බළල් සුරතලුන්ට වැළඳෙන හිමි කරුවන් අපහසුවට පත් කරවන රෝගයක්

බළලුන්ට හිටි ගමන් දියරමය වශයෙන් මළ ස්වල්පයක් පහ වීම ඇතැම් අවස්ථාවල දැකිය හැකි තත්ත්වයකි . මේ හේතුව නිසාම බළලුන්ගේ හිමිකරුවන් බොහෝ අසීරුතාවයට පත් වන්නේ බළලුන් සාමාන්‍යයෙන් නිතර ගෙතුළ සිටින සතුන් කොට්ටාශයක් නිසාය.

මෙම තත්ත්වය ඇතිවීමට විවිධ හේතූන් බලපායි. අපි මේ එකින් එක විමසා බලමු.

සමහර බළලුන්ට මෙලෙස හිටිහැටියේ දියර ස්වභාවයෙන් ස්වල්ප වශයෙන් මළ පිට වීමට පණු රෝග බලපායි.
තවත් සමහර බළලුන්ට ජානමය හේතු නිසාත් දියරමය වශයෙන් මළ ස්වල්පය බැගින් පිට වීම දක්නට ලැබේ.
බැක්ටීරියාවන්ට අධිසංවේදීතාවය දක්වන බළලුන් තුළ ද මේ තත්ත්වය දැකිය හැකිය.

ඇතැම් ආහාරවලට දක්වන අසාත්මිකතාවය තවත් හේතුවකි. නිදසුනක් ලෙස පිෂ්ඨය සහිත ආහාර සමහර බළලුන්ට අසාත්මික ය. ඒවා ජීර්ණ නොවී පැවැතීම නිසා මඳ වශයෙන් නිතර නිතර මළ පිටවීම සිදු විය හැකිය.
මේ කුමන හේතුවක් නිසා හටගත්ත ද මේ රෝගය නිසා සිදු වන්නේ මහා අන්ත්‍ර ප්‍රදාහයට ලක් වීමයි. එසේම මේ රෝගය නිසා බළලුන්ගේ ශරීරයේ බර අඩු වේ. මේ නිසා ඔවුන් කෙසඟ විය හැකිය. කලක් ගතවන විට සුදුමැලි තත්ත්වයට පත්වීම, බඩ පුරවා දැමීම, නිතර අලස ගතියෙන් සිටීම වැනි ලක්ෂණ බළලා තුළින් පළවෙයි. මේ රෝගයේ තිබෙන විශේෂත්වය නම් නිට්ටාවට සුව වීමට තිබෙන ඉඩකඩ අඩුවීම සහ ඒ හේතුවෙන් රෝගය වරින්වර හට ගැනීම ය. රෝගය හට ගත් පසු එය දින කීපයක් පවතින අතර ඉන්පසු ඉබේම සුව වේ. නමුත් නැවත ටික කලකින් හට ගනු ඇත.

නිතර නිතර බඩ බුරුල් වී යන තත්ත්වයට පත්වුවහොත් සිරුරේ අප්‍රාණික බවක් ඇතිවී බළලා විසිවී වැටෙන්නට පුළුවන.තවදුරටත් අසාධ්‍ය තත්ත්වයට පත් වුවහොත් බළලාගේ ගුද මාර්ගය අසල රත් පැහැ ගැන්වී ඉදිමිය හැකිය. මෙවැනි තත්වයකදී විජලනය ඇති වුවහොත් සතා මියයාමට ද ඉඩ තිබේ.
බළලාට මෙන්ම බළලා ඇති දැඩි කරන නිවැසියන්ට ද බෙහෙවින් කරදරකාරී සහ පීඩාකාරී වූ මේ රෝග තත්ත්වයෙන් අත්මිදිය හැකි ක්‍රමයක් තිබේද?

ආහාර අසාත්මිකතාවයක් නිසා මේ රෝග තත්ත්වය හටගෙන තිබේ නම් හොඳම ප්‍රතිකාරය වන්නේ බළලාට අනෙක් ආහාර නතර කර දවසට අමු සාලයන් වැනි කුඩා මාළු කිහිප දෙනෙක් බැගින් කන්නට දීමය. එමඟින් රෝගය සුව වේ නම් බළලාට නිතර ස්වල්ප වශයෙන් මළ පිටවීමට හේතුව ආහාර අසාත්මිකතාවයක් බව වටහා ගත හැකිය. ඒ අනුව බළලාගේ ආහාර පිළිබඳව සැලකිල්ලක් දැක්වීමෙන් මෙම රෝග තත්ත්වය නැවත නැවත ඇතිවීම වළක්වා ගත හැකි වෙයි.

පණු බෙහෙත් දීමෙන් පසුව රෝගය මග හැරේ නම් එය පණුවන් නිසා හටගත් තත්වයක් වීමට පුළුවන. ඒ අනුව බළලාට නියමිත කාලවල දී පශු වෛද්‍ය උපදෙස් මත පණු බෙහෙත් ලබා දීමෙන් එම රෝග තත්ත්වය හට ගැනීම පාලනය කළ හැකි වෙයි.

කෙසේ වුවද මෙම රෝගයෙන් පෙළෙන බළලුන්ට හැකිතාක් පිෂ්ඨය සහිත ආහාර අඩු කර ඛනිජ වැඩි ආහාර ලබා දීම සුදුසු වේ. එමඟින් රෝග තත්ත්වය පාලනය කරගත හැකිය.

රෝගය වැඩි වී බළලාට වමනය සහ ඉහත දැක්වූ ආකාරයේ අනෙකුත් රෝග ලක්ෂණ ඇති වුවහොත් බළලාව පශු වෛද්‍යවරයකුට පෙන්වා ප්‍රතිජීවක ඖෂධ ලබා දිය යුතුය.

ෆෙලින් පෑන්ලියුකොපීනියා ( Feline panleucopenia ) යනු බළලුන්ට වැළඳෙන තවත් මෙවැනි රෝගයකි. වයස අවුරුද්දට වඩා අඩු බළලුන්ට වැළඳීමේ වැඩි සම්භාවිතාවක් ඇති මෙම රෝගයේ ස්වභාවය පෙර කී රෝගය මෙන් මඳ වශයෙන් ටික ටික මළ පිටවීම නොව වැඩි වැඩියෙන් පිටවීමයි. ෆෙලින් පාවෝ (feline parvo ) නම් වෛරසය මගින් හටගන්නා මෙම රෝගයට ප්‍රතිකාර නොකළොත් බළලුන් මිය යාමට ඇති හැකියාව වැඩි ය.
මෙම රෝගයේදී මුලින්ම පළ වන්නේ සාමාන්‍ය වෛරස් රෝගයක ඇති ලක්ෂණයි. එනම් ආහාර අරුචිය, උදාසීන බව, මළානික ස්වභාවය, උණ ගතිය, ආතතිකාරී ස්වභාවය වැනි දෑ ය. මීට අමතරව බළලාට නිතර මල පහ වීම අනෙක් ප්‍රධානම ලක්ෂණය යි. මුලදී රෝග ලක්ෂණ පළ වන විට ප්‍රතිකාර නොකළොත් මළ පිටවීමට අමතරව වමනය යාම සහ උදාසීන බවත්, කෑම ප්‍රතික්ෂේප කිරීමත්, ඉන්පසු මළ සමග රුධිරය පිටවීමත් , විජලනයත් සිදුවී බළලා මිය යාමට හැකියාව තිබේ.

මෙය වෛරසයක් නිසා බළලුන්ගෙන් තවත් බළලුන්ට පැතිරයාම සිදුවේ. නමුත් මෙය බළලුන්ගෙන් මිනිසුන්ට හෝ බල්ලන්ට බෝවන්නේ නැත. වයිරසය සිරුරට ඇතුළු වී දින 2 – 7 ත් අතර කාලය තුළ රෝග ලක්ෂණ පළ විය හැකිය. වෛරසය ඇතුළු වන්නේ සතාගේ මුඛය හරහා ය. වෛරසය ආක්‍රමණය කරන්නේ බඩවැල්වල බිත්ති සෛලයි. එවිට එහි ආවරණය ආසාදනය වීමෙන් බඩවැල් වල බිත්ති සෛල ගැලවෙන්නට පටන් ගනී. රෝගය වැළඳී දින කීපයක් තුළදී බඩඑළිය සමග රුධිරය පිට වන්නේ මේ නිසා ය. දරුණු වෛරසයක් නිසා මුල් කාලයේදීම සතාට ප්‍රතිකාර ලබාදිය යුතුය. ගර්භනී සතෙකුට වැළඳුණහොත් පැටවුන් මව්කුසේදී ම මිය යා හැකිය.
මූලික රෝග ලක්ෂණ හට ගන්නා විටම බළලාට පශු වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම වැදගත් වේ. සේලයින් සමග අනෙකුත් තරල ප්‍රතිකාර ලබාදීම මගින් රෝගය සුව කළ හැකිය.
Tri cat ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීම තුළින් මෙම රෝගය වළක්වා ගැනීමට පුළුවන.

උපදෙස් පශුවෛද්‍ය නදීකා දිල්රුක්ශි

ඉන්දු පෙරේරා

සතුන්ටත් හිමි අපේ ලෝකය