ඔබේ සුනඛ සහ බළල් සුරතලුන් ගැන දැන සිටිය යුතුම කරුණු බිඳක්

සුනඛයන්ට වැළඳෙන වෛරස් රෝගයක් වන පාවෝ රෝගයට සමාන, බළලුන්ට වැළඳෙන වෛරස් රෝගයක් ද තිබේ. Feline panleukopenia නමැති මෙම රෝගය කිසියම් බළලෙකු ට වැළඳුණු විට ශීඝ්‍රයෙන් එය බළලුන් අතර ව්‍යාප්ත වෙයි. එයට හේතුව මෙම වෛරසය විෂබීජනාශකවලින් පවා විනාශ නොවෙනු සේම, වසරකට අධික කාලයක් නිරුපද්‍රිතව පැවතිය හැකි වෛරසයක් වන නිසා ය.
මෙම වෛරස නිරෝගී බළලෙකුට ආසාදනය වන්නේ බොහෝවිටම ආසාදිත බළලෙකු ගේ අසූචි මගිනි. එවැනි අසූචි මිනිසුන්ගේ පාවහන්වල තැවරුනොත් ඒවා සේදීමෙන් පසු ඉවත් කළ හැකි වුවත් වෛරසය ඉවත් වන්නේ නැත. එලෙස පරිසරයට මුදා හැරෙන වෛරසය මගින් නිරෝගී බළලුන්ට රෝග ව්‍යාප්ත වීමට හැකියාව ඇත. රෝගය බෝ වන්නේ බළලෙකු ගෙන් තවත් බළලෙකු ට පමණි. මිනිසුන්ට හෝ වෙනත් සතුන්ට මෙම රෝගය බෝවන්නේ නැත.
ඕනෑම බළලෙකු ට මේ රෝගය බෝවීමට හැකියාව තිබුණත්, වයස මාස පහට අඩු පැටවුන්ට රෝගය වැළඳීමේ වැඩි ඉඩකඩක් පවතී.
මෙම රෝගයෙහි දී දැකිය හැකි රෝග ලක්ෂණ වන්නේ,

* උණ
* ආහාර අරුචිය
* වමනය
* බඩවැල් ආසාදනය වීම නිසා තුවාල හට ගැනීමෙන් රුධිරය මිශ්‍ර මළපහ වීම යන මේවා ය.

වයස මාස පහට අඩු පැටවුන් අතර රෝගය ව්‍යාප්ත වූ විට රෝග ලක්ෂණ නොපෙන්වා ම මරණයට පත් වීමට පවා හැකියාව තිබේ.
මෙම රෝගී තත්ත්වය හේතුවෙන් රුධිරයේ ඇති සුදු රුධිරාණු ප්‍රතිශතය ශීඝ්‍රයෙන් පහළ බැසීම නිසා වෙනත් රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව පවා දුර්වල වේ. එවිට ප්‍රධාන රෝගී තත්ත්වය වර්ධනය වීමට අමතරව, වෙනත් රෝගයකට පහසුවෙන්ම ගොදුරු වීමට ද හැකියාවක් ඇතිවේ. ඒ අනුව සුදු රුධිරාණු අඩු වීම හේතුවෙන් හට ගන්නා ද්විතියික ආසාදනයක් ලෙස ඇස්වලින් කබ කඳුළු ගැලීම, නාසයෙන් සොටු දියර ගැලීම පැවැතිය හැකිය. මෙය වෛරස් ආසාදන රෝගී තත්ත්වයක් නිසා නිශ්චිත ප්‍රතිකාරයක් නැත . ද්විතීයික ආසාදනයන් සඳහා පමණක් ප්‍රතිකාර කරනු ලබයි. රෝගී සතුන් විවේකීව රඳවා තැබීම අත්‍යවශ්‍ය වේ.

රෝගයට ගොදුරු වූ සතුන් ක්‍රමයෙන් සුවපත් වුවද රෝගකාරක වෛරසය අවට පරිසරයේ පැවතිය හැකිය. විෂබීජනාශකවලින් වෛරසය විනාශ කළ ජ්නොහැකි වුවද ක්ලෝරීන් යොදා පිරිසිදු කිරීමෙන් මේවා විනාශ කිරීමට හැකියාව ඇත . එනිසා ආසාදිත සතුන් ජීවත් වූ ස්ථාන සහ පරිහරණය කළ ආහාර බඳුන්, කෝප්ප ආදිය ක්ලෝරීන් යොදා සේදීමෙන් වෙනත් සතුන්ට රෝගය ව්‍යාප්ත වීම වළක්වාලිය හැකිය.
කෙසේ වුවද Feline panleukopenia යනු බළලුන් මරණයට පත් කළ හැකි තරමේ දරුණු රෝග තත්ත්වයක් වුවත් එන්නතක් මගින් මෙම රෝගය හටගැනීම වළක්වා ගත හැකිය. මේ රෝගය ඇතුළු තවත් රෝග කිහිපයක් බෝවීම වැළැක්වීම සඳහා නිපදවා ඇති Tricat නමැති එන්නතේ පළමුවැන්න පැටවාට සති 9 දී ද, දෙවැන්න සති 12 දී ද, ඉන්පසුව වාර්ෂිකව ද ලබා දීමෙන් ඔබේ බළල් සුරතලාට මෙම රෝගය වැළඳීම වළක්වා ගත හැකිය.

සතුන්ට වැළඳෙන අසාත්මිකතා

මේ හැරුණු විට බළලුන් මෙන් ම සුනඛයන් වැනි සතුන් ද නිතර අසාත්මිකතාවයන්ට ගොදුරු වන අවස්ථා යෙදේ. නමුත් සතුන්ගේ මෙවැනි තත්ත්වයන් හඳුනා ගැනීම එතරම් පහසු වන්නේ නැත. එනිසා රෝගී තත්ත්වය කුමක්දැයි නිශ්චය කර ගැනීම අසීරු වන අවස්ථා තිබේ.
සතුන්ට ආසාත්මිකතාවයන් ඇති වීමට බොහෝ විට ම හේතු වන්නේ නොයෙක් ආකාරයේ පරිසර සාධකයන් ය. ඒ අනුව අසාත්මිකතාවයට හේතු වූ සාධක ශරීරයෙන් බැහැර කිරීම සඳහා ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය ඉහළ නැංවීම සිදුවේ . එනම් ප්‍රතිශක්තිකරණ පද්ධතිය අධිප්‍රතිචාර දැක්වීමක් ආරම්භ කරයි. ඒ සමගම නිකුත් වන යම් යම් රසායනිකයන් හේතුවෙන් අසාත්මික ලක්ෂණ ඉස්මතු වේ.
සමහර සතුන්ට අසාත්මික ලක්ෂණ මතුවීමට බලපාන හේතු

* තෘණ වර්ග ඇතුළු සමහර ශාක හා පඳුරු වර්ග සිරුරේ ස්පර්ශ වීම
* දූවිලි ( මේ නිසා ඇදුම වැනි රෝග තත්ත්වයන් ඇති විය හැකිය.)
* සමහර ආහාර වර්ග
* සිගරට් දුම් ආඝ්‍රාණය වීම
* සිරුරේ සිටින මැක්කන්, කිනිතුල්ලන් වැනි පරපෝෂිතයන්
* සමහර බෙහෙත් වර්ග, එන්නත් වර්ග මෙන්ම මැක්කන් කිනිතුල්ලන් වැනි පරපෝෂිතයන් වඳ කිරීමට ආලේප කරනු ලබන ඖෂධ
* මිනිසුන් භාවිතා කරන සුවඳ විලවුන් සතුන්ගේ සිරුරුවල වැදීම සහ ආඝ්‍රාණය වීම
* පිරිසිදු කාරක ද්‍රව්‍ය
ඇතැම් අවස්ථාවලදී පිරිසිදුකාරක ද්‍රව්‍ය අසාත්මික වන සුනඛයෙක් එවැනි ද්‍රව්‍යයක් යොදා සේදූ කූඩුවකට පැමිණි විටෙක පවා අසාත්මික ලක්ෂණ මතු වීමට ඉඩ තිබේ.
* ශරීරය පිරිසිදු කරන සබන් හෝ ෂැම්පු වර්ග
* රබර් හෝ ප්ලාස්ටික් ද්‍රව්‍ය ස්පර්ශ වීම හෝ සැපීම

අසාත්මිකතාවයක් ඇති වූ විට දැකගත හැකි ලක්ෂණ :

* සම කැසීම රතුවීම හෝ පොතු ගැලවීම
* ඇස් කැසීම සහ කඳුළු ගැලීම
* සිරුරේ සිටින මැක්කන් වැනි සතුන් නිසා අසාත්මිකතාවයක් ඇති වූ විට වලිගය ආරම්භ වන ස්ථානය ආශ්‍රිතව කැසීම
* නිතර කන් කැසීම
* කිවිසුම් යාම
* ආහාර අසාත්මික වූ විටදී වමනය සහ දියර ලෙස මළපහ වීම
* ආසාදනයක් නිසා උගුර ආසාදනය වීමෙන් උගුරෙන් ගෙරවීම් හඬක් පිටවීම
* ඇඟිලි කරු කැසීම සහ ඉදිමීම
* සිරුර එක දිගට ලෙව කෑම

අසාත්මිකතාවයක් නිසා එකවරම මරණයට පවා පත්විය හැකිය. එනිසා එවැනි අවස්ථා හඳුනාගෙන සතුන් එවැනි දේවල්වලට නිරාවරණය නොවන ලෙස සහ එවැනි තත්ත්වයන්ට පත් නොවන ලෙස ආරක්ෂා කර ගැනීම ප්‍රතිකාර කරා යොමු වෙනවාට වඩා සුදුසු වේ.
මැක්කන් කිනිතුල්ලන් වැනි පරපෝෂිතයන් අසාත්මික වන සතුන් සිටින්නේ නම් එවැනි උවදුරු කල්තබා මර්දනය කර ගැනීමට කල්පනාකාරී විය යුතුය. බොහෝවිට උෂ්ණ දේශගුණයක් ඇති කාලවල දී මැක්කන්, කිනිතුල්ලන් බෝවීම වැඩි ය. එනිසා උෂ්ණ කාල එළඹෙන විට දී එවැනි උවදුරු සඳහා පිළියම් යෙදීම අවශ්‍ය වේ.
අසාත්මික වන යම් ආහාරයක් ඇත්නම් එය හඳුනාගෙන එම ආහාරය මෙන්ම එම සංඝටකය අඩංගු වෙනත් ආහාර නොදීමටද කල්පනාකාරී විය යුතුය. උදාහරණයක් ලෙස කුකුල් මස් අසාත්මික වන්නේ එහි ඇති ප්‍රෝටීන වර්ගයක් නිසා නම් එම ප්‍රෝටීන අඩංගු වෙනත් ආහාර ද අසාත්මික විය හැකි බව සිහි තබා ගත යුතු වේ.
දූවිලිවලට අසාත්මික වන සතුන්ගේ පිරිසිදු බව පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුය. සතුන්ගේ කුඩු ද නිතර සෝදා පවිත්‍ර කොට තැබීම අවශ්‍ය වේ.

යම් එන්නතක් ඖෂධයක් අසාත්මික වූ බව හඳුනා ගෙන ඇත්නම් ඒ පිළිබඳව සටහන් කර තබා ගෙන වෛද්‍ය ප්‍රතිකාර කරා යන සෑම අවස්ථාවකදීම ඒ සම්බන්ධයෙන් වෛද්‍යවරයා දැනුවත් කළ යුතුය.
මේ ආකාරයට සතුන් අසාත්මිකතාවයන්ට ගොදුරු වන බාහිර සාධක හඳුනාගෙන සතුන් එවැනි දේවල්වලින් මුදවා ගැනීම මූලික වශයෙන් කළ යුතුය. එවැනි අසාත්මිකතාවයකින් සතා පෙළෙන බව හැඟේ නම් වෛද්‍ය උපදෙස් මත පිරිටන් වැනි ඖෂධයක් ලබා දිය හැකිය.
සතෙකුගේ සම නිරෝගී වූ තරමට අසාත්මිකතාවයන්ට ගොදුරු වීමේ හැකියාව අවම වේ එම නිසා සතුන්ගේ සම නිරෝගිමත්ව තබා ගැනීමට උපකාර වන විටමින් වර්ග, සිරප් වර්ග මෙන්ම හැකි පරිදි සම බල ආහාර ලබාදීම ද සුදුසුය . එමගින් සතුන් අසාත්මිකතාවයන්ට ගොදුරු වීමේ අවදානම තරමක් හෝ අවම කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

පශුවෛද්‍ය ඉසුරු අංජුල පෙරේරා

සැකසුම – ඉන්දු පෙරේරා

සතුන්ටත් හිමි අපේ ලෝකය