ගුරුවරියගේ අනුවණ වට්සැප් පණිවිඩයෙන් කුරුළු කූඩු හතලිහක් සුන්!

සතුන්ගේ වාසස්ථාන පිළිබඳ පාසල් දරුවන්ට ඉගැන්වීම් සඳහා කුරුලු කූඩුවක් ද රැගෙන පාසලට එන්නැයි පාසලක ප්‍රාථමික අංශයේ ගුරුවරියක් යොමු කළ වට්ස්ඇප් පණිවුඩයකට ප්‍රතිචාර ලෙස ඊට පසුදා දරුවන් හතළිස් දෙනකු පමණ කුරුලු කූඩුද රැගෙන පන්තියට පැමිණ ඇතැයි තඹුත්තේගමින් වාර්තා වේ.එම ගුරුවරිය කුරුලු කූඩුවක් රැගෙන එන්නැයි දරුවන් හැටදෙනෙකුට පමණ වට්ස්ඇප් ඔස්සේ පණිවුඩයක් යොමු කර ඇති අතර ඉන් දරුවන් හතළිස් දෙනෙකු පමණ කුරුලු කූඩුද රැගෙන පාසලට පැමිණ තිබේ.කුරුලු කූඩුවද රැගෙන තම දරුවන් පන්ති කාමරයට ඇරලවීමට පැමිණි මව්පියන් පන්ති කාමරය තුළ තවත් එවැනි කුරුලු කූඩු විශාල සංඛ්‍යාවක් තිබෙනු දක්නට ලැබීමත් සමඟ ගුරුවරියගේ ක්‍රියාකලාපයට දැඩි විරෝධයක් එල්ල කර ඇත.එම එම ගුරුවරියගේ අනුවණ ක්‍රියාකලාපය හේතුවෙන් දරුවන් ස්වාභාවික පරිසරය පිළිබඳ ඉගෙන ගැනීම කෙසේ වෙතත් කුඩා කාලයේදීම සත්ත්ව හිංසනය වැනි පාරිසරික අපරාධමය ක්‍රියාවන් සඳහා පෙළඹවීමක් සිදුවන බව පවසමින් එම සිදුවීම සම්බන්ධයෙන් තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම්වරයා දැනුවත් කිරීමට ද මව්පියන් කටයුතු කර ඇත.මේ සම්බන්ධයෙන් තඹුත්තේගම අධ්‍යාපන කලාපයේ සහකාර ප්‍රාථමික අධ්‍යාපන අධ්‍යක්ෂ උපාලිසේන පවසා ඇත්තේ මේ පිළිබඳ සොයා බලන බවයි.මේ අතර ජ්‍යෙෂ්ඨ පාරිසරික නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන මහතා පවසනුයේ වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂා ආඥා පනතේ 31 වැනි වගන්තිය ප්‍රකාරව කුරුලු කූඩු කැඩීම, ගලවා ඉවත් කිරීම හෝ විනාශ කිරීම නීතියෙන් වරදක් බව ය.

කාලීන පුවත්