ඉන්දියාවේ උමගක් තුළ සිර වී සිටින කම්කරුවන් 41 දෙනෙකු බේරා ගැනීම සඳහා කරන අති දුෂ්කර මෙහෙයුමක්

ඉන්දියාවේ උත්තර්ඛාන්ද් නැමැති ප්‍රාන්තයේ උමගක් තුළ දින 16 කට ආසන්න කාලයක් තිස්සේ සිර වී සිටින කම්කරුවන් 41 දෙනෙකු බේරා ගැනීම සඳහා කෙරෙන දැවැන්ත මෙහෙයුමක් මේ දිනවල විදෙස් මාධය තුළ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබේ. මෙම කම්කරුවන් සිර වී සිටින්නේ එම ප්‍රාන්තයේ සිල්ක්යාරා සහ බාර්කොත් යන නගර දෙකක් යා කරමින් ඉදි වෙමින් ඇති උමං මාර්ගයක කොටසක් තුළ යි. පසුගිය 12 වැනි දින මෙම පිරිස එහි සිර වූයේ උමං මාර්ගයෙහි කොටසක් කඩා වැටීම නිසා එය මුළුමනින්ම අවහිර වීම නිසා ය. පස්, කොන්ක්‍රිට් සහ ලෝහමය සුන්බුන්වලින් උමග අවහිර වී ඇති බව සඳහන් විය. මීටර 60 ක් පමණ දිගට මෙම පස් සහ කොන්ක්‍රීට් වැටී ඇති බව වාර්තා වේ. එය මේ ආකාරයෙන් කඩා වැටී තිබුණේ ඒ ආසන්නයේ සිදු වූ නාය යාමක් නිසා බව පැවසිණි.

දින 16 ක් තිස්සේ ජීවිතය පිලිබඳ විශ්වාසයකින් තොරව මෙවැනි උමගක් තුළ සිර වී සිටීම කෙතරම් අභියෝගාත්මක සහ දුෂ්කර කටයුත්තක් ද යන්න අමුතුවෙන් කිව යුතු නැත. මෙම පසුබිම තුළ ඉහත කී කම්කරුවන්ගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් බොහෝ පාර්ශ්වවල දැඩි අවධානය යොමු වී තිබේ. මෙම කම්කරුවන් බේරා ගැනීම සඳහා කෙරෙමින් ඇති ගලවා ගැනීමේ මෙහෙයුම්වලට විවිධ බාධා එල්ල වීම තුළ එම කටයුතු කලින් බලාපොරොත්තු වූවාට වඩා ප්‍රමාද වෙමින් තිබීම ද විශාල ගැටලුවක් බවට පත්ව ඇත.

ගලවා ගැනීමේ කණ්ඩායම් මුලින්ම සැලසුම් කළේ සුන්බුන් අතරින් සිදුරක් හාරා ඒ හරහා මි.මී.900 ක (අඩි 3 ක පමණ) විශ්කම්භයකින් යුතු බටයක් යවා එම බටය තුළින් කම්කරුවන් පිටතට ගැනීමට ය. පසුගිය ඉරිදා (26) වනවිට මීටර 46 ක පමණ දුරක් සුන්බුන් අතරින් හෑරීමට ගලවා ගැනීමේ කණ්ඩායම්වලට හැකි වී තිබිණි. නමුත් අවාසනාවකට මෙන් හෑරීම් යන්ත්‍රය එම අවස්ථාවේ අක්‍රිය වීමකට ලක් විය. එය අක්‍රිය වී තිබුණේ කොන්ක්‍රීට් කුට්ටි අතර තිබූ ලෝහමය සුන්බුන්වල සිර වීම නිසා ය. යන්ත්‍රය නැවත ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වූ අතර ඒ නිසා එම මෙහෙයුම නතර කර දැමීමට සිදු විය. මේ වනවිට එම යන්ත්‍රය උමගෙන් පිටතට ගෙන ඇති බව වාර්තා වේ. කම්කරුවන් නැවත හිරු එළිය දකින්නට ඉතා ආසන්නව තිබිය දී සිදු වූ මෙම සිදුවීම ඔවුන් තුළ මහත් බලාපොරොත්තු කඩවීමක් සහ මානසික කඩා වැටීමක් ඇති කරන්නට සමත් වූවාට සැක නැත.

හෑරීම් යන්ත්‍රය අක්‍රිය වීමෙන් පසු එතැන් සිට ඇති ඉතිරි මීටර 14 ක පමණ දුර අතින් ක්‍රියා කරවන උපකරණ භාවිතයෙන් හෑරීමට ගලවා ගැනීමේ කණ්ඩායම පියවර ගෙන ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් විශේෂඥයන් වන කණ්ඩායමක් දිල්ලි නුවර සිට ගෙන්වා ගැනීමට නිලධාරීන් කටයුතු කර තිබිණි. නමුත් මෙවැනි සුන්බුන් ගොඩක් හරහා අතින් සිදුරක් හෑරීම ඉතා දුෂ්කර සහ අභියෝගාත්මක කටයුත්තක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

කෙසේ හෝ වේවා, කම්කරුවන් වෙත ආහාර, ජලය සහ ඔක්සිජන් ලබා දීමට බාධාවක් නැත. ඒවා කම්කරුවන්ට ලබා දෙන්නේ වඩාත් කුඩා බට කිහිපයක් සුන්බුන් අතරින් යැවීමෙනි. ඉතා කුඩා කැමරාවක් ද මෙම බට හරහා යවා කම්කරුවන්ගේ සුවදුක් නිරීක්‍ෂණය කිරීමට ගලවා ගැනීමේ කණ්ඩායම් මෙයට දින කිහිපයකට පෙර පියවර ගෙන තිබිණි. එහි දී කම්කරුවන් එකිනෙකා කැමරාව ඉදිරියට පැමිණ තමුන් හඳුන්වා දෙමින් කතා කළ බව සඳහන් විය.

කෙසේ හෝ වේවා, ගලවා ගැනිමේ කණ්ඩායම් තවත් විකල්ප සැලැස්මක් ක්‍රියාවට නගමින් සිටියි. එනම් මෙම උමං මාර්ගයට ඉහළින් ඇති කන්දේ ඉහළ සිට පහළට සිරස් අතට සිදුරක් හාරා ඒ ඔස්සේ කම්කරුවන් වෙත ළඟා වීම යි. සඳුදා (27) දින මාධ්‍ය වාර්තා කර තිබුණේ එම කටයුතු ඉදිරියට යමින් ඇති බව ය. ඒ වනවිට මීටර 31 ක් පමණ හාරා ඇති බවක් ද සඳහන් විය. කම්කරුවන් වෙත ළඟා වීම සඳහා තවත් මීටර 55 ක් පමණ හාරන්නට ඉතිරිව තිබිණි.

උමගට අංශක 90 ක කෝණයකින් තවත් තිරස් උමගක් හෑරීමේ සැලැස්මක් ගැන ද මාධ්‍ය වාර්තාවල සඳහන් විය. නමුත් මෙම සටහන ලියන අවස්ථාව වනවිට ඒ ගැන වැඩි විස්තරයක් සඳහන්ව තිබුණේ නැත.

දින 16 ක් තිස්සේ උමග තුළ සිර වී සිටින කම්කරුවන් බේරා ගැනීමේ මෙහෙයුම මේ ආකාරයෙන් වඩාත් සංකීර්ණ වෙමින් තිබිය දී ඔවුන්ගේ කායික සහ මානසික සෞඛ්‍යය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් ඇතුළු බොහෝ පාර්ශ්වවල විශේෂ අවධානයක් යොමුව තිබේ. ඔවුන් වඩාත්ම කණස්සල්ලට පත්ව සිටින්නේ කම්කරුවන්ගේ මානසික සෞඛ්‍යය ගැන ය.

මෙම කම්කරුවන්ට ඔවුන්ගේ පවුල්වල උදවිය සමග කතා කළ හැකි දුරකතන මාර්ගයක් ස්ථාපිත කිරීමට නිලධාරීන් වෑයම් කරමින් සිටින බව ද සඳුදා ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි. ඒ අතර ඔවුන්ට විඩියෝ ක්‍රීඩාවල නිරත වීමට හැකි වන සේ සුහුරු දුරකතන ලබා දීමට ද පියවර ගෙන ඇති බව සඳහන් ය.

කම්කරුවන් නිරුපදි්‍රතව බේරා ගැනීමට හැකි වේවි ද යන්න තවමත් අවිනිශ්චිතව ඇති තත්ත්වයක් තුළ ඔවුන්ගේ අඹු දරුවන් ඇතුළු සමීපතමයන් කල් ගෙවන්නේ දැඩි කම්පනයෙන් සහ මානසික ආතතියෙන් යුතුව ය. මේ අතර ගලවා ගැනීමේ කටයුතු භාරව සිටින පාර්ශ්ව සඳහන් කරන්නේ ඉදිරියේ දී තවත් බාධා අවහිර ඇති නොවුණහොත් නොවැම්බර් 30 වැනි දින වනවිට කම්කරුවන් වෙත ළඟා වීමට හැකියාව ලැබෙනු ඇති බව යි.

නිහාල් පීරිස්

 

එතෙර - මෙතෙර