මගේ දිග කොණ්ඩය කොට කරගන්න කිසිම අදහසක් නෑ

මේ දිනවල වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාරය දිනාගත් ටෙලි නාට්‍යය නාඩගම්කාරයෝයි. ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු වන ජයප්‍රකාශ් ශිවගුරුනාදන් ගේ නිර්මාණයක් වන මෙහි පාඨලී (සොනාලි ෆොන්සේකා)ගේ මිතුරිය වන ගීතිකාගේ චරිතයට පණ පොවන්නේ නවක නිළියක්. ඇය ප්‍රවීණා දිසානායක.දැන් ඉතින් බලමු ප්‍රවීණා මොකද කියන්නේ කියලා

 

* ප්‍රවීණා කියනවට වඩා අපට හුරු ඔයාව ගීතිකා විදිහට?
අනේ කමක් නෑ. සමහරු මට එහෙමත් කතා කරනවා තමයි.

* කොහොමද ගීතිකාට තියෙන ප්‍රතිචාර?
ගොඩක් හොඳයි. ඇත්තටම මේක මගේ පළවෙනි ටෙලි නාට්‍යය. මං කවදාවත් හිතුවේ නැහැ මේ චරිතය තුළින් මේ තරම් ප්‍රේක්ෂකයෝ ප්‍රමාණයක් හමුවට මට යන්න ලැබෙයි කියලා.

* ඒ කියන්නේ මීට කලින් ඔයා රඟපාලා නෑ?
ඔව්. මේක තමයි මට රඟපාන්න ලැබුණු පළවෙනි අවස්ථාව.

* ප්‍රවීණා කොළඹින් ගොඩක් දුර බැහැර නේද?
මගේ ගම අනුරාධපුරේ, එප්පාවල.

* තවමත් එහෙද පදිංචිය?
ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු නිසා මං මේ දවස්වල ඉන්නේ මහරගම. ඒ වුණත් අපි තාමත් ස්ථිර පදිංචිය එප්පාවල ම තමයි.

* ප්‍රවීණා පාසැල් ගියේත් අනුරාධපුරයේමද ?
මං මුලින්ම ගියේ එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලයට. ඊට පස්සේ පහේ ශිෂ්‍යත්වය සමත් වෙලා අනුරාධපුරේ සෙන්ට්‍රල් එකට ආවා . මං උසස් පෙළ සමත් වුණේත් ඒ පාසලෙන් ම තමයි .

* ප්‍රවීණාගේ අධ්‍යාපන කටයුතු දැන් අවසන් ද ?
නෑ. මං පෞද්ගලික විශ්ව විද්‍යාලයක මනෝ විද්‍යාව උපාධිය හදාරනවා.

* පවුලෙ වෙන කවුද ඉන්නේ?
අම්මයි අප්පච්චියි මමයි

* ඒ කියන්නේ ප්‍රවීණා පවුලේ එකම දරුවා?
ඔව්

* ඉතින් දෙමව්පියෝ කැමැති වුණාද ඔයා කොළඹට ඇවිත් නිළියක් වෙනව දකින්න ?
මම ඉගෙන ගත්තේ විද්‍යා විෂයයන් වුණාට පාසලේදි සෞන්දර්ය පැත්තට ගොඩක් නැඹුරු වෙලා හිටියා. මං හරිම ආසාවෙන් ඉගෙන ගත්තු විෂයක් තමයි නැටුම්. ඒ නිසා මම නිළියක් වෙනවට මගේ දෙමව්පියන් විරුද්ධ වුණේ නෑ. ඒ ගොල්ලන් මගේ කැමැත්තට ඉඩ දුන්නා.

* ඔයා කොහොමද නාඩගම්කාරයෝ එක්ක සම්බන්ධ වුණේ ?
නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ කවඩියා ගේ චරිතය නිරූපණය කරන සංගීත් ප්‍රභූ පොඩි කාලේ ඉඳලම මම දන්නවා. සංගීත් අයියගේ ගමත් අනුරාධපුරයේ. සංගීත් අය්යා තමයි මට කිව්වේ මේ විදිහෙ ටෙලිනාට්‍යයක් තියෙනවා. ඒකට අලුත් නිළියන්ව ගන්නවා, කැමතිනම් සම්බන්ධ වෙන්න කියලා. ඊට පස්සේ මම අම්මාගෙනුයි අප්පච්චිගෙනුයි අවසරය අරගෙන අම්මත් එක්කම කොළඹට ඇවිත් පරීක්ෂණයකට මුහුණ දුන්නා .ඒ පරීක්ෂණයෙන් මං සමත් වුණා. ඒ විදිහට තමයි සද්ධාමංගල සර්, ශිවා සර්, චාමර සර් මාව නාඩගම්කාරයෝ එකේ ගීතිකා⁣ට රඟපාන්න තෝරාගත්තේ.

* ගීතිකා ගැන ඔයා තෘප්තිමත්ද ?
ඇත්තටම අපි රඟපෑමට නවකයො. මම වගේ අලුත් අය තවත් ගොඩක් ඒ ටෙලි නාට්‍යයේ රඟපානවා. අපට ප්‍රවීණ අයගෙන් ලැබෙන සහයෝගය ගැන කියා නිම කරන්න බැරි තරම්. අපි නවකයෝ කියලා කිසිම වෙනසක් ඒ කවුරුවත් අපට කරන්නේ නෑ. ඇත්තටම මට හිතෙනවා මගේ පළමු පියවර ම ඉතාමත් සාර්ථකයි කියලා .

* ඔයාට තවත් ටෙලිනාට්‍ය සඳහා ආරාධනා ලැබුණද ?
“ඓණ්ඨ්Eර්‍නැසනල්” ටෙලිනාට්‍යයේ දෙවැනි කොටසේ රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒ අතරම තව ආරාධනා කීපයක් ලැබිලා තියෙනවා. ඒවා තාම රූපගත කිරීම් ආරම්භ වුණේ නෑ

* අම්මායි අප්පච්චියි මොනවද කරන්නේ?
මගේ අම්මා රජයේ රැකියාවක් කරනවා. අප්පච්චි නම් ව්‍යාපාරිකයෙක්. මේ දවස් වල කොරෝනා නිසා අම්මලට නිවාඩු ගන්න පුළුවන්. ඒ හින්දා අම්මා මාත් එක්කම ඇවිත් මහරගම අපි කුලියට ගත්තු නිවසේ පදිංචි වී සිටිනවා.

* සමහර නිළියන්ට රංගන ක්ෂේත්‍රයට එනකොට දිගු ලස්සන කොණ්ඩා තිබුණා. ඒත් පසු කාලයේදී ඒ කොණ්ඩා කෙටි වෙලා තියෙන හැටි දකින්නට ලැබුණා. ඔයාගේ දිග කොණ්ඩයටත් ඒ වගේ ඉරණමක් අත්වෙයිද ?
කොණ්ඩයට කරන එක එක විලාසිතා නිසා පසු කාලයකදී කෙස් පලුදුවීම, කෙස් අකලට ගැලවී යාම වගේ දේවල් සිද්ධ වෙලා ගොඩක් අය පසු කාලයේදී කොණ්ඩය කොටට කපන්න ඇති. ඔය අතරේ විලාසිතාවක් විදිහට දිග කොණ්ඩය කොටට කපා ගත්තු අයත් ඇති. ඒ කොහොම වුණත් මම නම් මගේ දිග කොණ්ඩයට හරිම ආදරෙයි. සමහර නිළියන් වගේ මම නම් කොණ්ඩය කොටට කපන්න කිසිම අදහසක් නෑ. ඒ නිසාම කොණ්ඩය මං හොඳින් සාත්තු කර බලාගන්නවා.මම මේ කතාව කිව්වේ කාවවත් ඉලක්ක කරගෙන නෙවෙයි.සමහරුන්ට ගැලපෙන්නේ කොට කොණ්ඩ තමයි.ඒත් මං කිව්වේ මගේ කොණ්ඩෙ ගැන.

* දැන් ප්‍රවීණාගේ වයස කීයද?
විසි තුනයි

* ගීතිකා කවඩියාට කැමති වෙයිද?
ඒක නං තවම දන්නෙ නෑ. සද්ධාමංගල සර් තමයි දන්නවා ඇත්තේ

* ප්‍රවීණා සංගීත්ට කැමති වෙයිද?
අයියෝ ! අපි සහෝදරයෝ වගේ හොඳ යාළුවො විතරයිනේ.

ඉන්දු පෙරේරා

රසගඟුල