පොදුජන පෙරමුණේ ‘ජනසටන’ අද අනුරාධපුරයේදී

වත්මන් ආණ්ඩුවට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) විසින් සංවිධානය කරනු ලබන ‘ජනසටන’ මහජන විරෝධතා රැලිය අද (12) පස්වරු 2.00 ට අනුරාධපුර දී පැවැත්වීමට නියමිතය.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් මෙම රැලිය පැවැත්වෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා ඊයේ (11) ප්‍රකාශ කර තිබේ.ගොවි ජනතාව ඇතුළු මහජනතාවට ලබාදුන් පොරොන්දු වත්මන් ආණ්ඩුව විසින් ඉටු නොකිරීමට විරෝධය පළ කිරීමත්, එම පොරොන්දු ඉටු කිරීමට ආණ්ඩුවට බලපෑම් කිරීමත් මෙම රැලියේ ප්‍රධාන අරමුණු බව එම පක්ෂය සඳහන් කර ඇත.රැලිය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති පසුබිමකය.නාමල් රාජපක්ෂ මහතා සැප්තැම්බර් 4 වැනිදා අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඔහුට එරෙහි චෝදනා සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාවලිය ක්‍රියාත්මක වන අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එම අත්අඩංගුවට ගැනීම දේශපාලනික අරමුණකින් සිදුකරන ලද්දක් බවට චෝදනා කරයි.නාමල් රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාරගත වුවද සැප්තැම්බර් 12 වැනිදා අනුරාධපුරයේ පැවැත්වීමට නියමිත රැලිය කිසිදු වෙනසකින් තොරව පැවැත්වෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මීට පෙර අවධාරණය කර තිබිණි. පක්ෂය පවසා ඇත්තේ නායකයකු අත්අඩංගුවට ගැනීමෙන් දේශපාලන ව්‍යාපාරයක් නතර කළ නොහැකි බවයි.
මේ අතර, නාමල් රාජපක්ෂ මහතා පසුගිය 10 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණේ සැප්තැම්බර් 12 වැනිදා ආරම්භ කරන බව පැවසූ ආණ්ඩු විරෝධී දේශපාලන ව්‍යාපාරය කිසිවකුටත් නතර කළ නොහැකි බවයි. අනුරාධපුරයේ රැලිය සඳහා ඉල්ලා සිටි ක්‍රීඩාංගණයක් ලබා නොදුන් බවද ඔහු සඳහන් කර තිබිණි.නාමල් රාජපක්ෂ මහතාගේ අත්අඩංගුවට ගැනීමෙන් පසු අද පැවැත්වෙන රැලිය කෙරෙහි දේශපාලන අවධානය තවදුරටත් ඉහළ ගොස් තිබේ.මීට පෙර පොදුජන පෙරමුණෙන් වෙන්ව කටයුතු කළ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ද නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් අද දින එකම වේදිකාවකට පැමිණීමට තීරණය කර ඇත.

කාලීන පුවත්