කොවිඩ් අඩු වෙද්දී තවත් වයිරසයක් ගැන අනතුරු ඇඟවීමක්

ලෝකයේ කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා වීම කෙමෙන් අඩු වෙමින් තිබිය දී මේ දිනවල තවත් වයිරසයක් ගැන සෞඛ්‍ය අංශවල අවධානය යොමු වෙමින් තිබේ. මෙම වයිරසය හැඳින්වෙන්නේ හියුමන් මෙටානියුමොවයිරසය (Human Metapneumovirus හෙවත් hMPV ) යන නමිනි.

පසුගිය මාර්තු මාසයේ ඇමරිකා එක්සත් ජනපදය තුළ මෙම වයිරසය වාර්තා වීමෙහි ඉහළ යාමක් දක්නට ලැබී ඇතැයි සඳහන් වේ. දැනට එවැනි වර්ධනයක් වාර්තා වී ඇත්තේ ඇමරිකාවෙන් පමණක් වුව ද මේ ගැන ලෝකයේ සෙසු රටවල් ද අවධානයෙන් පසු වීම වැදගත් බව සෞඛ්‍ය විශේෂඥයෝ සඳහන් කරති. මේ ගැන අවධානයෙන් පසුවන බව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ ද පවසා තිබෙනු දැකිය හැකි විය. ඉහත වයිරසයේ බලපෑමක් මෙතෙක් ශ්‍රී ලංකාවට නොමැති නමුත් ඒ පිලිබඳව දැඩිව විමසිලිමත් වීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ්-19 පිලිබඳ සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි පවසයි.

පසුගිය මාර්තු මුල් සතියේ ඇමරිකාව තුළ සිදු කරන ලද සමස්ත ඇන්ටිජන් පරීක්‍ෂණ අතරින් සියයට 19.6 කින් මෙම වයිරසය හමු වී තිබිණි. පීසීආර් පරීක්‍ෂණ අතරින් සියයට 10.9 කින් ද එය හමු වී තිබූ බව සඳහන් ය. කොවිඩ් වසංගතය ඇති වීමට පෙර ගත වූ වසර හතර තුළ කිසි විටෙක මෙම ප්‍රතිශතය සියයට 7.7 ඉක්මවා තිබුණේ නැත. ඒ නිසා මෙය සැලකිය යුතු වැඩි වීමක් බව පැවසිය හැකිය. මෙම වයිරසය සඳහා පුළුල් මට්ටමින් පරීක්‍ෂාවන් සිදු නොකෙරෙන නිසා මෙහි ව්‍යාප්තියෙහි සැබෑ තත්ත්වය නිශ්චිතව පැවසීමට අපහසු බව ද සඳහන් වේ. ඉහත දත්තවලින් පෙන්වනවාට වඩා වැඩි ව්‍යාප්තියක් මෙහි තිබිය හැකි බව ද විශේෂඥයෝ පෙන්වා දෙති.

මෙය ද කොවිඩ්-19 මෙන්ම ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ලක්‍ෂණ ඇති කරන වයිරසයකි. එය මුල් වරට සොයාගෙන තිබුණේ 2001 වසරේ යි. ආසාදිතයකු කහින විට, කිවිසුම් අරින විට පිටවන බිඳිති මගින් මෙය අනෙක් අයට බෝ වෙයි. එමෙන්ම ආසාදිතයකුට අතට අත දීමෙන් සහ මෙම වයිරසය තැවරුණු පෘෂ්ඨයන් ස්පර්ශ කිරීමෙන් පසු මුව, ඇස් සහ නාසය ඇල්ලීමෙන් මෙය බෝ වීමට පිලිවන.

hMPV නිසා බොහෝ විට එතරම් බරපතල රෝග ලක්‍ෂණ ඇති වන්නේ නැත. සාමාන්‍ය මට්ටමේ රෝග ලක්‍ෂණ දින කිහිපයකට පසු පහව යන බව සඳහන් වේ. උපරිම වශයෙන් දින 6 කින් පමණ රෝග ලක්‍ෂණ පහව යන බව පැවසේ. නමුත් කුඩා දරුවන්, වියපත් පුද්ගලයන් සහ විවිධ නිධන්ගත රෝග නිසා ප්‍රතිශක්තිය හීන වූවන් වැනි අයට මෙය බරපතල ලෙස බලපෑ හැකිය. ඔවුන් සම්බන්ධයෙන් මාරාන්තික ප්‍රතිඵල ඇති කිරීමට ද hMPV වයිරසයට හැකියාව ඇති බව වෛද්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති. මාස 6 සිට 12 දක්වා වයස්වල පසුවන දරුවන් තුළ බරපතල රෝග ලක්‍ෂණ ඇති වීමට වැඩි ඉඩක් ඇති බව සඳහන් වේ.

කැස්ස, නාසය සිර වීම, උණ, හුස්ම ගැනීමේ අපහසුතා ආදිය බහුලව දැකිය හැකි රෝග ලක්‍ෂණ යි. නමුත් රෝගය උත්සන්න වුවහොත් රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය පහත වැටීම වැනි බරපතල තත්ත්වයන් ද ඇති විය හැකිය.

තවමත් මෙම වයිරසය සඳහා ප්‍රති-වයිරස ප්‍රතිකාරයක් හෝ එන්නතක් හෝ සොයාගෙන නැත. ඒ නිසා මේ සම්බන්ධයෙන් වැඩි පරෙස්සමකින් කටයුතු කළ යුතුව ඇති බව ද සෞඛ්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.

hMPV වයිරසය වෙන වසරවලට වඩා මේ වසරේ පැතිරෙන්නට පටන්ගෙන ඇත්තේ මන්ද යන්න සම්බන්ධයෙන් ද විශේෂඥයන් අදහස් දක්වා තිබේ. ‘පසුගිය වසර දෙක තුනක කාලය තුළ දැඩි සෞඛ්‍ය ආරක්‍ෂක පිලිවෙත් අනුගමනය කළ නිසා ජනතාව අතර මෙවැනි වයිරස සංසරණය වුණේ නැහැ’ වසංගත රෝග පිලිබඳ විශේෂඥයකු වන මහාචාර්ය ඩෙලේ ඔගුන්සීට්න් පවසයි. ‘මේ නිසා මෙම වයිරස සම්බන්ධයෙන් ස්වාභාවික ප්‍රතිශක්තියක් අප තුළ ගොඩ නැගුණේ නැහැ. දැන් නැවතත් ජනතාව නිදහසේ සමාජය තුළ හැසිරෙන්නට පටන් ගැනීමත් සමග ඔවුන් මෙම වයිරසවලට ගොදුරු වීමට පටන්ගෙන තිබෙනවා’ ඔහු තවදුරටත් විස්තර කර තිබිණි.

hMPV වයිරසය කුරුල්ලන්ගෙන් මිනිසුන් අතරට පැමිණි වයිරසයක් විය හැකි බවටත් අදහසක් තිබේ.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර