ගැස්ට්‍රයිටිස් පිටුදකිමු

vinivida

ගැස්ට්‍රයිටිස් යනු නිතරම කනට ඇසෙන වැඩි දෙනෙක් තමන්ට තිබෙන බව කියැවෙන රෝග තත්වයකි. එමෙන්ම ඔබත් ගැස්ට්‍රයිටිස් නිසා බොහෝ දෙනා පීඩා විඳින විවිධ ආකාරයන් දැක ඇති. මෙහිදී  ඇත්තෙන්ම සිදුවන්නේ ආමාශයේ ඇතුලත මතුපිට සිවිය ඉදිමීම, ප්‍රදාහය වීම හෝ තුවාල වීමයි. ආමාශයේ ඇතුලත ආස්තරය ආසාදනය වීමට හෝ ප්‍රදාහය වීමට වැඩි වශයෙන් බලපාන හේතූන් වන්නේ හෙලිකොබැක්ටර් පයිලෝරි (Helicobacter pylori) නම් බැක්ටීරියාවේ ක්‍රියාකාරිත්වය, වෙනත් බැක්ටීරියා හෝ වෛරස් වල ක්‍රියාවන් සහ පිත්තාශයේ සිට පිටුපසට ගලා එන පිත්යුෂයයි.

ගැස්ට්‍රයිටිස් රෝගය ඇති වීමට මූලික වන හේතු

  • ක්ෂණික ආහාර, තෙල් මිරිස් තුනපහ වැඩිපුර යෙදූ ආහාර නිතර ගැනීම
  • තන්තු සහිත ආහාර අඩුවෙන් ගැනීම
  • වේදනා නාශක ඖෂධ කාලයක් තිස්සේ භාවිතා කිරීම
  • වෙනත් ඖෂධ (උදා: ප්‍රතිජීවික ඖෂධ, පිළිකා නාශක ඖෂධ) භාවිතා කිරීම
  • ආමාශයේ ආසාදන තත්වයන්
  • යම් උදරාබාධයක් හේතුවෙන් අධික ලෙස වමනය යාම
  • මත්පැන් සහ කොකේන් වැනි මත්ද්‍රව්‍ය භාවිතා කිරීම
  • දුම්පානය කිරීම
  • සිරුරට අවශ්‍ය තරම් ව්‍යායාම නොලැබීම
  • මානසික ආතතියෙන් පෙළීම
  • සාමාන්‍ය ජීවන රටාවෙන් බැහැර වීම නිසා සිදුවන වෙනස්කම් හේතුවෙන්. උදා: සංචාරයේ යෙදීම, නිවසේ උත්සවයක් තිබීම හෝ රෝගියකු බලා ගැනීමට සිදුවීම, ගර්භනීබව

ගැස්ට්‍රයිටිස් රෝගයේ ලක්ෂණ

  • පපුව, උදරයේ ඇතිවන දැවිල්ල
  • නිතර ඔක්කාරයට ඒම
  • ආහාර ගිලීමට අපහසු වීම
  • උගුරේ කිතිකැවීමක් මෙන් දැනී ඇතිවන වියලි කැස්ස
  • වමනය යාම
  • ආහාර නිසි ලෙස ජීර්ණය නොවීම
  • ඉක්කාව
  • කෑම අරුචිය
  • නිතර ආමවාතය පිටවීම
  • බඩ පුරවා දමා ඇති ලෙස දැනීම
  • ලේ වමනය කිරීම
  • කලු හෝ තද පැහැයට මළ පිටවීම
  • නින්දට බාධා වීම සහ රෝගය උත්සන්න වූ විට ඇතිවන ඇදුම තත්වය

සමහර අයෙකුට ගැස්ට්‍රයිටිස් තත්වය පැය කිහිපයක් තුල ඇතිවිය හැකි අතර ප්‍රතිකාර මගින් ඉක්මණින් සුවපත් වේ. තවත් සමහර අයෙකුට මෙම තත්වය කාලයක් පුරා පැවතීමෙන් නිදන්ගත රෝග තත්වය දක්වා වර්ධනය විය හැකිය.

ගැස්ට්‍රයිටිස් රෝගයෙන් වැළකී සිටීමට කළ හැකි දේ

  • අධික ලෙස මිරිස් සහ තුනපහ යෙදූ ආහාරවලින් වැලකී සිටීම
  • මත්පැන් පානය කිරීම නැවැත්වීම
  • තෙල් සහිත ආහාර හැකි තරම් අඩු කිරීම
  • රසකාරක යෙදූ ආහාර පාන වලින් හැකි තරම් ඈත් වීම
  • ලුණු අඩුවෙන් ආහාරයට ගැනීම
  • කෝපි පානය අඩු කිරීම
  • හොඳින් ජලය පානය කිරීම
  • බොහෝ වේලාවක් කුසගින්නේ නොසිට කුඩා ප්‍රමාණයෙන් ආහාර කිහිප වරක් ගැනීම
  • ආහාර ගැනීමේදී ඉක්මණින් ගිල නොදමා සෙමෙන් ආහාර ගැනීම
  • දිරවීමට අපහසු සහ ආම්ලිකතාවය වැඩි ආහාර (උදා: තක්කාලි, විනාකිරි ආදිය වැඩිපුර යෙදූ ආහාර) හැකි තරම් නොගෙන සිටීම
  • දුම්පානයෙන් සහමුලින්ම ඈත් වීම
  • සෞඛ්‍ය සම්පන්න, සමබර ආහාර රටාවකට හුරුවීම
  • කෑමට පෙර අත් සේදීම වැනි යහපත් සෞඛ්‍ය පුරුදු පවත්වා ගැනීම
  • මානසික ආතතිය මනාව පාලනය කරගැනීම
    • යෝග ව්‍යායාම කිරීම
    • භාවනා කිරීම
  • සන්ධි අමාරුවලට සහ කොන්දේ කැක්කුම්වලට නිතර ලබා දෙන වේදනා නාශක පෙති හා කරල් ගැනීමෙන් වැලකී සිටීම.

ගැස්ට්‍රයිටිස් පාලනය කර පවත්වා ගැනීමට හිතකර ආහාර

  1. එළවලු
  2. පලා වර්ග
  3. සමහර පලතුරු වර්ග (උදා: පේර, කෙසෙල් ගෙඩි, ඇපල්, කොමඩු, බෙලි, අනෝදා)
  4. ධාන්‍ය වර්ග (කඩල, කව්පි, මුං ඇට)
  5. මාලු/කුකුල් මස් (සම ඉවත් කරන ලද)
  6. බිත්තර
  7. සෝයා/බඩ ඉරිඟු

ගැස්ට්‍රයිටිස් වැඩි වීමට බලපෑ හැකි ආහාරපාන

  1. අධික ආම්ලිකතාවයෙන් යුතු ආහාර (තක්කාලි, විනාකිරි යෙදූ), සමහර පලතුරු (උදා: අන්නාසි, දිවුල්)
  2. මත්පැන්
  3. සෝඩා හා වෙළඳපලේ ඇති පැණි බීම වර්ග
  4. තේ සහ කෝපි
  5. අධික තෙල් සහිත ආහාර (තෙම්පරාදු කළ සහ තෙලේ බදින ලද ආහාර)
  6. අච්චාරු, බිලිං
  7. අධික මිරිස් සහ තුනපහ යෙදූ ආහාර
  8. එලු මස්, හරක් මස්, ඌරු මස්
  9. අධික සීනි සහිත ආහාර

ඕනෑම කෙනෙකුගේ එදිනෙදා වැඩ කටයුතුවලට බාධා වන, එමෙන්ම සුවසේ නිදා ගැනීමට ද නොහැකි වන මෙම ගැස්ට්‍රයිටිස් තත්වය ඇති නොවීමට එය නොසෑදුන සියලු දෙනාම ප්‍රවේශම් විය යුතුයි. සමස්තයක් වශයෙන් ගත් කල නියමිත වේලාවන් වලට ආහාර ගැනීම, එක් වර ආහාර විශාල ප්‍රමාණයක් නොගැනීම, සමබර ආහාර ලබා ගැනීම, සිරුරට අවශ්‍ය තරම් නින්දක් ලබා ගැනීම සහ දිනපතා ශාරීරික ව්‍යායාමයක යෙදීම තුලින් ගැස්ට්‍රයිටිස් වළක්වා ගත හැකියි. ඉහත ක්‍රමවලින් මෙම රෝග තත්වය සමනය වන්නේ නැති නම් නිසි වෛද්‍ය උපදෙස් ලබා, අවශ්‍ය පරීක්ෂණ කරවාගෙන නියමිත ප්‍රතිකාර ලබා ගන්න.

සමහර අවස්ථාවල දී ගැස්ට්‍රයිටිස් නිසා ඇතිවන දැවිල්ල, හෘදයාබාධයක් නිසා ඇතිවන කැක්කුම හෝ ඇන්ජයිනා කැක්කුමෙන් වෙන් කර හඳුනා ගැනීමට අපහසු වේ. මේ නිසා නිතර ගැස්ට්‍රයිටිස් තත්වය ඇති වන අය එම වේදනාව හෘද රෝග තත්වයක් නිසා ඇති වන්නක් දැයි සැක හැර දැන ගැනීම සඳහා වෛද්‍ය උපදෙස් පැතීම වැදගත්.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

සටහන – යමුනා සරෝජනී ගුණවර්ධන

දොස් දුරු කරවන දොස්තර උපදෙස්