කාන්තා පුවත්පත් කතු වරියක දකින ගැහැණිය

සමාජමය වශයෙන් නූතන කාන්තාව අතීතයට සාපේක්ෂව සැලකිය යුතු ප්‍රගතියක් හිමි කර ගෙන ඇති බව බැලූ බැල්මටම පෙනෙන කරුණකි.එහෙත්,ඒ ප්‍රගතිය කාන්තාවගේ ස්වීයත්වයට කොතෙක් හිතදායී ලෙස බලපා තිබේද?යන්න මෙතෙක් බොහෝ දෙනකුගේ අවධානයට යොමුව නැත.නූතනයේ වුව සමාජ ආර්ථික වශයෙන් කෙතරම් ඉහළ තලයකට පත්ව සිටිය ද කාන්තාව හුදෙක් ස්වකීය ස්ත්‍රීත්වය පදනම් කර ගත් ස්වීයත්ව අර්බුද රාශියකට මුහුණ පාන බව වඩාත් හොඳින් දන්නෝ කාන්තාවෝම ය.ඒ සම්බන්ධයෙන් ජන මාධ්‍ය මඟින් පවා විවෘත සංවාදයක් ගොඩ නොනැඟෙන බවට කාන්තා පාර්ශවයෙන්ම හඬක් නැංවෙන පසුබිමක ශ්‍රී ලංකාවේ ජනප්‍රියම කාන්තා පුවත් පතක කතුවරියක වූ ප්‍රවීණ මාධ්‍යවේදිනියක ඒ සම්බන්ධයෙන් පළ කළ කාව්‍යාත්මක ස්නිග්ධ සන්නිවේදනයක් අපි අද මෙසේ ඔබ වෙත ගෙන එන්නෙමු.

මෙරට පුවත් පත් පාඨකයන් නම ඇසූ පමණින් දන්නා හඳුනන ප්‍රවීණ මාධ්‍යවේදිනී ශිරාණි ගල්ලෑල්ල මෙරට පුවත් පත් ක්ෂේත්‍රයට අවතීර්ණ වනුයේ මීට වසර තිස් නවයකට පෙර 1984 ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම කාන්තා පවත් පතක් වූ “සිරිකත”පුවත් පතෙනි.පසුව එහි කර්තෘ මණ්ඩලයේ විවිධ තනතුරු දරන ඇය  අවසානයේ “සිරිකත” ප්‍රධාන කර්තෘ පදවියට ද පත්වන්නීය.ශිරාණි මාධ්‍ය ක්ෂේත්‍රයේ වැඩිම උනන්දුවක් පළ කළ සහ දස්කම් දැක් වූ විෂය පථය වනුයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයයි.මේ වන විට  එම විෂය පථයට අදාල ලිපි විශේෂාංග දහස් ගණනක් සම්පාදනය කොට ඇති ඇය ඒ සම්බන්ධ ග්‍රන්ථ ද දාහතරක්  එළි දක්වා තිබේ.එමෙන්ම සෞඛ්‍ය සන්නිවේදනය සම්බන්ධයෙන් මෙරට මාධ්‍යවේදියකුට හිමි කර ගත හැකි දේශීය සහ ජාත්‍යන්තර සම්මාන වැඩිම ගණනකට හිමි කම් කියන ශිරාණි  ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ වානිජවේදී උපාධිධාරිනියක බව අදත් බොහෝ දෙනකු නොදන්නා රහසකි.තම වෘත්තීය ජීවිතයට අමතර විවේකී අවස්ථාවන් හිදී කවි,කෙටි කතා නිර්මාණයේ යෙදෙන ශිරාණි මේ වන විට නවකතාවක් ද ලියා තිබේ.ඉදිරි කාලයේ ඒවා ද එළි දක්වන බව ඇය කියයි.ශිරාණිගේ කවි සංකල්පනා අතුරින් අප “ගැහැණිය” නම් වන මෙම නිර්මාණය තෝරා ගන්නා ලද්දේ  කෘතහස්ත මාධ්‍යවේදිනියක ;විශේෂයෙන් කාන්තා පුවත් පතක හිටපු කර්තෘ වරියක ගැහැණිය පිළිබඳව දරන ආකල්පය මින් අංශුමාත්‍රිකව හෝ හෙළි කර ගත හැකි බැවිනි.

ගැහැණිය

දරදිය ඇද්දත්
කාසි සෙවූවත්
හොඳක් අහන් නැති
එකම මිනිස් හඬ
ගැහැණිය
බිරිඳද
මව ද කියනු මැන
ජීවිතයේ මහ පවුරු සොයාගෙන
රන්හුයකින් දෑගිලි පටලා ගෙන
යන්නේ දිවියේ සතුට සොයන්නද
ගිය අයෙකුන් ගෙන් අහන්න සඳවත
රන් හුය ගැලවී දිය වී යන්නේ
මහ මෙර තරමට දාස බාරි ලෙස
දූ දරු සැමගේ සැපතට නොවෙදෝ
ඒත්, පලක් නැති
ගැහැණිය
බිරිඳද මව ද කියනු මැන

ශිරාණි ගල්ලෑල්ල

wall එක