තමන් ගේ කේන්දරේ හැමෝටම පෙන්නන්න එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

අතීත ගැමි සමාජයේ වේලා පත්කඩය නමින් හඳුන්වන ලද කේන්ද්‍රය හෙවත් ජන්ම පත්‍රය වත්මන් සමාජයේ බොහෝ දෙනකුන් විසින් පිටු දකින්නක් යැයි ඇතැමකු සිතන්නට පුළුවන.එහෙත්, එය මුලුමනින්ම සත්‍යයකි.ඊට හේතුව වර්තමාන සමාජයේ බොහොමයක් දෙනා තුළ ජන්ම පත්‍ර පලාඵල කෙරෙහි තදබල විශ්වාසයක් පැවතීම ය.එමෙන්ම අතීත ගැමි සමාජයේ බොහෝ දෙනකු ජන්ම පත්‍ර කෙරෙහි දැක් වූ සහනශීලී ආකලප පවා වත්මන් සමාජයෙන් දුරු වී තිබීම ය.අතීත ජන සමාජයේ පැවැති චාම් සරල සවරූපය වෙනුවට නූතන සමාජය තුළ ලෞකිකත්වෞය අගතිගාමී ලෙසින් ඉස්මතු වීම ද ඊට හේතු වන්නට ඇත. කේන්ද්‍රය පිළිබඳ විවිධ විෂම අදහස් පළ කරන්නවුන් අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තා නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත අන්‍යයන්ට තම ජන්ම පත්‍ර නොපෙන්විය යුතු යැයි සිතන පිරිසක් ද සිටිති.එමෙන්ම සමහරුන්ගේ ජන්ම පත්‍ර පරීක්ෂා කරන ඇතැම් ජ්‍යොතිර්වේදීන් ද “මේ කේන්දරේ කාටවත් නොපෙන්නා ඉන්න තරමට හොඳයි” යනුවෙන් පවසන අවස්ථා ද තිබේ. එහෙත්, අපගේ විශ්වාසය අනුව එය ආචාර ධර්ම විරෝධී ක්‍රියාවකි. ඊට හේතුව ඕනෑම කෙනෙකුට තම ජන්ම පත්‍රය කැමති ඕනෑම අයකුට පෙන්වීමට ඇති අයිතියට අන් කිසිවකුටත් බාධා කිරීමට නොහැකි බැවිනි. නමුදු එසේ යමකුගේ කේන්දරය අන් අයට නොපෙන්වන ලෙස ඇතැම් ජ්‍යොතිර්වේදීන් දෙන උපදෙස් තුළ ‘උඹේ කේන්දරේ මට විතරක් පෙන්නපන්’ යන වාණිජ කුටෝපාය ද ගැබ්ව තිබෙන්නට ද පුළුවන.

ගුප්ත ශාස්ත්‍රවල එන අෂ්ට කර්මයන්හි අන්‍යයන්ට විපත් පැමිණවීමේ හැකියාවක් තිබේ. ඒ අතුරින් උච්චාටන (පළවා හැරීම) සහ මාරණ (මරණය හෙවත් විනාශය) ප්‍රධාන තැනක් ගනී. සාමාන්‍ය ව්‍යවහාරයේ අණ වින, හදි හූනියම්, වශයෙන් හැඳින්වෙන මෙම විපත්තිකර ක්‍රියා සිදු කිරීම සම්බන්ධයෙන් යමකුගේ ජන්ම පත්‍රය ද යම් තරමකට ආදේශ කර ගත හැකි බව පැවසෙයි. නමුදු ඒ සම්බන්ධයෙන් වැඩිපුර කරුණු විස්තර වනුයේ මහනුවර යුගයේ ලියැවුණු සම්භාව්‍ය නොවූ ඒ සම්බන්ධ ලියැවිලිවල බව අපගේ නිගමනයයි.

ඒ අනුව ගුප්ත ශාස්ත්‍ර මගින් යමකුට නපුරක්, විපතක්, අයහපතක් සිදු කරන්නේ නම් ඒ සඳහා ඒ තැනැත්තාගේ ජන්ම පත්‍රය මගින් ලබාගත හැකි දත්තයන් පිළිබඳව ද ඒවායේ සඳහන් වෙයි. නමුත් ඉහත සඳහන් උච්චාටන සහ මාරණ යන මිනිසුනට විපත් පැමිණවිය හැකි ගුප්ත ශාස්ත්‍ර සහ ජ්‍යොතිර්වේදය අතරේ කිසිදු සෛද්ධාන්තික සම්බන්ධයක් නොමැත. නමුදු පසුකාලීන ඒ සම්බන්ධ අවියත් ලේඛකයන් විසින් එම විෂයයන් අතරේ සිද්ධාන්තමය නොවන සබඳතා ගොඩනගා ගැනීම මත අද වන විට සිද්ධාන්තමය ජ්‍යොතිර්වේදය හදරා නොමැති පිරිස් වශාල මංමුළාවක වැටී සිටිති. එහි වඩාත් ඛේදනීය තත්ත්වය වනුයේ ඒ ඔස්සේ ඇතැම් විට සමස්ත ජන සමාජයම මහත් මුළාවකට පත්වීම ය.
කේන්දර හෙවත් ජන්ම පත්‍ර පරීක්ෂාව ඉතා කෙටි වේලාවක් තුළ පහසුවෙන් කර දිය හැකි දෙයකැයි අද සමහරෙක් සිතති. මෙන්ම එහි යම් ඇත්තක් ද තිබේ. නමුදු එලෙස දඩි බිඩියේ, කඩිමුඩියේ ජන්ම පත්‍ර බැලීමෙන් ඉන් පැවසෙන අදාළ ජන්මියාට සුබ අසුබ පිළිබඳ නිවැරදි විශ්ලේෂණයක් ලබා ගැනීමේ අසීරුවක් තිබේ. එය අප සිද්ධාන්තමය වශයෙන් සේම ප්‍රායෝගික වශයෙන් ද නිතර අත්දකින සත්‍යයකි.
පහසු, ඉක්මන් සහ ක්ෂණික යන නවීකරණ සංකල්පවලට අපගේ ජන සමාජය තුළම කාලයේ පෙර දක්නට නොවූ නැඹුරුවක් දක්නට ලැබෙන බව නොරහසකි.

මේ තත්වය අද වන විට කෙතරම් ප්‍රබල වී තිබේද යත් මිනිසාගේ සුව පහසුව තකා කෘත්‍රිම බුද්ධිය පවා භාවිතයට ගැනීමේ ශීඝ්‍ර ප්‍රවණතාවක් මේ දිනවල දක්නට ලැබේ. නමුදු ආධ්‍යාත්මික විෂය පථය හා සම්බන්ධ ගුප්ත ශාස්ත්‍ර භාවිතයේ දී මෙම පහසු, ඉක්මන් හා ක්ෂණික යන නවීන සංකල්ප යොදා ගත නොහැක. මෙය අදත් බොහෝ දෙනකු නොදත් ප්‍රබල රහසකි.
යමකුගේ ජන්ම පත්‍රය ඒ තැනැත්තා හා සම්බන්ධ රහස්‍ය ලේඛනයක් නොවේ.නමුත් විවිධ කරුණු අනුව සලකා බලන විට එහි යම් සත්‍යයතාවක් නැත්තේ ද නොවේ.දැන් අපි ඊට හේතුව විමසා බලමු.

පුස්කොළ පොතක ලියා තබා ඇතත් කරදාසිවල ලියා තබා ඇතත් යමකුගේජන්ම පත්‍රය යනු ඒ තැනැත්තාගේ ජීවන දර්ශකයක් බව පොදු පිළිගැනීම ය. වර්තමානයේ කරදාසි මෙතරම් බහුලව තිබිය දී පවා තවමත් ජනම් පත්‍ර පුස්කොළ පොත් වශයෙන් ලබා ගැනීමට ඇතැමුන් තුළ කැමැත්තක් පළ වනුයේ ඒ අනුව ය. එහෙත්, අද වන විට පුස්කොළ පොත් ලේඛණය සහ ඒවා සංරක්ෂණ අවප්‍රමාණ වෙමින් පවතින පසුබිමක ඒ සඳහා ඇති අවකාශය වේගයෙන් අහිමි වෙමින් තිබේ. තත්වය එසේ තිබිය දී යමකු තම ජන්ම පත්‍රය තවත් අයකු වෙතට දිගු කරනුයේ කුත-ුහලය මුසු මනසකිනි. බොහෝ දෙනකු ජ්‍යොතිර්වේදීන් වෙතට තම දෝතින්ම ජන්ම පත්‍රය දිගු කරන අවස්ථා අපි නොයෙක් වර අත්දකිමු.

ඒ කෙසේ හෝ යමකු ජ්‍යොතිර්වේදියකු වෙතට තම ජන්ම පත්‍රය දිගු කොට ජ්‍යොතිර්වේදියා එය දිගහැර ගන්නා අවස්ථාවේ එය දෙනු ලබන්නාගේ දෙනෙතින් පළවන කුතුහලය මුසු හැඟීම අපට රහසක් නොවේ. එමෙන්ම එය අතට ගෙන පරීක්ෂා කළ සැණින් එම ජ්‍යොතිර්වේදියා ඒ ජන්ම පත්‍රය සම්බන්ධයෙන් කුමක් හෝ දෙයක් පවසනු ඇතැයි යන විශ්වාසය ද ජන්ම පත්‍රය ලබා දෙන්නා තුළ ජනිත වේ.
එනිසාම යමකුගේ ජන්ම පත්‍රය අතට ගන්නා ජ්‍යොතිර්වේදියා එය දිග හැර ගත් වනම යම් යම් ප්‍රකාශ කරන අවස්ථා ද විරල නොවේ. එහෙත් ඇත්ත ඇති සැටියෙන්ම කිවහොත් එය ද මුළුමනින්ම සිද්ධාන්ත විරෝධී ක්‍රියාවකි. ඊට හේතුව යමකුගේ ජන්ම පත්‍රයක් දිගහැර ගත් පමණින් දර්ශනය වන දේ එය හිමියාගේ ජීවිතය සම්බන්ධ සත්‍ය කරුණු නොවීම ය.

යමකුගේ ජන්ම පත්‍රය කුජ ග්‍රහයා සත් වැන්නේ පිහිටීම විවාහය සම්බන්ධ අසුබ ග්‍රහ පිහිටීමක් සේ බොහෝ දෙනා සිතති. නමුත් ඒ භෞම දෝෂය යෝජිත සහකරුගේ හෝ සහකාරියගේ ජන්ම පත්‍රයේ 1, 2, 4, 7, 8 සහ 12 යන ස්ථානවල වේ නම් එම දෝසය භංග වන බව මූලික ජ්‍යොතිර්වේදී ඉගැන්වීම් වලම සඳහන් වෙයි. මේෂ, කටක සහ සිංහ ලග්න හිමියන්ට ශනි 7 පිහිටීම සස පුරුෂ යෝගය උදා කරවන්නකි.එය යහපත් ග්‍රහ තත්ත්වයකි. යමකුගේ බුධ, ගුරු, චන්ද්‍ර, ශුක්‍ර බලවත්ව කුජ සත් වැන්නෙහි පිහිටිය ද ඉවසීම,බුද්ධිමත්කම ආදී ලක්ෂණ ඉස්මතු වී විවාහ බාධාවන් දුරු වී යයි.

එහෙත්, මේ සියලු ග්‍රහ බල විනිශ්චයන් කෙරෙහි සුපරික්ෂාකාරී නොවී එක් සාධකයක් පමණක් පදනම් කර ගනිමින් කේන්දරය බැලූ බැල්මට අනාවැකි ප්‍රකාශ කිරීම එසේ ජන්ම පත්‍ර පරීක්ෂා කරවා ගන්නා පුද්ගලයාට සේම සමස්ත ජ්‍යොතිර්වේදයටම අවැඩක් සිදු කරවන නොමනා ක්‍රියාවක් බව අපි තරයේම කියා සිටිමු.

හේම ශ්‍රී අමරසිංහ

උරුමයක අසිරිය