ඕස්ට්‍රේලියාවට එන්න සූදානම් ද?

ඕස්ට්‍රේලියාව කරා පැමිණීමට දහස් ගණනක් සූදානමින් සිටිති. උසස් අධ්‍යාපනය හැදෑරීමට සුදුසුකම් ලැබූ සිසුන්, ව්‍යාපාරිකයින්, කලාකරුවන්, සංචාරක වීසා මත සිය දරු මුණුපුරන් දැකීමට බලාපොරොත්තු වන දෙමව්පියන්, වැඩ කිරීමට කැමැති පිරිස් මොවුන් අතරේ වෙති.

මොවුන් සියලුම දෙනාගේ සතුටට හේතු වන කාරණාවක් (සැප්තැම්බර් 09) ජනමාධ්‍ය තුළින් අනාවරණය කෙරිණ. එනම් තවත් වැඩි කාලයක් නොගොස් විදෙස් සංචාර ආරම්භ කරන බවයි.

එය සමහර විට නත්තල් සමය ආරම්භයත් සමග සිදුවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ජනමාධ්‍ය අනාවැකි පළ කරයි. පළමුව රට තුළ ජීවත් වන ඕස්ට්‍රේලියානුවන්. විදෙස් සංචාර ආරම්භ කළ හැකි ආකාරයේ ජාත්‍යන්තර පිළිගැනීමෙන් යුක්ත ‘කෝවිඩ්’ සහතිකය අඩංගු ගුවන් ගමන් බලපත්‍රයක් සකස් කෙරෙන බව වාර්තාවල දැක්වේ.

මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් කීප දෙනෙක් 08 වැනිදා හමුවූහ. රටේ ජනගහනයෙන් සියයට 70ක්, 80ක් එන්නත ලබාගත් විගස විදෙස් සංචාර ආරම්භ කළ හැකි බව එම සාකච්ඡාවේ දී අදහස් පළ වී ඇත.

දැනට පවතින ඕස්ට්‍රේලියානු ගුවන් ගමන් බලපත්‍රයටම මෙම ජාත්‍යන්තර සහතිකය අඩංගු කෙරෙනවාද නැතහොත් නවතම ගුවන් ගමන් බලපත්‍රයක් ‘කෝවිඩ්’ සහතිකය ද ඇතුළත් කොට සකස් කරනවාද යන්න පිළිබඳ මෙහිදී කරුණු අනාවරණය වී නැත.

ජාත්‍යන්තර කෝවිඩ් සහතිකය හා සෑම සංචාරකයෙක් සඳහා යොදා ගැනෙන QR(Quick Response) කේතය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව දැඩි සැලකිල්ලක් දක්වයි.

ශ්‍රී ලංකාවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් දක්වන උනන්දුව ඉතා වැදගත් ය. මේ වනවිටත් ඕස්ට්‍රේලියාව බලා පැමිණීමට සූදානමින් පසුවන සිසුන් ඇතුළු බොහෝ දෙනෙක් කෝවිඩ් දෙවැනි මාත්‍රාව ද ලබා ගෙන සිටින බව වාර්තා වේ.

ඔවුන් සඳහා නිකුත් කර තිබෙන සහතිකය ‘ජාත්‍යන්තර’ මට්ටමින් පිළිගන්නා සහතිකයක් බව ශ්‍රී ලංකාවේ ආණ්ඩුව හෝ වගකිවයුතු දෙපාර්තමේන්තුවක් තහවුරු කළ යුතුව ඇත. තමන් වෙනුවෙන් නිකුත් කර තිබෙන කෝවිඩ් සහතිකයට ජාත්‍යන්තර පිළිගැනීමක් නැතහොත් ඕස්ට්‍රේලියාව ට පිවිසීමේ අවසරයක් හිමිදැයි යන්න පිළිබඳ ශ්‍රී ලංකාවේ පිහිටි ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලයෙන් විමසා දැන ගැනීම අතිශයින් වැදගත් වෙයි.

ඒ වගේම ඕස්ට්‍රේලියාව බලා පැමිණීමට නියමිත ලෝකයේ සංචාරකයන්ට හා විදෙස් සංචාර සඳහා ඕස්ට්‍රේලියාවෙන් පිටත් වී යන සියලුම දෙනාට QR කේතය අවශ්‍ය කෙරෙන බව ජනමාධ්‍ය අනාවරණය කරයි. ගෝලීය වසංගතයට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් ක්ෂණිකව පුද්ගලයන් පරික්ෂාවට සහ සම්බන්ධතා සෙවීම සඳහා ඕස්ට්‍රේලියානු රජය ආරම්භ කළ ‘කෝවිඩ් කේතය’ මේ වනවිට රට පුරා භාවිතා කෙරේ.

එය ඉතා සාර්ථක වැඩ පිළිවෙලක් බවට පත් වී ඇත. ඉදිරියේ දී මෙම QR කේතය නිසි පරිදි පරිහරණය නොකරන්නන්ට එරෙහිව දඩයක් පමුණුවන්නට ද රජය බලාපොරොත්තු වන බව ජනමාධ්‍ය අනාවරණය කරයි.

මේ අතර ඕස්ට්‍රේලියානුවන්ගේ හා ජාත්‍යන්තර ගුවන් සේවා ජාලය සම්බන්ධ කිරීමේ වැඩ පිළිවෙලක් මේ වනවිටත් ඕස්ට්‍රේලියාව ආරම්භ කර ඇති අතර කෝවිඩ් සහතිකයට ජාත්‍යන්තර පිළිගැනීමක් ඉන් හිමිවන බව ජනමාධ්‍ය පවසයි. රටේ ක්‍රිඩකයන්, කලාකරුවන් ඇතුළු සෑම ක්ෂේත්‍රයක්ම නියෝජනය කරන පුද්ගලයන්ට ජාත්‍යන්තර ක්‍රිඩා හා රඟහල් පද්ධතියට ඇතුළත් වීමේ අවසරය හිමි වන්නේ මෙම QR පද්ධතිය හා කෝවිඩ් සහතිකය අනුව බව එම වාර්තා පෙන්වා දෙයි.

මේ සියල්ල රටේ පුරවැසියන්ගේ ආරක්ෂාව සහ ආර්ථිකයේ සුරක්ෂිත බව තහවුරු කරන සැලසුම් යැයි ආණ්ඩුව පවසයි.
ඕස්ට්‍රේලියානුවන් සඳහා සකස් කෙරෙන මෙම වැඩ පිළිවෙල මෙරටට පැමිණෙන්නට බලාපොරොත්තුවෙන් පසුවන ලොව සියලු දෙනා වෙනුවෙන් ද ක්‍රියාත්මක කරවන දීර්ඝ කාලීන වැඩ පිළිවෙලකි.

අනුර හොරේෂස් බ්‍රිස්බෙන් සිට

එතෙර - මෙතෙර