කටුනායක සිමෙන්ති කර්මාන්තශාලාවකට එරෙහිව දැවැන්ත විරෝධතාවක්

කටුනායක ගුවන් තොටුපළ අසල 18 කණුව මංසන්ධියේ, තරු පන්තියේ හෝටලයක් හදන මුවාවෙන් සිමෙන්ති නිෂ්පාදන හා ඇසුරුම් කර්මාන්තශාලාවක් ඉදිකිරීමට එරෙහිව ප්‍රදේශවාසීහු ඊයේ (19) දැවැන්ත විරෝධතාවක නිරත වූහ.මෙම ව්‍යාපෘතිය සඳහා මුලින්ම මධ්‍යම පරිසර අධිකාරිය (2020 දී) සහ නාගරික සංවර්ධන අධිකාරිය (2025 දී) අනුමැතිය දී ඇත්තේ තරු පන්තියේ සංචාරක හෝටලයක් සඳහාය.නමුත් පසුව, අක්කර 6 කට වැඩි මෙම ඉඩමේ වර්ග මීටර් 3,857 ක තනි මහල් හෝටල් ගොඩනැගිල්ලක් වෙනුවට, වර්ග මීටර් 12,925 කින් යුත් 5 මහල් සිමෙන්ති කර්මාන්තශාලාවක් සඳහා හොර රහසේ බලපත්‍රය වෙනස් කරගෙන ඇති බව විරෝධතාකරුවෝ චෝදනා කරති. මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් කරන ලෙස ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.කොළඹ – කටුනායක ප්‍රධාන මාර්ගයේ සිට මීගමුව කලපුව දක්වා දිවෙන මෙම භූමියේ කර්මාන්තශාලාව හැදීමෙන් පාර්ශව රැසකට හානි සිදු වේ.මීගමුව කලපුව, ධීවර ජනතාව, ලියනගෙමුල්ල කඩොලාන වනාන්තරය, මුතුරාජවෙල සංවේදී පරිසර කලාපය, අවට හෝටල්, ජාත්‍යන්තර පාසල් සහ නිදහස් වෙළඳ කලාපයේ නේවාසිකාගාරවලට මෙයින් සෘජු බලපෑම් එල්ල වේ.මෙයින් පිටවන සිමෙන්ති දූවිලි නිසා කටුනායක ගුවන් තොටුපළේ මෙහෙයුම්වලට බාධා වේ. විශේෂයෙන්ම, ධාවන පථය අසලින්ම නැගෙන සිමෙන්ති කුඩු ගුවන් යානා එන්ජින්වලට හානි කළ හැකි බැවින්, මෙය ගුවන් ආරක්ෂාවට බරපතල තර්ජනයක් බව ගුවන් යානා ඉංජිනේරුවරු ද පෙන්වා දෙති.මෙම විරෝධතාව සඳහා ප්‍රදේශයේ මහා සංඝරත්නය, කතෝලික පූජකතුමන්ලා, ධීවරයන්, පරිසරවේදීන්, හෝටල් හිමියන් සහ පාසල් දරුවන්ගේ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ හෝටල් ව්‍යාපෘතියකට මුවාවී සිදුකරන මෙම පරිසර විනාශය වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙසයි.

කාලීන පුවත්