පළමු වරට සෞදි කාන්තාවක් අභ්‍යවකාශයට

සෞදි අරාබිය කලකට පෙර සැලකුණේ කාන්තාවන්ගේ නිදහසට සහ අයිතිවාසිකම්වලට බොහෝ සීමාවන් පැන වූ රටක් ලෙසිනි. නමුත් දැන් මෙම තත්ත්වය කෙමෙන් වෙනස් වෙමින් තිබේ. එම තත්ත්වය තුළ පළමු වතාවට එරට කාන්තාවක් අභ්‍යවකාශයට යාමේ පුවතක් ගැන ද මේ වනවිට වාර්තා වෙයි. මෙයට වසර කිහිපයකට පෙර සෞදි කාන්තාවන්ට තනිවම මෝටර් රියක් පැදවීමට පවා නිදහසක් තිබුණේ නැත. එවැනි පසුබිමක් හමුවේ කාන්තාවක අභ්‍යවකාශයට යාම එරට කාන්තාවන් තුළ යම් ජයග්‍රාහී මානසිකත්වයක්, ආඩම්බරයක් ඇති කරන්නක් වනු ඇති බවට සැකයක් නොමැත.

මේ ආකාරයෙන් අභ්‍යවකාශ චාරිකාවක නිරත වී තිබුණේ රයානා බර්නාවි නැමැති තරුණ කාන්තාවකි. සෞදි අරාබියෙන් පමණක් නොව මුළු අරාබි කලාපයෙන්ම අභ්‍යවකාශයට ගිය පළමු කාන්තාව ඇය යි. බර්නාවි මෙම ඓතිහාසික චාරිකාවේ නිරතව තිබුණේ පසුගිය 21 වැනි ඉරිදා යි. එදින පෘථිවියෙන් පිටත් වූ ඇයගේ ගමනාන්තය වූයේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (International Space Station) ය. එය පෘථිවියේ සිට කි.මී. 400 ක් පමණ ඉහළින් පෘථිවිය වටා ගමන් කරමින් ඇති අභ්‍යවකාශ විද්‍යාගාරයකි. 1998 වසරේ දියත් කරන ලද ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඇමරිකාව, රුසියාව ඇතුළු රටවල් කිහිපයක් ඒකාබද්ධව ක්‍රියාත්මක කරමින් සිටින ව්‍යාපෘතියකි. එය බොහෝ දුරට භාවිත කරන්නේ අභ්‍යවකාශයට අදාළ පර්යේෂණ සිදු කිරීම සඳහා ය.

බර්නාවි මෙම අභ්‍යවකාශ ගමනෙහි නිරත වූයේ තනිවම නොවේ. තවත් අජටාකාශගාමීහු තිදෙනෙක් මෙම චාරිකාවට එක් වූහ. ඒ අතර තවත් සෞදි අරාබි අජටාකාශගාමියකු ද වේ. ඔහුගේ නම අලි අල්-කර්නි ය. ඊට අමතරව ඇමරිකානු අජටාකාශගාමිනියක වන පෙගී විට්සන් ද, ව්‍යාපාරිකයකු වන ජෝන් ෂොෆ්නර් ද මෙම චාරිකාවට එක් වූවෝය. පෙගී විට්සන් කලින් නාසා ආයතනයේ සේවය කළ කෙනෙකි. මෙවර විට්සන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගියේ සිව් වැනි වතාවට ය. මෙම චාරිකාවේ ප්‍රධානියා වූයේ ද ඇය යි. මෙම ගමනට එක් වූ අනෙක් සෞදි අරාබියානු අජටාකාශගාමියා වන අල්-කර්නි එරට ගුවන් හමුදාවේ යුද ගුවන් යානා නියමුවකු ලෙස කටයුතු කරන්නෙකි. මේ කණ්ඩායම දින 10 කට ආසන්න කාලයක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගත කරනු ඇත.

33 හැවිරිදි බර්නාවි වෘත්තියෙන් ජෛව වෛද්‍ය විද්‍යාඥවරියකි. ඇය වඩාත්ම පර්යේෂණ කරන්නේ පියයුරු පිළිකා සම්බන්ධයෙන් බව සඳහන් වේ. නවසීලන්ත විශ්ව විද්‍යාලයකින් ජෛව වෛද්‍ය විද්‍යාව පිලිබඳ උපාධියක් හිමි කරගත් ඇය පසුව සෞදි අරාබි විශ්ව විද්‍යාලයකින් විද්‍යාපති උපාධියක් ද ලබා ගෙන තිබේ. ඉහත අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගත කරන කාලය තුළ ද ඇය තම ක්‍ෂේත්‍රයට අදාළ පර්යේෂණවල නිරත වනු ඇත.

පළමු වරට අභ්‍යවකාශයේ සිට පෘථිවියේ දර්ශණය දැකගත් අවස්ථාවේ ඇය මහත් සතුටින් ඒ ගැන සඳහන් කර තිබුණාය. ‘මෙම යානයේ සිට පෘථිවිය දෙස බලා සිටීම අපූරු අත්දැකීමක්’ යයි ඇය පවසා තිබිණි. තමා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිදු කරන පර්යේෂණවලට අමතරව තම අභ්‍යවකාශ අත්දැකීම් එහි සිට දරුවන් සමග බෙදා ගැනීමට අදහස් කරන බව ද බර්නාවි පවසයි.

බර්නාවි ඇතුළු පිරිස නිරත වූ අභ්‍යවකාශ චාරිකාව නම් කර තිබුණේ ඇක්සියම්-2 (Axiom-2) යනුවෙනි. එය සංවිධානය කරන ලද්දේ ඇක්සියම් ස්පේස් (Axiom Space) නැමැති පෞද්ගලික අභ්‍යවකාශ සමාගමක් විසිනි. මෙම කණ්ඩායම ගමන් කළ යානය අභ්‍යවකාශය වෙත රැගෙන යනු ලැබුවේ ස්පේස්එක්ස් (SpaceX) සමාගමේ ෆැල්කන්-9 රොකට්ටුවක් මගිනි.

ඉහත කී සිව් දෙනා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යනවිට ඔවුන් පිලිගැනීම සඳහා තවත් අජටාකාශගාමීහු සත් දෙනෙක් එහි සිටියෝය. ඔවුන් ද විවිධ පර්යේෂණ කටයුතු සඳහා එහි ගොස් සිටින අය යි. මේ අය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අජටාකාශගාමියකු ද සිටින බව වාර්තා වේ. අනෙක් සය දෙනාගෙන් තිදෙනෙකු ඇමරිකානුවන් බවත්, තිදෙනකු රුසියානුවන් බවත් පැවසේ.

කෙසේ වෙතත්, සෞදි අරාබි ජාතිකයකු අභ්‍යවකාශයට ගිය පළමු අවස්ථාව මෙය නොවේ. මෙයට වසර 38 කට පෙර 1985 වසරේ එරට රජ පවුලේ කුමරුවකු වන සුල්තාන් බින් සල්මාන් බින් අබ්දුලාසිස් ‘ඩිස්කවරි’ යානයකින් අභ්‍යවකාශ චාරිකාවක නිරත වී තිබිණි. ඔහු සෞදි අරාබියේ රජකම දරණ සල්මාන් රජුගේ පුතෙකි.

සෞදි අරාබිය මේ වනවිට අභ්‍යවකාශ කටයුතු සම්බන්ධයෙන් බොහෝ සැලසුම් සකස් කරමින් සිටින රටකි. මේ වෙනුවෙන්ම ඔවුන් 2018 වසරේ සෞදි අභ්‍යවකාශ කොමිසම නම් ආයතනයක් ද පිහිටුවූයේය.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර