පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද;දිවයින පුරා මධ්‍යස්ථාන 2,723කදී

\

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (09) දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,723 කදී පැවැත්වේ.විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කළේ මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් 294,089 දෙනෙකු ලියාපදිංචි වී ඇති බවයි. ඉන් 220,366 දෙනෙකු සිංහල මාධ්‍යයෙන් සහ 73,723 දෙනෙකු දෙමළ මාධ්‍යයෙන් විභාගයට පෙනී සිටීමට නියමිතය.විභාග කාලසටහනට අනුව අද පෙරවරු 9.30ට දෙවන ප්‍රශ්න පත්‍රය ආරම්භ වන අතර එය පෙරවරු 10.45ට අවසන් වීමට නියමිතය. කෙටි විවේකයකින් අනතුරුව පෙරවරු 11.15 සිට දහවල් 12.15 දක්වා පළමු ප්‍රශ්න පත්‍රය පැවැත්වේ.විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම පසුගිය අගෝස්තු 05 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ අතර, විභාගය අවසන් වනතුරු මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ශිෂ්‍යත්ව විභාගයට අදාළ ප්‍රචාරණ කටයුතු සිදුකිරීම සම්පූර්ණයෙන් තහනම් කර තිබේ.විභාග මධ්‍යස්ථාන තුළට දෙමාපියන්ට ඇතුළුවීමට අවසර නොමැති බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.මේ අතර දරුවන්ට මානසික ඒකාග්‍රතාව පවත්වා ගනිමින් විභාගයට සාර්ථකව මුහුණදීමට හැකිවන පරිදි, විභාගය ආරම්භ වීමට පැයකට පමණ පෙර විභාග මධ්‍යස්ථානය වෙත පැමිණෙන ලෙස උපදෙස් ලබාදී ඇත.ප්‍රශ්න පත්‍රයේ සඳහන් උපදෙස් හොඳින් කියවා, තම විභාග අංකය නිවැරදිව සඳහන් කරමින් පැහැදිලි අත්අකුරින් පිළිතුරු සැපයීමට කටයුතු කරන ලෙසත්, ජංගම දුරකථන, ස්මාර්ට් අත්ඔරලෝසු, සටහන් හෝ වෙනත් ඉලෙක්ට්‍රොනික උපකරණ කිසිවක් විභාග ශාලාව තුළට රැගෙන නොඑන ලෙසත් විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් දැනුම් දී තිබේ.

කාලීන පුවත්