ථෙරවාදි භික්ෂු කථිකාවත් පනත ආණ්ඩුව භික්ෂූන් මෙල්ල කිරීමට යොදන උප්පරවැට්ටියක්ද?

පසුගිය දා පාර්ලිමේන්තුවේදී පැවැති සෞඛ්‍ය සහ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු යන අමාත්‍යංශවල අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්තරා වැදගත් ප්‍රකාශයක් කළේය.එනම් කාලීන අවශ්‍යතාවක් ලෙස සලකා භික්ෂු කතිකාවත් පනත කඩිනමින් ගෙන එන බවයි. ත්‍රෛනිකායටම ගැලපෙන අයුරින් සකස් කෙරෙන එම විෂයේ අධීක්ෂණ සහ නියාමන කටයුතු මහා සංඝරත්නයට පවරන බව ද ජනාධිපතිවරයා කීය.එමෙන්ම ඇතැම් පිරිස් විශ්ව විද්‍යාලවලට පැවිද්දන් ලෙස ඇතුළත් වී ගිහියන් ලෙස උපාධිය ලබා ගැනීම ආදිය සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කිරීමට මහා සංඝරත්නයට පැවරිය යුතු බව ද ජනාධිපති වරයා කීය.සියලුම නිකායන්ගේ එකඟතාව මත ථෙරවාදි භික්ෂු කථිකාවත් පනත් කෙටුම්පතකට ආදළව ඒකමතිකව සිදුකරන ලද සංශෝධන අනුව නීති කෙටුම්පත් සම්පාදක වෙතින් නව කෙටුම්පතක් සැකසීමට කැබ්නට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. නමුදු මෙම භික්ෂු කෙටුම් පත පසුගිය යහපාලන සමයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමත් සමඟ අප රටේ භික්ෂු සමාජයේ යම් පිරිසක් අතර සුවිසල් කලබලයක් දක්නට ලැබිණ.

අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතාගේ යෝජනාවක් ලෙස ගෙන එන පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට සැරසෙන භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත මගින් සිදු වන්නේ භික්ෂුන් වහන්සේලා බේද කිරීමත්, භික්ෂුන් වහන්සේලා හට දඬුවම් කිරීමට නව නීති සෑදීමත් පමණක් බව මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ එවර ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසූහ.”අපි බුද්ධ පුත්‍රයන් ලෙස සැවොම බුද්ධ නීතියට යටත්. ඒ වගේම අපි ජීවත් වන රටේ සිවිල් නීතියට කොහොමත් යටත්. අපි එක එක නිකායන් යටතේ විවිධ සම්ප්‍රදායන් අනුගමනය කරනවා, උදාහරණයක් විදියට සමහර ස්වාමීන්වහන්සේලා ඇහි බැම කපනවා, සමහරු නොකපා ඉන්නවා, සමහරු සිවුර අඳින විදිහ වෙනස් , පාත්‍රයේ වළඳන එක , ගොටු අත්ත පාවිච්චි කරන එක , කුඩය පාවිච්චි කරන එක අන්න ඒවා ඒ ඒ නිකායන් වලට අදාල සම්ප්‍රදායන්.ඒවා නීති විදියට ගෙන්න හදන එකයි මේ භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත මගින් ආණ්ඩුව කරන්න හදන්නේ. විනය කියන්නේ සම්ප්‍රදාය නෙමෙයි, සම්ප්‍රදාය කියන්නේ නීතියත් නෙමෙයි.

සම්ප්‍රදාය තියෙන්නේ විනයටත් පහළින් තියෙන එකක්.අන්න ඒ නිසා මේ සම්ප්‍රදායන් නීතියක් බවට පත්කරන එක මොන තරම් වැරදි සහගත ක්‍රියාවක් ද යන්න අපි ප්‍රශ්න කරනවා” උන්වහන්සේ එහි දී පැවසූහ.එහෙත්, මෙම පනත මඟින් භික්ෂු සමාජයේ සර්වාධිකාරී බලය රජය සතු කර ගැනීමට වෙර දරන බවට ඇතැමුන් නඟන චෝදනාව මුළුමනින්ම පදනම් විරහිත බවත් මෙහි දී සිදු වනුයේ භික්ෂු සමාජය හසුරුවන සංඝාධිපත්‍යයෙන් යුතු අධිකාරියට නීතිමය බලයක් ලබා දීම පමණක් බවත් පසුව බුද්ධ ශාසන අමාත්‍ය වරයා කියා තිබිණ.මේ අතර එම මාධ්‍ය හමුවට එක්වෙමින් ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර හිමියන් කියා සිටියේ මහානායක හිමිවරුන්ගේ විරෝධය ද නොතකමින් ගෙන එන ශාසන විරෝධී මෙම පනත මගින් විජයදාස රාජපක්ෂ මහතා ඉටුකරමින් සිටින්නේ ආණ්ඩුවේ මහා කුමන්ත‍්‍රණයේ කොටසක් බවකි.මෙය 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එමින්, රට කෑලි වලට කඩමින්, රටේ සම්පත් විකුණමින් ආණ්ඩුව ගෙනයන ප‍්‍රතිපත්ති වලට එරෙහිව හඩ නගන භික්ෂූන් වහන්සේලාට සහ ජාතිමාමක බලවේග වෙනත් පැත්තකට යොමු කිරීම සදහා ආණ්ඩුව විසින් ගෙන යන මර්ධනකාරී ක්‍රියාවලියක ප‍්‍රතිඵලයක් බව ද උන් වහන්සේ පවසා සිටියහ. මෙම මාධ්‍ය හමුවට ආචාර්ය හෑගොඩ විපස්සි හිමි,ආචාර්ය ගුණදාස අමරසේකර මහතා සහ වෛද්‍ය වසන්ත බණ්ඩාර යන මහත්වරු ද එක්ව සිටියහ. සැබැවින්ම ඕනෑම නොදරුවකුට වැටහෙන අන්දමට අද වන විට ශ්‍රී ලාංකේය භික්ෂු සමාජය අන්ත පරිහානියට පත් ව තිබේ.

භික්ෂු සමාජය තුළින් මතු වන ශ්‍රමණ ප්‍රතිරූපකයන්ගෙන් සමාජයට සිදුවන හානිය දිනෙන් දින ඉහළ නැංවෙනු මිස අඩුවක් දක්නට නැත.ඒ ඔස්සේ බුදු සමය රෙපරමාදුකරණයට ලක් වීම හා ඒ තුළින් බිඳෙන ආගමික කල්ලි බිහි වීම දිනෙන් දින ඉහළ යමින් තිබේ.එය නාගරික සමාජයේ පංච කාම සම්පත් උපරිමයට භුක්ති විඳිමින් ඉහළම පෙළේ දේශපාලනඥයන්ගේ පෙරෙවි බමුණන් සේ මහේශාඛ්‍ය ලීලාවෙන් වැජඹෙන භික්ෂූන්ට නොපෙනෙන්නට පුළුවන නමුත් ථේරවාදී භික්ෂු කථිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත කාලීන අවශ්‍යතාවක් බව අපවත් වී වදාළ අස්ගිරි පාර්ශවයේ මහනායක අති පූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සි හිමියෝ එකල දැඩිව අවධාරණය කළහ. නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ පෙන්වා දී තිබුණේ මෙම පනත් කෙටුම්පත දීර්ඝ කාලයක් තිස්සේ ත්‍රෛනිකායික මහනායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝයා වහන්සේ රජයෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් බවයි.මාධ්‍ය මගින් මෙම පනත පිළිබඳ අනාවරණය කළ ස්වරූපය නිසා ගිහි පැවිදි බොහෝ දෙනා තුළ ඒ සම්බන්ධ යම්කිසි කැළඹීමක් ඇති වී ඇති බව ද එම නිවේදනයේ සඳහන් ය.ථේරවාදී භික්ෂු කථිකාවත භික්ෂූන් වහන්සේ පාලනය කිරීම සඳහා රජය මගින් නීති පැනවීමක් නොවන බවත්, භික්ෂු නිකාය හා පාර්ශව මගින් සම්පාදනය කරනු ලබන භික්ෂු කථිකාවත් ලියාපදිංචි කිරීමේ පනතක් බවත් අති පූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සි හිමියන් අවධාරණය කර තිබිණ.භික්ෂු කථිකාවත් තුළ අන්තර්ගත විය යුතු ඇතැම් කරුණු මෙම පනතට ඇතුළත් කර තිබීම නිසා යම් ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වී ඇති බව පෙන්වා දුන් උන් වහන්සේ අස්ගිරි මහ විහාර පාර්ශවයේ කාරක මහ සංඝ සභාව තවදුරටත් මෙම පනත පිළිබඳ අධ්‍යයනය කොට ඒ පිළිබඳ අදහස් රජයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ද වැඩිදුරටත් සඳහන් කර තිබිණ. ඒ අනුව යෝජිත ථෙරවාදි භික්ෂු කථිකාවත් පනත් කෙටුම්පත රජය මඟින් අප රටේ භික්ෂු සමාජය පාලනය කිරීමට සකසන ලද්දකට වසා වත්මන් භික්ෂු සමාජය පාලනය කිරීමේ නා හිමි වරුන් සතු නාමික හැකියාවට නීතිමය ආරෝපණයක් ලබා දීමක් සේ හඳුනා ගැනීම වඩාත් සුදුසු වනු ඇත.

හේමන්ත රන්බණ්ඩාර

එතෙර - මෙතෙර