ගිනස් වාර්තා පොතට ගිය අපූරු සුනඛයෙක් සහ බැළලියක්

sunaka

ගිනස් ලෝක වාර්තා පොතට ගිය අපූරු සුරතලුන් දෙදෙනකු පසුගිය දිනවල මාධ්‍ය තුළ ජනප්‍රිය මාතෘකාවක් වී තිබුණා. ඒ සුරතල් සුනඛයකු සහ බළලෙකු යි. ඔවුන් මේ ආකාරයෙන් ලෝක වාර්තා පිහිටුවා තිබුණේ මේ වනවිට ජීවත්ව සිටින වියපත්ම සුනඛයා සහ බළලා හැටියට යි.

වියපත්ම සුනඛයා ලෙස වාර්තා පොතට ඇතුළත් වූයේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලිස් නුවර වෙසෙන ජිනෝ නැමැති සුරතල් සුනඛයෙක්. ඔහු චුවාවා නැමැති වර්ගයට අයත් සුනඛයකු බවත් වාර්තා වුණා. මේ වනවිට ජිනෝ ගේ වයස අවුරුදු 22 ක් බව ඇසුවහොත් ඔබ ඇතැම් විට පුදුමයට පත් වේවි. සුනඛයෙකුගේ සාමාන්‍ය ආයු කාලය අවුරුදු 10-13 අතර බවයි පැවසෙන්නේ.

ජිනෝ ගේ හිමිකාරයා වන ඇලෙක්ස් වොල්ෆ් ජිනෝ ඇති කිරීම සඳහා ලබාගෙන තිබුණේ 2002 වසරේ යි. ජිනෝ උපත ලබා තිබුණේ 2000 සැප්තැම්බර් මාසයේ බව සඳහන්. ඔහු ඇලෙක්ස් ගේ සුරතලා බවට පත් වීමට පෙර රැඳී සිටියේ ්‍යමප්බැ ීදජසැඑහ සබ ඊදමකාැර නැමැති මධ්‍යස්ථානයක යි. එය කාත් කව්රුත් නැති අනාථ සතුන් රැකබලා ගන්නා මධ්‍යස්ථානයක්.

ලෝකයේ ජීවත් වූ වයස්ගතම සුනඛයා ලෙස සැලකුණු සුනඛයකු මිය ගිය පුවත මෙයට ටික දිනකට පෙර ඇලෙක්ස්ට අනතර්ජාලය හරහා දැක ගන්නට ලැබී තිබුණා. ඒ වනවිටත් ජිනෝ තමා සමග වසර 20 ක් ජීවත්ව තිබූ නිසා සමහර විට ජිනෝටත් මෙම වාර්තාවට හිමිකම් කීමට හැකි වනු ඇතැයි යන සැකයක් ඒ අවස්ථාවේ තමා තුළ ඇති වූ බවයි ඇලෙක්ස් පවසා තිබුණේ. ඒ අනුව ඔහු ජිනෝ කලින් රැඳී සිටි මධ්‍යස්ථානයට කතා කර තිබුණේ ජිනෝ ගැන ඔවුන් වෙත ඇති තොරතුරු දැන ගැනීමට යි. ජිනෝ උපත ලබා ඇත්තේ 2000 වසරේ බව ඔහුට දැන ගන්නට ලැබී තිබුණේ එම අවස්ථාවේ යි.

ඇලෙක්ස්ගේ වයස මේ වනවිට අවුරුදු 40 ක්. ඔහුගේ ජීවිත කාලයෙන් අඩකට ආසන්න කාලයක් ජිනෝ ඔහු සමග ජීවත් වී තිබෙනවා. ඇලෙක්ස් පවසන්නේ තමාගේ ජීවිතයේ වැදගත් අවස්ථා රැසකදී තම සුරතලා තමා සමග සිටි බවයි. විශ්ව විද්‍යාල උපාධිය ලබා ගැනීම, පෙම්වතියක් හමුවීම, නිවසක් මිල දී ගැනීම, ව්‍යාපාරයක් ආරම්භ කිරීම වැනි අවස්ථා ඔහු නිදසුන් ලෙස දක්වා තිබුණා.

ජිනෝ ලොව වියපත්ම සුනඛයා බවට පත් වෙද්දී වියපත්ම බළල් සුරතලා ලෙස වාර්තා පොතට එක් වූයේ බි්‍රතාන්‍යයේ වෙසෙන ෆ්ලොසී නැමැති බැළලියක්. මේ වනවිට ෆ්ලොසිගේ වයස අවුරුදු 27 කට ආසන්න යි. එය මිනිසුන්ගේ වයසට අනුව අවුරුදු 120 ක් පමණ වන බවයි ඒ පිලිබඳ විශේෂඥයන් පවසන්නේ. බළලකුගේ සාමාන්‍ය ආයු කාලය අවුරුදු 12-14 ක් පමණ බව සඳහන් වෙනවා.

වයසට යද්දී මිනිසුන් මුහුණ දෙන සමහර අපහසුතාවන්ට ෆ්ලොසීත් මුහුණ දී ඇති බව පැවසෙනවා. ඒ ඇය මේ වනවිට ඇස් පෙනීමේ දුර්වලතාවකින් සහ තරමක බිහිරි බවකින් පෙලෙන නිසයි.

ෆ්ලොසිගේ ජීවිත කතාව ආරම්භ වන්නේ 1995 වසරේ යි. ඇයගේ පළමු හිමිකාරයා වූයේ ලිවර්පූල් හි රෝහලක සේවය කළ කෙනෙක්. රෝහල අවට දුව පනිමින් සිටි කුඩා ෆ්ලෝසි සිය නිවසට ගෙන ගොස් ඇතිදැඩි කිරීමට ඔහු පියවර ගෙන තිබුණා. එයින් වසර 10 කට පසු එම තැනැත්තා මිය යනතෙක්ම ෆ්ලොසී ඔහු සමග ජීවත් වුණා. එයින් පසු ඇය හැදී වැඩී තිබුණේ ඔහුගේ සොහොයුරිය සමග යි. පසුව ෆ්ලොසිගේ පළමු හිමිකරුගේ පුතෙකු ඇයගේ හිමිකරු බවට පත් වූ බවත්, ෆ්ලොසී කෙමෙන් වියපත් වෙද්දී ඔහු ඇයව බළලුන් රැක බලා ගන්නා මධ්‍යස්ථානයකට භාර දුන් බවත් පැවසෙනවා. ඇය ලෝක වාර්තාවට හිමිකම් කියා ඇත්තේ එහි කල්ගත කරද්දීයි. නමුත් මේ වනවිට ෆ්ලොසීට අලුත් හිමිකාරියක ලැබී තිබෙනවා. ඇයගේ නම විකී ග්‍රීන්. ඇය පවසන්නේ ෆ්ලොසී කෙතරම් වයසට ගියත් තවමත් සුරතල් ගතිවලින් සමන්විත බවයි.

නිහාල් පීරිස්

අරුමැසි පුවත්