පාර්ලිමේන්තුව තුළ කතුනට සිදුවන ලිංගික අතවර ගැන අපක්ෂපාතී කඩිනම් විමර්ශන සිදුවෙනවා

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සේවිකාවන්ට මෙන්ම ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ට පවා ලිංගික හිංසන නිරන්තරයෙන් සිදුවන බවටත් ඒ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ පැවැත්වීමට සහ පියවර ගැනීම සිදු නොකරන බවටත් පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය නිවේදනය කර සිටියි.පාර්ලිමේන්තුව තුළ විනය කඩකිරීම්වලට අදාළ සිදුවීම් වාර්තා වීමේදී ඊට අදාළ විමර්ශන කටයුතු කථානායකවරයාගේ මඟපෙන්වීමෙන් ඉතා අපක්ෂපාතීව පැවැත්වෙන බවත් කඩිනම් විමර්ශන සදහා කථානායකවරයා සිය උපරිම දායකත්වය ලබා දීම මිස කිසිදු අයුරකින් බාධා කිරීමක් හෝ බලපෑමක් සිදු නොකළ බවත් රෝහණදීර මහත්මිය අවධාරණය කරයි.මීට පෙර එක් අවස්ථාවකදී සේවිකාවන් කිහිප දෙනෙකුට පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ දී ලිංගික හිරිහැර සිදුවූවා යැයි පැවසෙන සිද්ධියක් වාර්තා වුවද ඒ සම්බන්ධයෙන් පත්කළ අභ්‍යන්තර කමිටුව විසින් ඉතා අපක්ෂපාති විමර්ශනයක් සිදුකර එහි විමර්ශන වාර්තාව මේ වන විට තමන් වෙත භාරදී ඇති බව මහලේකම්වරිය පවසයි. එසේම ඊට සම්බන්ධ යැයි සැකකෙරෙන ප්‍රධාන නිලධාරියා මේවන විටත් වැඩ තහනමකට ලක්ව ඇති බවත් මේ අනුව ඊට අදාළ ඉදිරි පියවර කඩිනමින් ගැනීමට නියමිත බවත් ඇය පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කොට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බව ද මහලේකම්වරිය පවසයි.

කාලීන පුවත්