කාලගුණ ආපදා වලින් පවුල් 6250කට හා පුද්ගලයන් 25,863කට හානි

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රත්නපුර, කළුතර, ගම්පහ, මාතර , යාපනය, පුත්තලම, කුරුණෑගල, නුවරඑළිය, ගාල්ල, කෑගල්ල යන දිස්ත්‍රික්කවල පවුල් 6250ක පුද්ගලයන් 25,863ක් ඊයේ(02) පස්වරු 6.00 වනවිට බලපෑමට ලක් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සිය දෛනික තත්ත්ව වාර්තාව නිකුත් කරමින් කියා සිටී.පුර්ණ හානි නිවාස 02කටත් අර්ධ නිවාස හානි 453කුත් සිදුව තිබේ. ඇතිවිය හැකි මොනයම් හෝ ආපදා තත්ත්වයකට මුහුණ දීම සඳහා අපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ආපදා සහන සේවා මධ්‍යස්ථානය, දිසාපති හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක බළකාය සමඟ සූදානම් කොට ඇතැයි වාර්තා වෙයි.අද පස්වරු 5.00 දක්වා වලංගු වන පරිදි කොළඹ, ගාල්ල, හම්බන්තොට, කළුතර, මහනුවර, කෑගල්ල, මාතර, රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණනාවක් සඳහා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය නායයාම් පිළිබඳ අනතුරු ඇඟවීම් සිදු කර තිබේ. ඒ අනුව නෙළුව, ඉංගිරිය, පස්බාගෙ කෝරලේ, දැරණියගල, රුවන්වැල්ල, පිටබැද්දර, කොටපොල, ඇලපාත, කලවාන, රත්නපුර, අයගම, ඇහැලියගොඩ, කිරිඇල්ල, කුරුවිට, පැල්මඩුල්ල, නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයාම් පිළිබඳ අවධානය යොමු කිරීමේ දෙවැනි අදියරේ නිවේදනයද, සීතාවක, ඇල්පිටිය, වලස්මුල්ල, මතුගම, වලල්ලාවිට, බුලත්සිංහල, අගලවත්ත, දෙහිඕවිට, යටියන්තොට, කෑගල්ල, මුලටියන, අතුරලිය, කොලොන්න, ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයාම් පිළිබඳ විමසිලිමත්වීමේ පළමු අදියරේ නිවේදනයද නිකුත් කර ඇත. නිල්වලා, ගිං ගංඟා ද්‍රෝණි සහ කළු ගඟේ කුඩා ගඟ උප ද්‍රෝණිය, අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන අද(03) පෙරවරු 9.00 දක්වා වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් දීර්ඝ කර තිබේ.

කාලීන පුවත්