දෙපාවල සුන්දර බවට හානි පමුණුවන නහර ගැට ගැසීම

අද අප සාකච්ඡාවට ලක් කරන මෙම මාතෘකා දෙක කාන්තාවන්ට ඉතා වැදගත් වනු ඇත. නමුත් කාන්තා පිරිමි භේදයක් නැතිවම නිරෝගීව සෞඛ්‍ය සම්පන්නව ජීවත්වීමට කැමති සෑම කෙනෙකුටම මේ මාතෘකාවන් ඉතා වැදගත් වනු නිසැක ය.
නහර ගැට ගැසීම ලෙස පොදු සමාජය හඳුන්වන vericose veins ගැහැනු පිරිමි භේදයක් නැතිවම හට ගන්නා වේදනාකාරී රෝග තත්ත්වයකි. මෙය කාන්තාවන්ට වඩාත් බලපාන්නේ වේදනාව සේම
මෙමගින් දෙපාවල සුන්දරත්වයට හානියක් ඇති කරන නිසා ය.
අපේ සමට යටින් සම ආසන්නයෙන්ම තරමක් මහත නූල් කැබලි මෙන් දිස් වන්නේ අපගේ සිරුරේ ඇති ශිරාවන් ය. අප නහර ගැට ගැසීම ලෙස හඳුන්වන්නේ මේ මේ ශිරාවල ගැට ගැසීමයි. වයසත් සමගම දෙපාවල ඉදිමීම සහ ඒ අවට සම අඳුරු පැහැ ගැන්වීම වැනි බොහෝ සංකූලතාවන් ඇතිවීමට මෙම තත්ත්වය හේතු වෙයි.

හදවතින් සිරුර පුරා රුධිරය රැගෙන යන්නේ ධමනි මගිනි. එලෙස ශරීරය විසින් ප්‍රයෝජනයට ගත් පසු එම අපිරිසිදු රුධිරය ඉන්පසු නැවත හදවත කරා ආපසු රැගෙන ආ යුතුය. ඒ කාර්යය ඉටු කරන්නේ ශිරා මගිනි. මෙලෙස ශිරා තුළ රුධිරය ගමන් කරන්නේ ධමනිවලට වඩා මඳක් සෙමින් ය. එසේම ඒවා පාදවල සිට ශිරා ඔස්සේ ඉහළට ගමන් කිරීමට යම් ආයාසයක් දැරිය යුතුය. ඒ නිසා සෙමින් ගලා යන රුධිරය ශිරාවල වැඩි වේලාවක් රැඳී පවතියි. දවසේ වැඩි වේලාවක් සිටගෙන සිටින අයගේ දෙපාවල නහර ගැට ගැසීමට හේතුව මෙයයි.
එසේම මේ ආකාරයට ශිරා තුළ රුධිරය වැඩි වේලාවක් රැඳී තිබෙන විට එම රුධිරයේ තිබෙන ද්‍රව්‍ය එහි තැන්පත් වීමක් සිදු වී ඒවායේ අවහිර වීම් ඇතිවිය හැකිය. ඉන්පසු ඒවා ඉදිමී, මහත් වී, ගැටගැසුණු, ගුලි වුණු ස්වභාවයකට පත් වෙයි. එවිට එම ස්ථානවල සම දුර්වර්ණ වීම, කැක්කුම සහ වේදනාව හට ගනු ඇත.

මෙලෙස ශිරා ගැට ගැසීම් නිසා පාදවල ඇස් වටයේ ද පාට වෙනස් වීම, තුවාල, දද, ඉදිමීම් ඇති වීමට බොහෝ ඉඩකඩක් පවතී. මේ නිසා ශිරාවල ඇතිවන වෙනස්කමක් දුටු වහාම මේ සඳහා මුල් අවස්ථාවලදී ම වෛද්‍ය ප්‍රතිකාර පැතීම අත්‍යවශ්‍ය වේ. තත්ත්වය වර්ධනය වුවහොත් එය යථා තත්ත්වයට පත් කිරීමට ශල්‍යකර්මයක් කිරීමට සිදුවනු ඇත. මුල දී නිසි ඖෂධ ප්‍රතිකාර ලැබීම තුළින් තත්ත්වය පාලනය කර ගැනීමට හැකි වෙයි. නිතර සිටගෙන සිටිය යුතු රැකියාවක යෙදෙන්නේ නම් ඉඩක් ලද හැම විටම වාඩිවී දෙපා ශරීර මට්ටමට වඩා තරමක් උස් තැනක තබාගෙන සිටීමෙන් මෙම තත්ත්වය පාලනය කරගත හැකි වෙයි. ගෘහණියක වුවද නිවසේ නිතර සිට ගෙන වැඩ කටයුතුවල යෙදෙන්නේ නම් ඇයද එම ක්‍රමය අනුගමනය කළ යුතු වෙයි. වාඩි වෙන හැම විටෙකම දෙපා තරමක් උසට සිටින පරිදි බංකුවක තබා ගෙන සිටීමට පුරුදු වීම සුදුසු ය.
සමහරු මෙලෙස ශිරා ගැට ගැට ගැසුණු විට දෙපාවල බැන්ඩේජ් ඔතා ගැනීම , ස්ටොකින්ස් වැනි දේ භාවිතා කිරීම සිදු කරති. නමුත් එය කළ යුත්තේ නියමිත ක්‍රමවේදයට අනුව බැවින් ඒ සම්බන්ධයෙන් වෛද්‍යවරයා වෙතින් අසා දැන ගත යුතුය. ඔබ දැනුමකින් තොරව හිතුමතයට අක්‍රමවත්ව මේවා කර ගැනීම තුළින් තත්ත්වය තවත් බරපතළ වීමට ඉඩ ඇත.

මෙලෙස නහර ගැට ගැසීම්වල ප්‍රතිඵල ලෙසින් කකුල්වල හට ගන්නා තුවාල , ඉදිමීම්, දද වැනි තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීම තුළින් ඒවා සුව කර ගැනීමට පුළුවන. නමුත් ඊට මුල් වූ හේතුව වන නහර ගැට ගැසීමේ තත්ත්වය දිගටම පවතින්නේ නම්, එම තුවාල ආදිය නැවත මතුවීමට ඉඩ කඩක් ඇත. එබැවින් මුල සිටම එම මූලික හේතුවට ප්‍රතිකාර ලබාගෙන ඒ තත්ත්වය සමනය කර ගැනීමට උත්සාහ කිරීම වඩාත් නිවැරදි ක්‍රමය වෙයි.

නියපොතු විරූපී වීම
———————————-
නියපොතුවල ස්වභාවික පෙනුමට සහ නිරෝගී බවට හානි කරවන හේතු රාශියක් තිබේ. ඒවා මෙලෙස දැක්විය හැකිය.

* විවිධ විෂබීජ වර්ග ආසාදනය වීම
* උපතින් බලපාන රෝගී තත්වයන්
* සමේ රෝග නිසා ඇතිවන බලපෑම්
* වෙනත් කායික රෝගවල අතුරු ප්‍රතිඵල ලෙසින් සිදුවන හානි
* පෝෂණ ඌනතා
* වෙනත් රෝග සඳහා ලබාගන්නා සමහර බෙහෙත් වර්ග
* බාහිරින් ගල්වනු ලබන විවිධ ආලේපන වර්ග නිසා ඇතිවන අහිතකර තත්වයන්

දැන් අපි මේ පිළිබඳව විස්තර සහිතව කතා කරමු.

අත්වල මෙන්ම පාදවල නියපොතු ද විවිධ විෂබීජ නිසා ආසාදනවලට ලක්විය හැකිය. නිතර නිතර අත් සෝදන, පාදවල තෙත ගතිය රැඳී සිටින කටයුතුවල නිතර යෙදෙන අයට සහ දියවැඩියාවෙන් පෙළෙන අයට මෙම තත්ත්වය ඇතිවීමේ ඉඩකඩ වැඩිය.
නියපොත්ත වටා තිබෙන මායිමේ මෙන්ම නියපොත්ත මත ද ඕනෑම තැනකින් දිලීර වැනි දේ හට ගත හැකිය. නියපොත්ත මත කුඩා පළුදුවීම් තිබෙන විට ඒ ඔස්සේ නියපොත්ත ඇතුලට ද පුස් රෝග පැතිරී වර්ධනය වීමට ඉඩ තිබේ. මෙවැනි ආසාදනයක් ඇති වූ විට නියපොත්ත කළු පැහැයට හෝ දුඹුරු පැහැයට හැරිය හැකි අතර ඇතැම් විට සුදු පැහැ වීමට ද පුළුවන.
සමහරුන්ගේ නියපොතු වර්ධනය වන්නේ සමෙන් ඉහළට එසවී සිටින ආකාරයටය. අත්වල එවැනි නියපොතු පිහිටීමේ දී මෙන් නොව දෙපාවල එවැනි නියපොතු පිහිටීමේදී යම් ආසාදනයක් ඇති වූ විට සුව වීමට කල් ගත වේ. එයට හේතුව අත්වල නියපොතු මෙන් නොව පාදවල නියපොතු වර්ධනය වීම ඉතා සෙමෙන් සිදු වීම ය.

බැක්ටීරියා වර්ග සාමාන්‍යයෙන් ආසාදනය වන්නේ නියපොත්ත වටා තිබෙන මායිම් ප්‍රදේශයේ ය. එවිට නියපොතු වටා ඉදිමී රතු වී ඇතැම් විට සැරව ගලන තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකිය. මේ ඉතාම වේදනාකාරී වන අතර මෙවැනි ආසාදන වළක්වා ගන්නට නම් නිතරම නියපොතු අවට පිරිසිදු කර ඉතා වියළි තත්ත්වයෙන් තබාගත යුතුය.
සමහර ජානමය හේතු ද නියපොතු වර්ධනයට බලපෑම් ඇති කරයි. මෙවැනි රෝග තත්ත්වයන් තිබෙන සමහර දරුවන් ඇතැම්විට නියපොතු නොමැතිව ඉපදෙයි. නැතහොත් කොටසක් පමණක් වැඩුණු නියපොතු සහිතව උපදින දරුවෝ ද සිටිති. මෙවැනි රෝගවලට කළ හැකි ප්‍රතිකාර ඉතා සීමිත ය.

පොතු කබර රෝගය, දද වැනි සමේ රෝග පවතින විට ද නියපොතුවල විවිධ වෙනස්කම් හටගනී. නියපොතුවල දුර්වර්ණ බවක් ඇති වී එහි සුමුදු බව නැතිවී ගොස් නියපොත්ත සහ සම අතර හිඩැසක් ඇති වේ. සමහර අයගේ නියපොතු ඉහළට එසවී එහි විවිධ ද්‍රව්‍ය තැන්පත් වෙයි. මෙහිදී නියපොතවල සිදුවන දුර්වර්ණ වීම නියපොතු යට කුණු තැන්පත් වීමක් ලෙස සමහරු වරදවා වටහා ගනිති. මෙම රෝගී තත්ත්වය හේතු කරගෙන නියපොත්ත සමෙන් ඉහළට එසවී එහි විවිධ ද්‍රව්‍ය තැන්පත් වේ. මෙවැනි නියපොතු නැවත යථා තත්ත්වයට පත් කිරීම ඉතා අසීරු ය. ප්‍රතිකාර ක්‍රම ඇත්තේ ද ඉතා ස්වල්පයක් පමණි.

විවිධ කායික රෝග නිසාද නියපොතුවලට බලපෑම් ඇතිවිය හැකි අතර සෙංගමාලය වැනි රෝග ඇති විට බිලිරුබීන් තැන්පත් වීම නිසා නියපොතු කහ පැහැ ගැන්වෙයි. හෘදය සම්බන්ධ රෝගවලින් පෙළෙන අයගේ නියපොතු නිල් පාට වීමක් දැකගත හැකිය. නියපොතු අවට සමට නියමිත පරිදි ඔක්සිජන් නොලැබීම මෙසේ වීමට හේතුවයි.

සමහර රෝග වැළඳීම නිසා ආහාර රුචිය අඩු වීමෙන් දිගුකාලීනව නිසි ලෙස ආහාර පාන ලබා නොගැනීම නිසා ද නියපොතු මත හරස් අතට විහිදුණු ඉරි වැනි ස්වභාවයක් මතු වේ. මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් නියපොතු පළුදුවී එම කුහර තුළින් විෂබීජ ආසාදනය වීමට පුළුවන. එසේම විවිධ ආතති තත්ත්වයන්ගෙන් පෙළෙන විට ද ආහාර ගැනීම අඩාල වෙයි. එවැනි අයට සේම, සිරුරේ හැඩය ගැන සිතා ආහාර පාලනයේ යෙදෙන අයට ද නියපොතුවල මෙම දුර්වල තත්ත්වයන් හට ගත හැකිය. ආහාර ගැනීම අඩු කර කාලයක් ගතවන විට නියපොතුවල සිදුවන මෙම වෙනස වටහා ගැනීම අසීරු වීමට පුළුවන. මේ ආකාරයට දුර්වල වන නියපොත්තක් නැවත සුවකර ගැනීමට නම් නියමිත පරිදි පෝෂණය ලැබෙන ආහාර ගැනීම සේම ප්‍රතිකාර ලැබීම ද අවශ්‍ය වේ.

සමහර රෝගවලදී ලබා ගන්නා ඖෂධ වර්ග හේතුවෙන් නියපොතු දුර්වල වීම සේම අවපැහැ ගැන්වීම ද සිදු වනු ඇත. මෙයට හොඳම උදාහරණය වන්නේ පිළිකා රෝගවලදී ලබා දෙන කීමෝ ප්‍රතිකාර යි. එහිදී නියපොතුවල වර්ණයෙහි පැහැදිලි වෙනස්කම් ඇතිවේ.

ප්‍රමිතියෙන් තොර නිය ආලේපන ගැල්වීම ද නියපොතුවල රෝග හටගැනීමට සේම, විවිධ වෙනස්කම් සිදුවීමට බලපායි. එසේම නියපොතු වර්ණ ගැන්වූ පසු ඒවා නිසි ලෙස ඉවත් කිරීමට වැඩි උනන්දුවක් නොමැති වීම නිසාද නියපොතුවල නිරෝගි බවට හානි සිදුවේ. මෙම නිය ආලේපන දිගු කලක් නියපොතු මතු තිබෙන විට එහි ස්වභාවික දීප්තිමත් පෙනුම නැති වී යා හැකිය. එසේම නිය ආලේපන ගල්වා ඒවා නිසි අයුරින් ඉවත් කළ පසු නැවත ටික කාලයක් කිසිදු ආලේපනයක් නොගල්වා නියපොතු නිදහසේ තිබෙන්නට හැරිය යුතුය. නිය ආලේපන ඉවත් කිරීමට භාවිතා කරන ද්‍රව්‍ය ද නිසි ප්‍රමිතියෙන් යුතු වීම ඉතා වැදගත්ය.

නියපොතු පිළිබඳව මනා විමසිල්ලකින් සිට සුළු හෝ වෙනස්කක දී වුවද ඊට ප්‍රතිකාර ගැනීමට සැලකිලිමත් වන්න. නැතහොත් කල්ගත වීමෙන් එය සුව කිරීම ඉතා අසීරු තත්ත්වයකට පත්විය හැකිය.

උපදෙස් චර්ම රෝග විශේෂඥ වෛද්‍ය හිරෝමල් ද සිල්වා

සැකසුම – ඉන්දු පෙරේරා

විනිවිද සායනය