දුම්බර කඳු අතරේ සොබාදහමේ අසිරිමත් නිමැවුම කෝබට් ගේ කපොල්ල හෙවත් අට්ටලමෙට්ටුව

කෝබට්ස් ගැප්, එහෙම නැත්නම් කෝබට්ගේ කපොල්ල කියන්නේ  අපේ රටේ තිබෙන හරිම සුන්දර ස්ථානයක්. නකල්ස් කඳු ආශ්‍රිතව  කොබෝනීලගල පර්වතය සහ අලියා වැටුණු ඇල කන්ද යන යන කඳු දෙකට අතර මැද තිබෙන  බෑවුමේ පිහිටි කපොල්ලට තමයි මේ  කෝබට්ගේ කපොල්ල කියන්නෙ.  අලියා වැටුණු  ඇල කන්ද නකල්ස් වනපෙතේ  පස්වෙනියට  උසම කන්ද ලෙස සැළකෙනවා. මෙය උසින් මීටර් 1667 ක්. කෝබට්ස්  කපොල්ල සහ තංගප්පුව ගම අතර මෙම කන්ද පිහිටා තිබෙනවා. කන්දට උතුරු දෙසින්  පිහිටා ඇත්තේ කොට ගඟ  තැන්න සිට නකල්ස් කඳු පන්තිය දක්වා ප්‍රදේශය යි.
         තංගප්පුව සිට  කෝබට්ස් සුළං කපොල්ලට ඇති දුර  කිලෝමීටර් හයක් පමණ වෙනවා.  යතුරු පැදි, ත්‍රිරෝද රථ සහ ජීප් රථ වැනි වාහනයකින් පැමිණෙන්නේ නම් තෙල්දෙණියේ සිට මීමුරේට යා හැකි ළඟම මාර්ගය තංගප්පුව සහ  කෝබට්ස් කපොල්ල හරහා මාර්ගයයි.  ඒ අනුව  තෙල්දෙණියෙන්  උඩිස්පත්තුව, රංගල හරහා  තංගප්පුවට පැමිණ එතැනින් කෝබට්ස් කපොල්ල වෙත ආ හැකියි. ඉන්පසු කරඹගොල්ල,  පුස්ඇල,  කයිකාවල පසු වූ විට ඊළඟට මීමුරේ ගම  හමුවෙනවා. නමුත්  තෙල්දෙණිය තංගප්පුව මාර්ගය ගල් , බොරළු, දිය සීරාවන් වැනි දෙයින්  පිරී ගත්  දුෂ්කර මාර්ගයක්.
       මේ මාර්ගයේ කිලෝමීටරයකට පමණ ළංවන දුරක් ගිය විට  සුවිසල් තංගප්පුව පතන හමු වෙනවා. තංගප්පුව පතනේදී කොබෝනීල  පර්වතය ඉතා සුන්දර ලෙස දැක ගන්න පුළුවන්. කොබෝනීල ගලට පිටුපසින් තිබෙන්නේ දෝතැන්ගල කන්ද යි. ඊට බොහෝ ඈතින් රන්දෙනිගල රක්ෂිතයේ කඳු ද දැක බලා ගත හැකියි.
      මීමුරේට යන අනෙක්  මාර්ගය තමයි හුන්නස්ගිරිය, ඩීන්ස්ටන් වතුයාය හරහා ලූල්වත්ත මාර්ගය. මේ මාර්ගයේදීත් ලූල්වත්තෙන්පසුව ඊළඟට හමුවන්නේ කෝබට්ස් කපොල්ල යි.
        ඒ අනුව  මීමුරේට යන පාරවල් දෙකම කෝබට්ස්  කපොල්ලේ දී හමු වෙනවා. ඉන්පසු එතැන් සිට කරඹගොල්ල, පුස්ඇල,  කයිකාවල හරහා මීමුරේට  යාමට තිබෙන්නේ එකම මාර්ගයක්  විදිහටයි.
        කෝබට් කපොල්ල  හරියේදී  තද සීතලකින්  යුතු දේශගුණයක් ඇති මුත් මීමුරේ දෙසට යනවිට ක්‍රම ක්‍රමයෙන්  කන්ද බැසිය යුතු නිසා මුලින් දැනුණු සීතල  අඩු වී ගෙන යන ආකාරය මීමුරේ සංචාරයේ යෙදෙන ඕනෑම කෙනෙකුට අත්දකින්න හැකි වේවි.
         ඒ කොහොම වුණත් අපි මේ සඳහන් කළ කෝබට්ස්ගේ සුළං කපොල්ල ඇතුළු මෙම  ප්‍රදේශයේ සංචාරයේ යෙදෙන ඕනෙම කෙනකුට  නිතැතින්ම අත්විඳීමට සිදුවන කරදරයක් නම් තිබෙනවා. ඒ තමයි කූඩැල්ලන් ගෙන් වෙන විපත්තිය. එය මේ ප්‍රදේශවල  සංචාරයේ යෙදෙන ඕනෑම කෙනෙකුට බොහෝ විට මග හරින්නට බැරි දෙයක්.
         කෝබට්ස් සුළං කපොල්ල පිහිටි අලියා වැටුණු ඇල කන්ද මුළුමනින් ම විවිධ වෘක්ෂලතාවන්ගෙන්  පිරී ගත් දැවැන්ත අර්ධ කවාකාර හැඩයේ කන්දක්.
         කෝබට් කපොල්ල ට මෙම නම වැටී ඇත්තේ  මෙය මුලින්ම හඳුනාගත් ඉංග්‍රීසි පාලනය සමයේ අපේ රටේ සිටි කෝබට් නැමැති සුදු ජාතිකයා නිසායි.
        අපේ රටේ ප්‍රකටම සුළං කපොල්ල මෙම  කෝබට්ස්  කපොල්ල වුවත් තවත් ජනප්‍රිය සුළං කපොලු දෙකක් පිහිටා තිබෙනවා.
        ඉන් එකක් තමයි මාතලේ ලග්ගල පාරේ 26 කණුව ළඟ බටාඬු කන්ද අසල පිහිටා තිබෙන සුළං කපොල්ල. මෙම කන්දට බටාඬු  කන්ද යන නම ලැබී තිබෙන්නේ මෙය විශාල වශයෙන් බට ගස්වලින් ආවරණය වී තිබෙන නිසයි.  මෙම සුළං කපොල්ල පවතින්නේ කිරිමැටිය කන්ද සහ පතන කන්ද යන කඳු දෙකේ බෑවුම් අතරයි.
          තුන්වන සුළං කපොල්ල මැදමහනුවර කන්ද සහ නාවානගල කන්ද අතර මැද හුන්නස්ගිරියේ පිහිටා තිබෙනවා. නුවර සිට මහියංගනයට යන  දහඅට වංගු පාරේ හුන්නස්ගිරියේදි තමයි මේ සුළං කපොල්ල හමු වන්නෙ.
          අප අද මේ කතා කරන  කෝබට්ස්  සුළං කපොල්ල පැරැන්නන් හඳුන්වා ඇත්තේ අට්ටලමෙට්ටුව යන නමිනුයි.
          සුළං කපොල්ල කියන වචනය ඔබට නුහුරු එකක් නොවෙයි. ගීත සඳහා ද මෙම වදන භාවිතා කර තිබෙනු ඔබ නොයෙක් වර අසා ඇති.
         සුළං  කපොල්ල කියන්නේ මොකක්ද?  උස් කඳු දෙකක බෑවුම් දෙක අතර මැද තිබෙන කපොල්ලෙ හි  නිරන්තරයෙන්  දෙපැත්තට සුළං  මාරුවක්  පවතිනවා.  මෙලෙස සුළං මාරුවෙන තැනකට තමයි සුළං කපොල්ල කියන්නේ. නිරන්තරයෙන් ඇතිවන මෙම සුළං ප්‍රවාහය ට අනුව  කඳුවල  එක් එක් ප්‍රදේශවල වර්ෂාපතනය ද ඇති වෙනවා.
         එක්වරම විශාල වශයෙන් අවට නොපෙනී යන ආකාරයට මීදුම හට ගැනීම මෙම නකල්ස් කඳු ආශ්‍රිත ප්‍රදේශවල බහුලව දැකිය හැකි තත්ත්වයක්. මෙය කෝබට්ස්  සුළං කපොල්ලට ද පොදුයි. එකිනෙකා නොපෙනී යන ආකාරයට ඝන  මීදුමක්  ක්ෂණයෙන් පැතිරී ගියත් ඊළඟ විනාඩි කිහිපය තුළ දී නැවතත් එම මීදුම නැති වී ගොස් යථා තත්ත්වයට  පත් වෙනවා. මේ අනුව දුම්බර කඳු පෙත ලෙසින් ද  මෙය හැඳින්වෙනවා.
ඡායාරූප අන්තර්ජාලයෙනි.
ඉන්දු පෙරේරා
හරිත දනව්ව