නිවන් දුටු අංගුලිමාලගෙනුත් අභියාචනයක්

anguli

සමකාලීන සමාජමය සංසිද්ධීන් පාදක කොටකාලීන කාව්‍ය රචනය සෑම පද්‍ය සාහිත්‍යයකින් සේම සිංහල පද්‍ය සාහිත්‍යයේ ද දැකිය හැකි ලක්ෂණයක්.ඒත්, ඒ කවි රස විඳිය හැක්කේ ඊට මූලෝත්පාදක සිද්ධිය හා පවතින දැනුම් අවබෝධයන් මත පමණයි.නමුත් ඒ සිද්ධිය අපූර්වත්වයකින් යුතුව විග්‍රහ වීම සේම ඒ විග්‍රහය තුළින් ජන විඥානය වඩාත් ප්‍රබුද්ධ තැනකට ගෙන ඒම මේ කාලීන කාව්‍ය නිර්මාණකරණය තුළ පවතින සුවිශේෂතාවක්.පසුගිය දිනයක වත්මන් ජනාධිපති වරයා පාර්ලිමේන්තුව අමතා කළ කතාවක දී බුදුන්ට සතුරු කම් පෑ අංගුලිමාල සහ දේවදත්ත යන චරිත දෙක පටලැවීම බොහෝ දෙනකුගේ අවධානය යොමු වුණා. එම සිදුවීම කවි ඇසකින් දුටු අපූරු අවස්ථාවක් මේ.”අංගුලිමාලගේ අභියාචනය” නම් වන මේ කාව්‍ය සංකල්පනය ඉදිරිපත් කරන කවියා ප්‍රකට ආයුර්වේද වෛද්‍ය වරයෙක්,විද්වතෙක් හා නිදහස් මතධාරියෙක් ලෙස බොහෝ දෙනකුගේ දැන හැඳුනුමට ලක් වූවෙක්. ඔහු ඩැනිස්ටර් පෙරේරා. බෞද්ධ සාහිත්‍යයේ එන අන්දමට මුල දී දරුණු මිනී මරුවකුව සිටි අංගුලිමාල පසුව බුදු සසුනේ පැවිදිව රහත් ඵලය ලබා නිවන් අවබෝධ කර ගත් සුවිශේෂ චරිතයක්.නමුත් ඩැනිස්ටර් පෙරේරා කවියා තම පද්‍ය රචනය තුළින් අංගුලිමාල නැවත සජීවී තලයකට ගෙනවුත් ඔහු ලවා සමාජය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කරවීමට සමත් වෙනවා.නමුත් ඒ සම්බන්ධව කිසිවකුටත් කිසිවක් කීමට බැහැ.ඒ කවියකුට කවි ලොව තුළ ඒ නිදහස අවකාශය භුක්ති විඳීමේ පූර්ණ අවකාශයක් ඇති නිසයි.ඒ අනුව අපට ඒ සම්බන්ධයෙන් සිතීමට ඇත්තේ වර්තමාන සමාජ ව්‍යාකූලත්වය නිවන් දුටුවන් පවා යළි මෙලොවට ගෙන්වීමට තරම් ප්‍රබල වී ඇති බවයි.

අංගුලිමාලගේ අභියාචනය

ගල් පෙරළුවෙ මමත් නොවේ
බුදුන්ගෙ ලේ සොලවන්නට
එයාගෙ නම දේවදත්ත
දැන් ඉන්නේ අවීචියේ

ඇඟිලි කපපු බව ඇත්තයි
ඒත් ඒව පල දුන්නයි
අන්තිමේ දී රහත් වෙලා
සංසාරෙන් අත් මිදුණයි

අනුන් ගෙ පව් අපෙ කරපිට
පටවන එක තක්කඩිකම
උන්ගේ ජඩකම් විපාක
මිනිස්සු ගෙවනවා වගේ

ගෙවන්න බැරි මහ අකුසල
ආනන්තරියයි ඒ පව්කම්
ණය කන්දත් ඒ වාගෙයි
උන් රට කෑ සාපෙ නිසා

අංගුලිමාලලා හිරේ
දේවදත්තලා නිදහස්
දියවන්නාවේ බල්ලෝ
තාම සැපට බුරනවාලු

ඩැනිස්ටර් පෙරේරා

wall එක