පසුගිය ස්වාභාවික ආපදාවලට හේතුව නිරිතදිග මෝසම් ද, එල් නිනෝ ද? සුපර් එල් නිනෝ කතාව මාධ්‍යවල මවාපෑමක්


පසුගිය දින කිහිපය පුරාම දිවයිනේ මධ්‍යම කඳුකර ප්‍රදේශයට මෙන්ම එහි බටහිර සහ වයඹ බෑවුම්වලට නොනවත්වා ඇදහැළුණු මහා වර්ෂාවත් සමඟ දිවයිනේ ප්‍රදේශ රැසක ජනජීවිතය දැඩි ලෙස අඩපණ විය. විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයේ පෝෂිත ප්‍රදේශවලින් ඇරඹෙන ප්‍රධාන ගංගා, අතුගංගා සහ ඇළ දොළ පිටාර ගැලීම හේතුවෙන් හදිසි ගංවතුර තත්ත්වයන් හටගත්තේය. එමෙන්ම කඳුකර බෑවුම්වල පස්කඳු කඩාවැටීම් සහ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් රැසක්ද නිකුත් කිරීමට සිදුවිය. මෙම දැඩි වර්ෂාපතනය නිසා පහත්බිම් ජලයෙන් යටවී මාර්ග ගමනාගමනයට බාධා පැමිණි අතර, නිවාස හා දේපළවලට සිදුවූ හානිය මෙන්ම ජීවිත හානිද වාර්තා විය.

මෙලෙස කඳුකරයට ඇදහැළුණු වර්ෂාපතනය සාමාන්‍ය වර්ෂාපතන මට්ටම ඉක්මවා යමින් අතිශය චණ්ඩ සහ ආන්තික තත්ත්වයක් ගත් අතර, ඒ සමඟම සමාජය තුළත් මාධ්‍ය තුළත් දැඩි කතාබහක් නිර්මාණය විය. මෙම හදිසි මහ වැසි සහ ගංවතුර තත්ත්වයට ඍජුවම වගකිව යුත්තේ වසරේ මේ කාලයට උදාවන සාමාන්‍ය නිරිතදිග මෝසම් කාලගුණික තත්ත්වයද, නැතහොත් ගෝලීය වශයෙන් මහත් ආන්දෝලනයකට ලක්ව ඇති ‘එල් නිනෝ’ (El Niño) කාලගුණ විපර්යාසයද යන්න පිළිබඳව විද්‍යාත්මක හා ප්‍රායෝගික විග්‍රහයක යෙදීම කාලීන අවශ්‍යතාවකි.

නාවලපිටියට මෙවර අධික ගංවතුර තත්ත්වයක් ඇති විය

ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම අනුව වසරේ ප්‍රධාන මෝසම් ඍතු දෙකක් ක්‍රියාත්මක වන අතර, මැයි මාසයේ අවසන් භාගයේ සිට සැප්තැම්බර් මාසය දක්වා දිවයිනට බලපානු ලබන්නේ නිරිතදිග මෝසම් කාලගුණයයි. ඉන්දියන් සාගරය හරහා හමා එන උණුසුම් මෙන්ම අධික තෙතමනය සහිත සුළං ධාරා ශ්‍රී ලංකාවේ නිරිතදිග වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළු වී මධ්‍යම කඳුකරයේ බටහිර සහ නිරිතදිග බෑවුම්වල ගැටේ. මෙලෙස කඳුකරයේ ස්වාභාවික බාධකයන්හි ගැටෙන තෙතමනය සහිත වායු ධාරා ඉහළ නැගීමේදී සිසිල් වී ඝනීභවනය වීමෙන් කඳුකර භූවිෂමතා (Orographic) වර්ෂාව උත්පාදනය වේ.

මෙවර නිරිතදිග මෝසම් පැමිණීමේ විශේෂත්වය වූයේ ඉතා කෙටි කාල පරාසයක් තුළ අසාමාන්‍ය ලෙස ඉහළ වර්ෂාපතන අගයන් වාර්තා වීමයි. සාමාන්‍යයෙන් මෝසම් ඍතුව පුරා පැතිර යන වැසි රටාව වෙනුවට, දින කිහිපයක් ඇතුළත මිලිමීටර සිය ගණනක වැසි ඇදහැළීම නිසා කඳුකරයේ ජලපෝෂක ප්‍රදේශවල ධාරිතාව ඉක්මවා ගොස් පහළ ප්‍රදේශවලට හදිසි ජල කඳක් ගලා ඒම සිදුවිය.

එල් නිනෝ යනු සමක පැසිෆික් සාගරයේ මධ්‍යම සහ නැගෙනහිර කලාපීය මුහුදු ජලය මතුපිට උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 0.5 කට වඩා ඉහළ යාම පදනම් කරගෙන ගොඩනැගෙන සංකීර්ණ ගෝලීය කාලගුණ විපර්යාසයකි. සාගර පෘෂ්ඨය මෙලෙස අසාමාන්‍ය ලෙස රත්වීම නිසා වායුගෝලීය පීඩන රටාවන් වෙනස් වෙයි. එමෙන්ම ගෝලීය වශයෙන් හමා යන වායු ධාරාවල ගමන් මඟ සහ තීව්‍රතාවය ද සහමුලින්ම වෙනස් වේ. එහි ප්‍රතිඵලයක් ලෙස ලෝකයේ එක් පසෙකට දරුණු නියඟයන් සහ ලැව්ගිනි ඇතිවන අතර, තවත් පසෙකට අසාමාන්‍ය ලෙස චණ්ඩ කුණාටු සහ ගංවතුර තත්ත්වයන් ළඟා වේ.

එල් නනිනෝ නිසා ඉක්වදෝරයට ඇති වූ ගංවතුර තත්වය

ගෝලීය වායුගෝලීය සංසරණ පද්ධතියට සිදුවන මෙම වෙනස්කම් ලෝකයේ සෑම මහද්වීපයකටම පාහේ බලපෑම් එල්ල කරන අතර, දකුණු ආසියාතික කලාපයට මෙන්ම ශ්‍රී ලංකාවටද මෙහි බලපෑම නොඅඩුව ලැබෙන බව කාලගුණ විද්‍යාඥයෝ පෙන්වා දෙති. එල් නිනෝ තත්ත්වයක් පවතින විට ඉන්දියන් සාගරය සහ දකුණු ආසියානු ගොඩබිම් කලාපය අතර පවතින උෂ්ණත්ව හා පීඩන වෙනස්කම්වල සමතුලිතතාවය බිඳවැටෙන අතර, එය දකුණු ආසියානු මෝසම් පද්ධතියට ඍජුවම බලපෑම් එල්ල කිරීමට සමත් වේ.

සාම්ප්‍රදායික කාලගුණ විද්‍යාත්මක මතයන්ට අනුව, එල් නිනෝ තත්ත්වයක් පවතින වසරවලදී දකුණු ආසියාතික කලාපයට ලැබෙන නිරිතදිග මෝසම් වර්ෂාපතනය සාමාන්‍ය මට්ටමට වඩා අඩුවීමේ ප්‍රවණතාවක් පවතී. පැසිෆික් සාගරයේ ඇතිවන උණුසුම් වීම නිසා නිරිතදිග මෝසම් සුළං ධාරාවල බලය යටපත් වීම හෝ දුර්වල වීම මීට ප්‍රධාන හේතුව ලෙස දක්වනු ලැබේ. කෙසේ වෙතත්, වත්මන් ගෝලීය උණුසුම් වීම සහ දේශගුණික විපර්යාස හමුවේ එල් නිනෝ සහ නිරිතදිග මෝසම අතර පවතින මෙම සරල සම්බන්ධතාව වඩාත් සංකීර්ණ ස්වරූපයක් ගෙන ඇත.

එල් නිනෝ තත්ත්වය මඟින් ගෝලීය වශයෙන් වායුගෝලයේ උෂ්ණත්වය ඉහළ නංවන විට, භෞතික විද්‍යාත්මක නියමයන්ට අනුව උණුසුම් වායුගෝලයට වැඩි තෙතමනයක් රඳවා ගැනීමේ හැකියාව හිමිවේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස, නිරිතදිග මෝසම් ඍතුව තුළ වැසි ලැබෙන සමස්ත දින ගණන අඩුවීමට ඉඩ තිබුණද, වැසි ඇදහැලෙන නිශ්චිත අවස්ථාවලදී වායුගෝලයේ රැඳී ඇති අධික තෙතමනය එකවර මුදාහැරීම සිදුවේ. එමඟින් කෙටි කාලයක් තුළ අතිශය දැඩි වර්ෂාපතනයක් ඇදහැලෙන ආන්තික කාලගුණික තත්ත්වයන් (Extreme weather events) නිර්මාණය වේ. එම නිසා, මෙවර මධ්‍යම කඳුකරයට ඇදහැළුණු මහා වැස්ස යනු නිරිතදිග මෝසම් සුළං ධාරාවන් එල් නිනෝ මඟින් උණුසුම් වූ වායුගෝලයේ තෙතමනය සමඟ එකතු වී ඇති කළ සංකීර්ණ ප්‍රමුඛතාවයක ප්‍රතිඵලයක් ලෙස විශ්ලේෂණය කළ හැකිය.

මෑත කාලීනව ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය මෙන්ම සාමාන්‍ය ජනතාව අතරද “සුපර් එල් නිනෝ” නැමැති යෙදුම ප්‍රචලිත වී ඇති අතර, එමඟින් අතිශය විනාශකාරී සහ භයානක කාලගුණික තත්ත්වයක් අඟවන බවට මතයක් සමාජගත වී තිබේ. කෙසේ වෙතත්, කාලගුණ විද්‍යාත්මක පදනම විමසා බැලීමේදී පැහැදිලි වන්නේ “සුපර් එල් නිනෝ” යනු නිල හෝ සම්මත විද්‍යාත්මක වර්ගීකරණයක් නොවන බවයි. ජාත්‍යන්තර කාලගුණ විද්‍යාඥයින් විසින් එල් නිනෝ තත්ත්වයන් එහි තීව්‍රතාව මත නිල වශයෙන් වර්ගීකරණය කරනු ලබන්නේ දුබල, මධ්‍යස්ථ, ශක්තිමත් සහ අතිශය ශක්තිමත් යන පාරිභාෂිත යෙදුම් ඇසුරිනි. මෙහිදී පැසිෆික් සාගරයේ මුහුදු මතුපිට උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 2.0 කට වඩා ඉහළ යන “අතිශය ශක්තිමත්” එල් නිනෝ අවස්ථාවන්, ජනමාධ්‍ය විසින් වඩාත් සංවේදී ලෙස වාර්තා කිරීම සඳහා මෙලෙස “සුපර් එල් නිනෝ” ලෙස හඳුන්වනු ලැබේ. ස්වාභාවික ආපදාවක් හෝ තර්ජනයක් හැඳින්වීම සඳහා “සුපර්” වැනි වචනයක් භාවිත කිරීම අර්ථකථනමය වශයෙන් නොගැලපෙන අතර, එය විද්‍යාත්මක යෙදුමකට වඩා මාධ්‍ය මඟින් ප්‍රචලිත කරන ලද වචනයක් පමණක් වන අතර මෙවැනි නිල නොවන යෙදුම් භාවිතය නිසා ජනතාව අතර අනවශ්‍ය භීතියක් සහ කාලගුණික පද්ධති පිළිබඳ වැරදි අවබෝධයක් ඇති විය හැක.

එල් නිනෝ තත්ත්වය මඟින් ලෝකයේ විවිධ කලාප වෙත එල්ල කෙරෙන බලපෑම පොදු එකක් වන අතර, එය ශ්‍රී ලංකාවට පමණක් සීමා වූවක් නොවේ. කාලගුණ විද්‍යාත්මක වාර්තා අධ්‍යයනය කිරීමේදී එල් නිනෝ බලපෑම නිසා ලෝකයේ විවිධ රටවල සිදුවූ නිශ්චිත විපත් රැසක් හඳුනාගත හැකිය.

1982-1983, 1997-1998 සහ 2015-2016 යන වසරවල පැවැති බලවත් එල් නිනෝ තත්ත්වයන් හමුවේ පීරු සහ ඉක්වදෝරය වැනි රටවලට අසාමාන්‍ය ලෙස චණ්ඩ කුණාටු සහ මහ වැසි ඇදහැළීම නිසා මහා ගංවතුර සහ නායයෑම් හටගත් අතර, ගොඩබිම් යටිතල පහසුකම් මෙන්ම නිවාස හා දේපළ විශාල සංඛ්‍යාවක් විනාශයට පත්විය. මීට අමතරව, මුහුදු ජලය උණුසුම් වීම හේතුවෙන් සාගර පතුලෙන් පෝෂක කොටස් ඉහළට ගෙන එන සිසිල් දියවැල් අඩපණ විය. මේ නිසා පීරු වෙරළාශ්‍රිත මත්ස්‍ය ගහනය සහ ප්ලවාංග සහමුලින්ම වාගේ බිඳවැටුණි.  එමඟින් ලොව විශාලතම ධීවර කර්මාන්තයකට සහ ගෝලීය මත්ස්‍ය නිෂ්පාදන සැපයුම් ජාලයට දැඩි හානියක් සිදු විය. අනෙක් අතට, දකුණු ඇමෙරිකාවේ බ්‍රසීලයට අයත් ඇමසන් වනාන්තර කලාපයට එල් නිනෝ හේතුවෙන් දැඩි නියඟයක් ළඟා වූ අතර, 2015-2016 සහ 2023-2024 කාලසීමාවලදී හටගත් වාර්තාගත ලැව්ගිනි මඟින් හෙක්ටයාර මිලියන ගණනක වටිනා වනාන්තර පද්ධතීන් දැවී අළු වී ගියේය.

එල් නිනෝ නිසා ඇමසන් වනාන්තරය තුළ විශාල වශයෙන් ලැව් ගිනි ඇතිවිය

දකුණු ඇමෙරිකාවට අධික වැසි ගෙන එන අතරතුර, පැසිෆික් සාගරයේ බටහිර පස පිහිටි ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව, පිලිපීනය සහ අග්නිදිග ආසියාතික රටවලට එල් නිනෝ මඟින් උරුම කර දෙන්නේ දැඩි නියඟ තත්ත්වයකි. 1982-1983 සහ 1997-1998 එල් නිනෝ වසරවලදී ඉන්දුනීසියාවේ සහ ඕස්ට්‍රේලියාවේ ඇතිවූ අතිශය දැඩි වියළි කාලගුණය නිසා අතිවිශාල ලෙස ලැව්ගිනි සහ දූවිලි කුණාටු හටගත්තේය. විශේෂයෙන්ම ඉන්දුනීසියානු නිවර්තන වනාන්තර සහ පීට් වගුරු ගිනිගැනීමෙන් හටගත් විශාල දුම් වලාකුළු මුළු අග්නිදිග ආසියාතික කලාපය පුරාම පැතිර ගියේය. ඒ හේතුවෙන් මාස ගණනාවක් තිස්සේ දරුණු සෞඛ්‍ය හා පාරිසරික අර්බුදයක් නිර්මාණය කළේය. පානීය ජල හිඟය, ජලාශ සිඳීයාම සහ වගා හානි හේතුවෙන් මෙම කලාපවල කෘෂිකර්මාන්තයට මෙන්ම ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ජීවනෝපායන්ටද බලවත් පහරක් වැදිණි.

අප්‍රිකානු මහද්වීපය වෙත අවධානය යොමුකිරීමේදී, එහි විවිධ ප්‍රදේශවලට එල් නිනෝ මඟින් එකිනෙකට වෙනස් විනාශකාරී බලපෑම් එල්ල වන බව දක්නට ලැබේ. දකුණු අප්‍රිකානු කලාපයේ සින්බාබ්වේ, දකුණු අප්‍රිකාව, නැමීබියාව සහ ඇන්ගෝලාව වැනි රටවල ප්‍රධාන බෝග වගාවන් නියඟය නිසා සහමුලින්ම පාහේ විනාශ වී ජනතාව දැඩි ආහාර හිඟයකට සහ මන්දපෝෂණයට ගොදුරු විය. 2015-2016 එල් නිනෝ තත්ත්වයේදී ඉතියෝපියාව වසර 50 කට පසු උදාවූ දරුණුතම නියඟයට මුහුණ දුන් අතර ජනගහනයෙන් මිලියන 10 කට අධික පිරිසකට හදිසි විදේශීය ආහාර සහනාධාර මත යැපීමට සිදුවිය. එම කාලයේදීම ඊට වෙනස් ලෙස, කෙන්යාව, සෝමාලියාව සහ ටැන්සානියාව වැනි නැගෙනහිර අප්‍රිකානු රටවලට අසාමාන්‍ය ලෙස අධික වැසි ඇදහැළී දරුණු ගංවතුර තත්ත්වයන් සහ නායයෑම් හටගත් අතර, කොලරාව වැනි ජලයෙන් බෝවන රෝග සහ මැලේරියාව වැනි මදුරුවන්ගෙන් බෝවන රෝග සීඝ්‍රයෙන් පැතිර ගියේය.

ගොඩබිම් කලාපවලට අමතරව, ගෝලීය සාගර පරිසර පද්ධතියටද එල් නිනෝ මඟින් දැවැන්ත හානියක් සිදුවේ. සාගර පෘෂ්ඨයේ උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළ යාම නිසා ඇතිවන සාගර උෂ්ණත්ව තරංග (Marine heatwaves) හේතුවෙන් 1997-1998 සහ 2015-2016 කාලසීමාවලදී ලෝකයේ කොරල් පර විරංජනය (Coral Bleaching) වීමේ දැවැන්ත ගෝලීය තත්ත්වයන් වාර්තා විය. එමඟින් මුහුදු තෘණ සහ කොරල්පර මත යැපෙන සියදහස් ගණනක් මත්ස්‍ය විශේෂවල පැවැත්ම තර්ජනයට ලක්වී, වෙරළබඩ පරිසර පද්ධති මෙන්ම සංචාරක හා ධීවර ක්ෂේත්‍රයන්ද දැඩි පසුබෑමකට ලක්විය.

ඓතිහාසික දත්තයන් සලකා බැලීමේදී, 1877-1878 වසරවල හටගත් අතිශය බලවත් එල් නිනෝ තත්ත්වය හේතුවෙන් ඉන්දියාව, චීනය, බ්‍රසීලය සහ අප්‍රිකානු රටවල් රැසක මහා නියං සහ දුර්භික්ෂය තත්ත්වයක් හට ගත්තේය. ඒ නිසා මිලියන 50 කට අධික ජනතාවක් මියගිය අතර, එය ලෝක ඉතිහාසයේ වාර්තා වූ බරපතඑළම පාරිසරික හා මානුෂීය විපතක් ලෙස සැලකේ. මේ අනුව එල් නිනෝ යනු එකම අවස්ථාවකදී ලෝකයේ එකිනෙකට වෙනස් කලාප වෙත නියඟය, ලැව්ගිනි, ගංවතුර සහ වසංගත රෝග ළඟා කරදෙමින් මුළු මහත් ගෝලීය කාලගුණය සහ ආහාර සුරක්ෂිතතාව අඩපණ කිරීමට සමත් අතිශය විනාශකාරී ස්වාභාවික බලවේගයකි.

නාවලපිටියට මෙවර අධික ගංවතුර තත්ත්වයක් ඇති විය

වත්මන් කාලගුණික විපර්යාසයන් සහ මධ්‍යම කඳුකරයට ඇදහැළුණු මහා වර්ෂාව සම්පූර්ණයෙන්ම එල් නිනෝ නිසා සිදුවූවක්ද, නැතහොත් ඉන්දියන් සාගරයේ මුහුදු පෘෂ්ඨික උෂ්ණත්ව වෙනස්කම් නිරූපණය කරන ඉන්දියන් සාගර ද්විධ්‍රැවය (Indian Ocean Dipole – IOD) වැනි වෙනත් සාගරික සාධකවල බලපෑමෙන් සිදුවූවක්ද යන්න තහවුරු කරගැනීම අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා තනි තනි පුද්ගල මතයන් හෝ මාධ්‍ය අනුමාන මත පදනම් නොවී, ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) වැනි නිල ආයතන විසින් නිකුත් කරනු ලබන විද්‍යාත්මක දත්ත සහ වාර්තා කෙරෙහි අවධානය යොමුකළ යුතුය.

අනාගතයේදී උදාවන මෙවැනි ආන්තික කාලගුණික තත්ත්වයන් සහ හදිසි ආපදාවලට මුහුණදීම සඳහා පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති තවදුරටත් නවීකරණය කිරීමත්, මධ්‍යම කඳුකරයේ ජලපෝෂක ප්‍රදේශ සහ පරිසර පද්ධති සුරක්ෂිත කිරීමත් රාජ්‍ය මට්ටමින් මෙන්ම ජාතික මට්ටමින්ද ඉටුකළ යුතු ප්‍රධානතම වගකීමකි. ‘සුපර් එල් නිනෝ’ වැනි සංවේදී මාධ්‍ය ප්‍රබන්ධවලට නොරැවටී, සැබෑ කාලගුණ විද්‍යාත්මක පසුබිම වටහාගැනීම තුළින් වඩාත් සාර්ථක ආපදා පූර්ව සූදානමකට එළඹීමට ශ්‍රී ලාංකික සමාජයට හැකියාව ලැබෙනු ඇත.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර