පාසල් ගිය දූ දරුවන් ගැන බොරු නරක ආරංචි දී දෙමාපියන් ගෙන් මුදල් කඩා ගන්නා සොරු

වත්මන් සමාජයේ දෙමාපියනට තම දරුවන් හදා වඩා ගැනීමේ දී ඔවුනට ආරක්ෂාව වෙනුවෙන් වෙනම සටනක් දියත් කිරීමට සිදුව තිබේ. ඒ අද වන විට ළමා අපචාර ,අපයෝජන සහ මත් ද්‍රව්‍ය ආදී වසංගතයනට දරුවන් ගොදුරු වීමේ පහසු අවදානමක් පවතින බැවිනි.එහෙත් අද අප මේ කීමට සූදානම් වනුයේ දරුවන් කෙරෙහි නිබඳවම සැලකිලිමත් වන දෙමාපියන්ට මුහුණ දීමට සිදු වන වෙනම අකරතැබ්බයක් සම්බන්ධයෙනි. කොළඹ රාජකීය විද්‍යාලයේ දරුවකු හදිසියේ රෝහල් ගත කර ඇති බව දන්වමින් දරුවාගේ මවට දුරකථන ඇමතුමක් ලබා දී එම දරුවාට කළ යුතු හදිසි ශල්‍යකර්මයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් වහාම බැංකු ගත කරන ලෙසට සාපරාධී බිය ගැන්වීමක් සිදුකළැයි කුරුඳුවත්ත පොලිසිය අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු පිළිබඳ තොරතුරක් පසුගිය දා වාර්තා විය.මෙම සැකකරු, අදාල දරුවාගේ පන්ති භාර ගුරුවරයා ලෙස පෙනී සිටිමින් මෙම ඇමතුම ලබා දී ඇති බව ද අනාවරණය විය.මෙලෙස අත් අඩංගුවට පත් ව ඇත්තේ මහියංගණයේ පදිංචි පුද්ගලයෙකි.කඳානේ පදිංචි ප්‍රවර්ධන කළමනාකරුවකු විසින් කුරුඳුවත්ත පොලීසියට ඉදිරිපත් කොට තිබූ පැමිණිල්ලකට අනුව එම අත් අඩංගුවට ගැනීම සිදු වී තිබේ. එම සිදුවීම මෙලෙසිනි.

මෙම ප්‍රවර්ධන කළමනාකරුගේ ගේ බිරිඳගේ ජංගම දුරකථනයට පසුගිය දිනයෙක ඇමතුමක් ලබා දුන් නාඳුනන පුද්ගලයකු ඔවුන්ගේ වැඩිමල් පුතු පන්තියේ ඉගෙනුම ලබමින් සිටින අතරේ හදිසි රෝගාබාධයකට ලක් ව රෝහල් ගතකළ බවත් ඔහුට හදිසි ශල්‍යකර්මයක් කිරීමට සිදු වී ඇති බැවින් රුපියල් එක්ලක්ෂ පනස් දාහක මුදලක් ඉක්මනින් බැංකු ගත කළ යුතු බවත් දැනුම් දී තිබේ.නමුත් එම දෙමාපියන් විචාරාත්මකව කටයුතු කිරීම නිසා එම වංචාකරු නීතිය හමුවට පත් කිරීමට හැකි වී තිබේ.එමෙන්ම පාසල් ගිය දරුවා හදිසියේම රෝගාතුර වී රෝහල් ගත කිරීමට සිදු වූ බව පවසමින් පාසලෙන් යැයි කියා මවුපියන්ට දුරකතනයෙන් කතා කර මුදල් වංචා කිරීමේ සිදුවීම් දාමයක් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විමර්ශනයක් ආරම්භ කර තිබේ.මීට පෙර ද කොළඹ නගරයේ ප්‍රධාන පාසලක දරුවකුගේ පියකුට එම පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා ලෙස කතා කර දරුවා හදිසියේ අසනිප වී නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් කළ බව පවසා හදිසි ශල්‍යකර්මයක් සඳහා මුදල් අවශ්‍ය බවත් දන්වා තිබිණි. අදාළ දරුවාගේ පියා නීතිඥවරයකු වූ අතර ඔහු මේ සම්බන්ධයෙන් පළමුව පාසලෙන් විමසා සිටි අවස්ථාවේ එැවන්නක් සිදුව නොමැති බව දැනගන්නට ලැබී තිබේ. ඒ අනුුව ඔහු පොලිසියට පැමිණිල්ලක් කිරීමට පියවර ගෙන ඇත.පසුගිය දිනයෙක සීදුව ප්‍රදේශයේ තවත් පුද්ගලයකුට දුරකතන ඇමතුමක් දෙමින් දරුවා පාසලේදී හදිසි හෘදයාබාධයක ලක්ව ඇති බවත් පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ බවත් පවසා හදිසි ප්‍රතිකාර වෙනුවෙන් රුපියල් ලක්ෂයක් තැන්පත් කරන ලෙස ගිණුම් අංකයක් ලබා දී වංචා කිරීමට උත්සාහ දරා ඇත.

මේ වන විට දිවයිනේ තවත් ප්‍රදේශ ගණනාවකින් මෙවැනි සිද්ධීන් වාර්තා වී තිබේ.කුරුණෑගල නගරයේ පමණක් ප්‍රධාන පාසල් කිහිපයකින්ම මෙවැනි සිදු වීම් වාර්තා වී ඇතැයි පොලිසිය පවසයි.ඒවා පිළිබඳ විස්තර මෙලෙසිනි.

පසුගිය දිනයෙක කුරුණෑගල නගරයේ ප්‍රධාන බාලිකා විදුහලක ඉගෙනුම ලබන සොයුරියන් දෙදෙනකුගෙන් එක් සොයුරියක පාසල් නොපැමිණි අතර අනෙක් සොයුරිය පමණක් පාසල් ගොස් තිබුණි. ඔවුන්ගේ පියා කුරුණෑගල බැංකු නිලධාරියෙකි.මේ අතර පාසල් නොගොස් නිවසේ රැඳී සිටි දියණිය ඔහුට ඇමතුමක් ගෙන කියා තිබුණේ පාසල් ගිය තම නැඟණිය හදිසියේම රෝගාතුරව සිටින බවට පාසලේ ගුරුවරයකු විසින් තමනට දුරකතනයෙන් දැනුම් දුන් බව ය.එවිට ක්‍රියාත්මක වූ පියා පණිවිඩය දැනුම් දුන් දුරකතනයට ඇමතුමක් ලබා ගෙන තිබේ. ඊට පිළිතුරු දුන් ගුරුවරයා යැයි හඳුන්වා දුන් පුද්ගලයා ඔහුගේ දියණිය ඒ වන විට කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇය මහනුවර මහ රෝහලට ගිලන් රථයකින් රැගෙන යමින් සිටින බව පවසා තිබේ.මහ රෝහලක් වන කුරුණෑගල විශේෂිත ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහල වෙත මාරු කර යවන අවස්ථා තිබේ. නමුදු ඔහු ඒ සම්බන්ධයෙන් පාසලෙන් කිසිදු විමසීමක් නොකළ ඔහු තම බිරිය ද සමඟ ඉක්මණින්ම මහනුවර බලා පිටත්ව ගොස් ඇත්තේ එම පුවතින් හද සසල වූ බැවිනි.නමුත් එම බැංකුවේම සේවය කළ ඔවුන්ගේ මිතුරු බැංකු නිලධාරියකු තුළ කරුණු කිහිපයක් මුල් කොට මෙම සිදුවීම සම්බන්ධයෙන් සැකයක් හට ගෙන තිබේ.ඔහු ඒ මොහොතේ,එම දැරියගේ නම කියා කුරුණෑගල ශික්ෂණ රෝහලට කතා කොට විමසා ඇත්තේ මෙවන් නමක් සහිත දැරියක එම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇත්ද? ඇය මේ වන විට කුමන තත්වයක පසුවේද යන්නයි.එවිට රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයෙන් ලබා දී ඇති පිළිතුර වූයේ එවන් දැරියක තබා එම දිනය තුළ කිසිදු පාසලකින් දරුවකු රෝහලට ඇතුළත් කර නොමැති බව බවකි. මෙම තොරතුරු දැනගත් මිතුරා වහා ක්‍රියාත්මක වී අදාළ පාසලෙන් ද ඒ සම්බන්ධව වැඩිදුර කරුණු විමසා තිබේ. එවිට පාසලෙන් ලැබී තිබූ පිළිතුර වූයේ එදින තුළ එම පාසලේ කිසිදු සිසුවියක හදිසියේ රෝහල් ගත නොකළ බව ය.එමෙන්ම එම සිසුවිය කිසිදු ගැටලුවකින් තොරව මේ වන විට පාසලේ පන්ති කාමරය තුළ ඉගෙනුම් කටයුතු කරමින් සිටින බව ද එම පාසලින් දැනුම් දී තිබේ.දරුවා සම්බන්ධයෙන් වූ මෙම තොරතුරුවල සත්‍යතාව තහවුරු කර ගත් එම හිතවතා මහනුවර බලා යමින් සිටි දරුවාගේ මව හා පියා එසැනින් ඒ පිළිබඳව දැනුවත් කර ඇත.එම මාපියන් ගේ සිරුරු වලට ලේ ටිකක් උනන්නට ඇත්තේ එවිට ය.නමුදු ඒ වන විට පියාට පෙර දුරකථන අංකයෙන් ලැබී ඇති දෙවන පණිවිඩය වූයේ මහනුවර මහ රෝහලට ඇතුළත් කර සිටින දරුවාට ඉතා අසාධ්‍ය බවත් ඇයට ඉක්මන් ප්‍රතිකාර ලබා දීමට අවශ්‍ය බැවින් ඒ සඳහා ඉතා ඉක්මනින් ඖෂධ මිල දී ගැනීම සඳහා මුදල් අවශ්‍ය බවත් ය. එම මුදල් බැංකු ගිණුමකට බැර කරන ලෙස දන්වා ගිණුම් අංකයක් ද දැනුම් දී ඇත. මෙය තමන් රවටා මුදල් ගරා ගැරීමේ සිද්ධියක් බව ඒ වන විට වටහාගෙන සිටි එම පියා මිතුරාගේ ක්‍රියාත්මක වීම හේතුවෙන් හසුවීමට ගිය වංචාවකින් ගැලවී ඒ පිළිබඳ කුරුණෑගල මූලස්ථාන පොලිසියේ සුළු පැමිණිලි අංශයට පැමිණිලි කර ඇත.එහෙත් එහි විශේෂත්වය එය නොවේ.

මෙම සිද්ධිය වූ දිනයේම කුරුණෑගල නගරයේ තවත් ප්‍රධාන පිරිමි පාසලක ඉගෙනුම ලබන සිසුවකුගේ පියාට ද මෙවැනිම දුරකථන ඇමතුමක් ලබා දී ඇති බව වාර්තා වීම ය. එම පණිවිඩය ලැබුණු පසු ඔහු තම පියා පාසලට යවා ඇත්තේ දරුවාගේ අසනීප තත්ත්වය සොයා බැලීමට ය. එහි දී දරුවා පාසලේ හොඳින් සිටින බව දැනගත් බැවින් එම සිද්ධිය වැළකී ගොස් තිබූ බව වාර්තා වේ.ඒ අනුව  එක්තරා සොර ජාලයක් පාසලේ ගුරුවරුන් ලෙස රඟපාමින් මෙම දුරකථන ඇමතුම් ලබා දෙන බව ද අනාවරණය වී ඇත.එමෙන්ම ඇතමකු රෝහලේ වෛද්‍යවරයකු බව පවසමින් ද මුදල් ඉල්ලමින් මොවුන් මව්පියන්ට දුරකතන ඇමැතුම් දෙන බවත් මේ වන විට අනාවරණය වී තිබේ.ඒ කෙසේ හෝ මෙම වංචාවන් බුද්ධිමත්ව සැලසුම් කරන ලද ඒවා නොවේ.ඊට හේතුව මෙම සොරුන් ඒ සිසුන් ගේ මාපියනට ලබා දී ඇති දුරකථන හා බැංකු ගිනුම් විස්තර මඟින් ඔවුන් නීතිය හමුවට කොටු කර ගැනීමට පොලීසියට පහසු හැකියාවක් තිබීම ය.එමෙන්ම ඔවුනට ඒ දෙමාපියන්ගේ දුරකථන අංක ලැබුණු ආකාරය දැන ගැනීමට පවා පොලීසියට පහසු අවකාශයක් තිබේ.කෙසේ හෝ මෙම ව්‍යාජ දුරකතන ඇමැතුම්වලට නොරැවටී තමන්ගේ දරුවන් ගැන පාසලෙන් විමසිම් කර සත්‍ය තහවුරු කර ගැනීම අතිශයින් වැදගත් ය.මේ වන විට බොහෝ මාපියන් සතුව එම පාසල් ගුරුවරුන් ගේ පෞද්ගලික දුරකථන අංක පවා තිබීම මත මෙවැනි රැවටීම් වලට හසු නොවීම ඉතා පහසුවෙන් කළ හැක.

හේමන්ත රන්බණ්ඩාර

 

එතෙර - මෙතෙර