඔබ ඒවා උපරිම තත්වයට ගෙන ඒමට අවංකවම උත්සාහයක යෙදෙනවා ද?
අපි කවුද කොහොම මැරෙයිද කියල අපි කවුරුවත් දන්නෙ නෑ. ඒත් අපි අපිට ගතකළ හැකි උපරිම පී‍්‍රතිමත්, සෞභාග්‍යමත්, ඵලදායී, වාසනාවන්ත තෘප්තිමත් ජීවිත ගත කළ යුතුයි.
ඒ හැකියාව අපිට නැද්ද..? ඇත්තෙන්ම තියෙනවා.

සමහර මිනිස්සු හැම තිස්සෙම හිතන්නෙ මට බැහැ, කිසි දෙයක් හරියන්නෙ නෑ වගේ දේවල්. අනුන් සමඟ තමන්ව සංසන්දනය කර‍ෙගන , එයාල කළාට අපිට මේව කරන්න බැහැ කියල අනුන්ව උසස් කරලා තමන්ව පහත මට්ටමකට දාගන්නව.
එහෙම හිතපුවම ජීවිතය අසාර්ථක වෙන එක පුදුමයක් නෙමේ. දැඩි විශ්වාසයකින් බලාපොරොත්තු වෙන දේවල් තමයි අප වෙත ආකර්ෂණය වෙන්නෙ. අපි යමක් සිද්ධවෙනව කියල විශ්වාසයෙන් වැඩ කළොත් ඒක සිද්ධවෙන තැනට කටයුතු සිද්ධවෙන්නෙ ආකර්ෂණ නීතිය අනුවයි. හොඳ දේ වුණත් නරක දේ වුණත් අපිට ආකර්ෂණය වෙන්නෙ අපේ විශ්වාසය මතම තමයි.
ඒ නිසා බාගෙට ජීවත්වෙන්න අවශ්‍ය නෑ. ඔබට අවශ්‍ය සියල්ල ලබාගෙන සතුටින් ජීවත්වෙන්න ඔබට පුළුවන්.
ඔබේ අතීත වැරදි ගැන, වැරදුණු තැන් ගැන, ණය තුරුස් ගැන, කළ මෝඩකම් ගැන, මිනිස්සු ඔබ ගැන හිතන දේවල් ගැන නෙමේ ඔබ හිතන්න ඕන.

ඔබේ සිතේ ඇති අසීමිත බලය හා ආකර්ෂණ ශක්තියෙන් වැඩ ගන්න හැටි ගැනයි ඔබ හිතන්න ඕන.
ගිය දේ ගියා. අතීතය අතීතයටම බාරදීලා හැම මොහොතෙම අලුතෙන් හිතන්න.
බාධාවන් කියන්නෙ මායාවල්. කිසිම බාධාවකට බය නොවී දවසින් දවස සාර්ථකත්වයට යනවාමයි කියලා හිතන්න. ඔබේ සාර්ථකත්වය රැඳෙන්නෙ ඔබේම හෘද අභ්‍යන්තරේ බව විශ්වාසයෙන් වැඩ කරන්න.
අපි මිය යා යුත්තෙ සැබෑ නොවුණු සිහින, ඉටු නොවූ බලාපොරොත්තු එක්ක නෙවේ.
ඔබ අද ජීවත්විය යුත්තෙ හිත සැහැල්ලූවෙන් පිරුණු සම්පූර්ණ තෘප්තිමත් පුද්ගලයෙක් විදිහටයි.
එක ධනවත් රාජ්‍යයක රජ කෙනෙකුට තවත් රටක රජ කෙනෙකුගෙන් ඉතා වටිනා තෑග්ගක් හම්බවුණා. මොකද්ද දන්නවද ඒ තෑග්ග?
ඈත වනාන්තරයකින් ඉතා අමාරුවෙන් අල්ලගත්තු දුර්ලභ වටිනා ලස්සන ගිරව් ජෝඩුවක්.
රජතුමා මේ ගිරවුන්ට ජීවත් වෙන්න අලංකාර වෘක්ෂලතා, පැහැදිලි විල්, දිය ඇලි සහිත විශාල උද්යානයක් නිර්මාණය කෙරෙව්වා.
මේ ලස්සන පරිසරේ එක ගිරවෙක් විතරක් සතුටින් එහා මෙහා පියා සලමින් සතුටින් ජීවත් උනා. ඒත් අනිත් ගිරවා හිටපු ගහේ අත්ත උඩම එකම ඉරියව්වෙන් වහලා හිටියා මිසක් පියාඹනවා තියා හෙල්ලුනේවත් නෑ.
මේ ගිරවට පියාඹන්න උගන්වන්න දක්ෂතම ගිරව් පුහුණු කරන්නන් ගෙන්නුවත් කිසිම වැඩක් වුනේ නැහැ .අර ගිරිවා අඟලක්වත් හෙල්ලුනේ වත් නෑ.

පස්සේ රජතුමා අඬබෙර යැව්වා මේ ගිරවාට ඉගිල්ලෙන්න සලස්වන ඕනෑම කෙනෙකුට වටිනා රන් රිදී තෑගි දෙන බව.
එක ගමක ගොවියෙක් මේ අභියෝගය භාර ගත්තා .
රට රාජ්‍ය වලින් ආපු දක්ෂතම ගිරව් පුහුණු කරන්නන්ටත් බැරි වෙච්ච එකේ මේ දුප්පත් ගොවියා කොහොම ඒ වැඩ කරයිද කියලා ලොකු සැකයක් රජතුමාට තිබුනා උනත් රජතුමා ඔහුට පුහුණු කිරීමට ඉඩ දුන්නා.

කෙසේ වෙතත්, එදා රජතුමා උයනේ ඇවිදිමින් ඉන්නැද්දි, දැක්කා ගිරව් දෙන්නම ගුවනේ පියාසර කරන හැටි.
රජතුමා වහා ගොවියා කැඳවල ඇහැව්වා, “ඔබ මගේ කම්මැලි ගිරවා අත්ත අතහැර පියාසර කරන්න සැලැස්සුවේ කොහොමද” කියලා.
“මේ ගිරවා වහලා හිටපු අත්ත මුලින්ම කපා දැම්මා. එච්චරයි කළේ” ගොවියා පිළිතුරු දුන්නා.

මොකද්ද අපිට මේකෙන් ගන්න කියන පාඩම්?
අපිට අඩුපාඩුවක් නැතුව අවශ්‍ය දේවල් ලේසියෙන් ලැබෙන කොට, වටපිටාව සුන්දර විදිහට තියෙද්දි අපිට අපේ දක්ෂකම්, ශක්තීන්, අපේ සැඟවුණු හැකියාවන් අදුනගන්න මතුකරගන්න බැහැ බොහෝ විට.

ජීවිත ගමන දුෂ්කර වෙද්දි, අපහසුතා මතුවෙද්දී, තාඩන පීඩන කරදර හිරිහැර ආර්ථික දුෂ්කරතා යනාදියෙන් හෙම්බත්වෙද්දී තමයි බොහෝ වෙලාවට අප තුළම සැඟවුණු දැවැන්ත ශක්තිය අවදි වෙන්නේ. හැමදේම අතට පයට ලැබෙද්දී අපි දියුණු වෙන්නේ නැහැ. මානසිකව අධ්‍යාත්මිකව ශක්තිමක් වෙන්නේ නැහැ.
අභියෝග එනකොට තමයි සියලු බාධා බිඳගෙන වහලෙ කඩා ගෙන අහස උසට පියාඹන්න අපිට හැකියාව ලැබෙන්නේ.
හතර වටින්ම අපිට අක්‍රමිතා, අසාධාරණකම්, කෙනහිලිකම්, පාවාදීම්, මුදල් පාඩු සිදුවෙද්දී ,සමහරවිට අර ගිරවට හිටපු ගහේ අත්ත නැති උනා වගේ, උන්හිටිතැන් පවා නැතිවෙන තරමට අසරණ වූ වෙලාවට තමයි අපිට අපි තුළ ඉන්න දැවැන්ත ශක්තිමත් බලවන්ත යෝධයා මුණගැහෙන්නෙ.

ඒ නිසා ප්‍රශ්න කරදර ආවත් සැලෙන්න එපා. අර රජතුමාගේ ගිරවා වගේ කම්මැලිකමට නිකං ඉන්නත් එපා.
ඔබ තුළ දැවැන්ත ශක්තිමත් යෝධයෙක් නිදා සිටින බව තේරුම් ගත්තොත් ඔබට ඔබේ සිහින කෙතරම් දැවැන්ත වුණත් ඒවට ළඟා වෙන්න බැරි වෙන්නේ නැහැ.
කිසිම දෙයක් බැරි නැහැ, හැමදේම පුළුවන් කියලා ශක්තිමත් තීරණයක් අරගෙන ජීවිතය අතට ගන්න. කැරකොප්පුවට යනතුරු ඔබගේ සිහින හිත ඇතුලෙ විතරක් තියාගෙන පරාජිතයෙක් වගේ ජීවත් වෙන්න අවශ්‍ය නැහැ . මේ ජීවිත කාලයේ අතරතුරදීම ඔබේ සිහින සැබෑ කරගෙන තෘප්තිමත් අර්ථවත් ජීවිතයක් ගත කරන්න ඔබට බැරි නැහැ.

ඔබේ බලාපොරොත්තු වලට තිත තියන්න එපා. සිහිනවලට වැට බඳින්න එපා. අධෛර්යයෙන් මුළු ගැන්වෙන්න එපා.
ඔබට යමක් කළ හැකියි කියලා සිහිනයක් හිත තුළ ඉපදුනානම් එහෙම හිතෙන්නේ එය සැබෑ කරගත හැකි නිසාමයි. අනිවාර්යෙන්ම එය සැබෑ කර ගත හැකියි .
ඔබේ සිහින සැබෑ වෙන සාර්ථක ජීවිත ගමන අද මේ මොහොතේ පටන් ගන්න.
මොන විදිහේ බාධක ආවත්, උන්හිටිතැන් අහිමි උනත්,අහස උසට පියාඹන්නට ඒකම හේතුවක් කරගන්න තරම් ආත්ම ශක්තියක් ඔබට තියනවනම් ඔබේ සාර්ථකත්වයේ සීමාව අහසයි.

සාර්ථක වෙන්න හැකියාව තිබුණු පුද්ගලයෙක් විදියට නෙමෙයි, සාර්ථක වෙච්ච පුද්ගලයෙක් විදිහටයි කවදාහරි ඔබ මෙලොවින් සමුගන්නෙ කියන අධිෂ්ඨානයෙන් කටයුතු කරන්න.

ඔබට වරදින්න විදිහක් නැහැ!

මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු

ඉරා අදුරුපට