බාල ගල්අඟුරු ගෙන්වීමෙන් සිදු වූ අතිවිශාල පාඩුව පියවා ගැනීම සඳහා රජය විසින් විදුලි ගාස්තුව 18%කින් ඉහළ දමා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (10) විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.මහජන උපයෝගිතා කොමිසම විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් ජනතා අදහස් විමසන අවස්ථාවේදී, සමගි ජන බලවේගය ඊට දැඩි ලෙස විරුද්ධ වූ බවත්, බාල ගල්අඟුරු ජාවාරමේ බර පාරිභෝගිකයා මත පටවන්න එපා යැයි කළ යෝජනා රජය නොසලකා හැර ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.මෙම ගාස්තු සංශෝධනය ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ ඒකක 180ට වඩා භාවිත කරන ඉහළ මධ්‍යම පන්තියට, ව්‍යාපාරිකයන්ට සහ කර්මාන්තකරුවන්ට බව විපක්ෂ නායකවරයා සඳහන් කළේය. මෙය රජය විසින් ව්‍යවසායකයන්ගෙන් ලබාගන්නා “කප්පමක්” බඳු යැයිද ඔහු චෝදනා කළේය.
“බාල ගල්අඟුරු වංචාවේ වන්දිය අද ගෙවන්න සිදුව ඇත්තේ මේ රටේ පොදු ජනතාවට සහ ව්‍යාපාරික ප්‍රජාවටයි. මුලින් ගල්අඟුරු බාල නැති බව කී රජය, පසුව ඒවා බාල බව පිළිගත්තා. නමුත් වංචාවක් වුණේ නැහැ කිව්වා. මේ බාල ගල්අඟුරු නිසා විදුලි උත්පාදනය අඩු වෙලා ඉන්ධන බලාගාර වෙත යොමු වීමට සිදු වීම නිසා පිරිවැය විශාල ලෙස ඉහළ ගියා.” යැයි ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.
වර්තමාන රජය තුනෙන් දෙකක බලයක් ලබාගත්තේ මෙවැනි ආකාරයෙන් ජනතාව පීඩාවට පත් කිරීමට නොවන බව අවධාරණය කළ විපක්ෂ නායකවරයා, පාලකයන්ගේ දූෂිත ගනුදෙනු වෙනුවෙන් ජනතාවගෙන් වන්දි අය කිරීම වහාම නැවැත්විය යුතු බවද කියා සිටියේය.