මඩු මාතා සෙවනේ දී ඇසුණු කතා බහ අපේ රටේ අනාගතය ගැන පෙරනිමිත්තක් ද?

 

පසුගිය 15 වන දා මන්නාරම මරඳමඩු සිද්ධස්ථානයේ මාතා පිළිරුවට ඔටුණු පළඳවා 2024 වසරට වසර සියයක් සම්පූර්ණ විය.ජනාධිපති වික්‍රමසිංහ එදින මඩු මංගල්‍යයේ උදෑසන දේව මෙහෙයට එක්වීම ද විශේෂත්වයකි.ප්‍රධාන දේව මෙහෙයෙන් පසු මඩු මාතා පිළිරුව රැගත් පෙරහර බැතිමතුන්ට වන්දනා මාන සිදුකිරීම සඳහා දේවස්ථාන භූමියේ සංචාරය කෙරිණි . මන්නාරම බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවත්,සැප්තැම්බර් 15 වනදා සිට තලෛයිමන්නාරම සිට කොළඹ දක්වා නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය සේවාවක් ආරම්භ කරන බවත් ජනාධිපති වරයා පැවසීය.ඒ අතර මරඳමඩුමාතා පිළිරුවට ඔටුණු පළඳවා 2024 වසරට වසර සියයක් සම්පූර්ණ වෙනුවෙන් පවත්වන දේව මෙහෙයන් වසර පුරාම පැවැත්වීමට සිද්ධස්ථාන පාලක මණ්ඩලය තීරණය කර තිබේ.ඒ අනුව කිතුණුවන් ගේ මඩු වන්දනා සමය ඉදිරි වසර පුරාම විසරණය වනු ඇත.අප ගේ වැටහීම අනුව මේ වන විට බාහිර සමාජයෙන් තරමක් කොන් වී ඇති එම ප්‍රදේශය සම්බන්ධයෙන් එය එක්තරා අතකින් සාධනීය තත්වයකි.

මේ අතර ජාතික සමගිය හා සංහිඳියාව ඇති කිරීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශය ප්‍රශංසනීය බවත් ඊට වතිකානුවේ හා කතෝලික සභාවේ ආශිර්වාදය හිමිවන බවත් මඩු සිද්ධස්ථානයේ පැවැති වාර්ෂික මංගල්‍යයේ ප්‍රධානදේව මෙහෙයට එක් වූ ශ්‍රී ලංකාවේ වතිකානු අපෝස්තලික තානාපති අති උතුම් බ්‍රයන් උඩෙයිග්වේ හිමිපාණෝ පැවසූහ.රටේ සාමය හා සංහිඳියාව පවත්වා ගැනීමට ආගමික නායකයන්ට විශාල වගකීමක් ඇති බව පෙන්වා දුන් බ්‍රයන් උඩෙයිග්වේ හිමියෝ, රට බෙදා වෙන්කරන ආගමික ඒජන්තවරයෙකු වෙනවාද?, නැත්නම් රටම එකතු කරන ආගමික නායකයෙක් වෙනවාද? යන්න තීරණය වන්නේ තමන් කරන ක්‍රියාව අනුව බවද අවධාරණය කළහ.එම්මානුවල් ප්‍රනාන්දු මන්නාරම රදගුරුතුමන්, ශ්‍රී ලංකා ක්‍රිස්තියානි සංවර්ධන පදනමේ සභාපති ආචාර්ය චන්ද්‍ර ප්‍රනාන්දු දේවගැති තුමන් ඇතුළු පියතුමන්ලා ද, සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක ඇතුළු මැති ඇමැතිවරු ද මෙම අවස්ථාවට සහභාගී වූ බව මාධ්‍ය වාර්තා කොට තිබිණ.

නමුදු ඉහත සිදු වීම මුල් කොට කිතුණු සමාජයේ පුළුල් කතිකාවක් ඇරඹී ඇති බව පෙනී යයි.ශ්‍රී ලාංකේය ජන සමාජයෙන් වැඩිම කතෝලික ප්‍රජාවක් හිඳින මීගමුවෙන් දියත් කොට ඇති meepura.com ජනප්‍රිය වෙබ් අඩවිය ඒ සම්බන්ධයෙන් පළ කරනුයේ මෙවන් අදහසකි.
“……….මෙහි දී දකුණේ කිතුණුවන් මෙන්ම අතැම් කිතුණු ආගමික නායකයන් ද විසින් මන්නාරමේ රදගුරු වෙත දැඩි විරෝධයක් තැන තැන පළකරමින් ඇති බව ද පෙනී යයි. දේශපාලකයන් කවදත් බලන්නේ තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයන් වෙනුවෙන් තැන නොතැන ගැන බලා කටයුතු කිරීමට ය.එය දේශපාලනයේ හැටි ය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ වතිකානු අපෝස්තලික තානාපති අති උතුම් බ්‍රයන් උඩෙයිග්වේ හිමිපාණන් පැවසු ප්‍රකාශය ඉතාමත් වැදගත් ය.
පසුගිය කාලයේදි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කාර්දිනල් මැල්කම් සමඟින් සතුටු සාමිචියේ යෙදෙමින් එකට කෑමට ගැනීමට අගරදගුරු මැදුරට ආ ගිය බව රහසක් නොවේ කාර්දිනල් හිමියන් ද රාජපක්ෂ පවුල සමගින් සමීප සබදතාවයක් පවත්වාගෙන ගියා පමණක් නොව ඔවුන් ගැන යම් විශ්වාසයකින් යුතුව කටයුතු කළ බව ද දැන් ප්‍රසිද්ධ රහස් ය.
කාර්දිනල් හිමියන් එසේ පයුරු පාසනම් පවත්වා තිබුණේ දමිළ බස කථා කරන දහස් ගණන් ජනයා යුද සමයේ ජිවිත අහිමි කිරිමට මුල් වු රාජපක්ෂ පවුල සමගින් ය.

මේ අතර දකුණේ ඇතැම් සමාජ ක්‍රියාධරයන් මේ අවස්ථාවේ දී මතුකරන එක් ගැටළුවක් වන්නේ උතුරේ ආගමික නායකයන් කාර්දිනල් මැල්කම් හිමිට වඩා ජනපති රනිල් වික්‍රමසිංහ ගැන විශ්වාස කරන්නේ නම් ඒ ඇයිද? යන කරුණයි.
පසුගිය යුධ සමයේ උතුරේ සිදුකරන ලද අතුරුදහන් කිරිම් ගැන මන්නාරමේ හිටපු රදගුරුහිමියන් කරන ලද ප්‍රකාශයේ දී එතුමන් සමගින් එකට හිටගැනිමට දකුණේ පල්ලිය හෝ දකුණේ ප්‍රගතිශීලින් යැයි කියා ගන්නා අය නොසිටියේ ඇයිද? යන්නත් මෙහිදි සිහිපත් වේ .
එපමණක් නොව පුද බිම් කිළිටි කළ දේශපාලනය ගැන දොඩන දකු⁣⁣ණේ කිතුනු නොකිතුනු ජනයා යුද සමයේදි උතුරේත් නැගෙනහිරත් ජිවිත ආරක්ෂාව පතා පල්ලි වලට රැස්වු ජනයාට වෙඩි තබා බෝම්බ ගසා ගුවන් ප්‍රහාර එල්ල කරමින් මඩ පුද බිම ද ඇතුලු ඒ තැන අසරණ ජනයාගේ ලේ වලින් පිරි යද්දී දකු⁣ණේ කතෝලික නායකයෝ මීක් කීවේ නැත.
එපමණක් නොව කිතුණු පුවත්පත් කතුවැකි ලියැවුනේද නැත.(උපුටා දැක්වීම අවසන්) මේ අතර වතමන් සමාජයේ පුරෝගාමී කිතුණු ලේඛකයකු වන සිරිල් එඬේරමුල්ල සූරීන් තම මුහුණු පොතේ තබා ඇති ඒ සම්බන්ධ සටහන මෙලෙසිනි.
2023.08.15 දා මරදමඩු ජාතික කතෝලික සිද්ධස්ථානයේ මංගල දේව මෙහෙය පවත්වමින්, මෙ රට වතිකාන තානාපති බ්‍රයන් උඩග්වේ හිමි, දේශපාලන දෙසුමක් වැදෑරීය.


” ජනාධිපති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රටේ සංහිඳියාව ඇති කිරීම සඳහා වූ ක්‍රියාවලියට …වතිකානයේ ආශිර්වාදය හිමි වෙනවා…එමගින් මෙ රට උතුරු නැගෙනහිර ප්‍රශ්නය විසඳෙන බව අපට විශ්වාසයි”( දෙරණ ප්‍රවෘත්ති – 2023.08.15 – ප.ව 6.55) පසුදින පුවත්පත් ද ඒ කථාව එ සේ ම හෙළිකර තිබුණි.
ජනාධිපති ඒ සතියේ පාර්ලිමේන්තුව අමතා. සියළු පක්ෂ වලින් ඉල්ලා සිටියේ, 13 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමට එකඟ වන ලෙස ය.පාර්ලිමේන්තුවෙන් ඊට ආශිර්වාදය හිමි නොවුණි.මෙ රටේ කතෝලික ජනතාව ගේ දැන ගැනීම සඳහා වතිකාන තානාපති ගෙන් විමසන්නට අපට ප්‍රශ්න කීපයක් තිබේ.
ඔබ, අපේ රටේ කැකෑරෙන ඒ ප්‍රශ්නය ගැන ඒ ප්‍රකාශය කළේ, මෙ රට කතෝලික රදගුරු සම්මේලනයේ එකඟත්වය හා අනුමැතිය ඇතිව ද? නැතහොත් වතිකානයෙන් ආ බලපෑමක් මතද?විදේශ තානාපති වරයෙකුට, තමන් තනතුර දරන රටේ අභ්‍යන්තර ප්‍රශ්නයක් ගැන, එ බඳු ප්‍රකාශයක් කළ හැකිද?ඔබ මෙ රට පුරවැසියෙක් ද?”
ප්‍රේමදාස යුගයේ එ බඳු අනියම් හැසිරීමක යෙදුණු, එදා මෙ රට බ්‍රිතාන්‍ය තානාපති, ඩේවිඩ් ග්ලැඩ්සන් ආපසු යැවීමට, රජය පියවර ගත්තේය.
අපට ලැබෙන ආරංචි අනුව, මෙ රට කතෝලික රදගුරු මණ්ඩලය, 13 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගැන ගැඹුරු හා දීර්ඝ සාකච්ඡාවක මෙ තෙක් යෙදී නැත. ගිහි මත විමසුමක් ද කර නැත.

මෙරට කතෝලික සභා සාමාජිකයන් ද 13 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන සිටින්නේ පටලැවිල්ලක ය.
ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති කෙනෙකු සිටී. ( කුරුණෑගල රදගුරු, හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමි) ලේකම් වරයෙකු සිටී. (කොළඹ සහයක රදගුරු ඇන්තනි ජයකොඩි හිමි) ඒ දෙදෙනාම 13 ආණ්ඩුක්‍රම ක්‍රම ව්‍යවස්ථාව ගැන, කිසිදු මතයක් මෙතෙක් ප්‍රකාශ කර නැත.
මෙරට කිසිම රදගුරුවරයෙක් තම කතෝලික සභා බල ප්‍රදේශවල ගිහි සාමාජිකයන් ගෙන්, ඒ ගැන මත විමසා ඇති බවක්, තවමත් ජීවතුන් අතර සිටින මෙ රට පැරණි ගිහි මූලිකයන් කීපදෙනෙකු ගෙන් විමසූ අපට, දැනගත නො හැකි විය.

රටේ අද ඒකීය කතෝලික සභාවක් ද නැත.
රටේ, අද, බෙදුනු කතෝලික සභා දොළහකි.
මන්නාරම රද ගුරු ඒ බව සහතික කර ඇත.

ඒ දොළහ ද, මතුපිටින් එ තරම් නො පෙනුණද, අභ්‍යන්තරව සිංහල දෙමළ ලෙස ද දෙකට බෙදිලා ය.කාදිනල් හිමි ගේ පාස්කු අපරාධ වෑයම් පසුබෑමට, ඒ තත්වය ද හේතුවක් වී ඇති බව, අප දිගින් දිගට පෙන්වා දෙමින් සිටින්නේ ඒ වැටහීමෙනි. බොරැල්ලේ සෙඩෙක් ආයතන ශාලාවේ පැවති කතෝලික ගිහි. පූජක, රදගුරු, හමුවකදී, ඒ ‘තුවාලය’ගැන ප්‍රසිද්ධියේ හෙළි කළේ, ත්‍රිකුණාමල රදගුරු නොයෙල් එම්මානුවෙල් හිමි ය.
එසේ බෙදී ඇති ශ්‍රී ලංකා කතෝලික සමාජයේ අධිකම සාමාජික සංඛ්‍යාව ගිහි ස්ත්‍රී පුරුෂයන්ය.
(රදගුරු 15 – පූජක 900 පමණ) ගිහියන් ලක්ෂ 14 ආසන්නය.

මඩු පල්ලියේ දී වතිකාන තානාපති රදගුරු, මෙ රටට බෙහෙවින්ම බලපාන, ඉහත ප්‍රකාශය කළේ. මෙ රට කතෝලික රදගුරු මණ්ඩලය ගෙන ඇති තීරණයක් පරිදිද? එ සේ නම් එය ප්‍රකාශ කළ යුතුව තිබුණේ මෙරට ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලන සභාපති, හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිය. නැතහොත් ලේකම් හිමිය.
ලක්ෂ 14 අධික සාමාජික සංඛ්‍යාවක් සිටින ආගමික සමාජ සංවිධානයක් තීරණ ගත යුත්තේ එහි සිටින රදගුරු පහළොස් නම විසින් පමණද? එහි ඇත්තේ කුමන ප්‍රජාතන්ත්‍ර වාදයක්ද? රටේ පාලනය ප්‍රජාතන්ත්‍රවාදී විය යුතුයැයි පෙන්වා දෙන්නේ ද ඔවුන්ම ය.
තමන් එ බඳු තීරණයක් ගෙන ඇත්නම්, එය මෙ රට සිටින වතිකාන තානාපති ලවා, ජනාධිපති ඉදිරියේ ප්‍රකාශ කරවන්නට තරම්, ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලය පසුබෑවේ ඇයි? තමන්ට එල්ලවන චෝදනා වෙන`තක හරවන්නද?

13 ආණ්ක්‍රම ව්‍යවස්ථාවේ රටට ඉතා අහිතකර අදහසක්, තිබේ.
” පළාත් සභා දෙකකට සිය කැමැත්තෙන් එකට එක්ව, එක් පළාත් සභාවක් සේ ක්‍රියා කළ හැක”
ඉන්දීය බලපෑමෙන් නිර්මිත පළාත් සභා පණතේ දුර අරමුණ, මේ කුඩා රට අනාගත දිනක දෙකට බෙදා, උතුර තමතට ගැනීම බව මෙ රට මහජනකායකගේ මතය‍යි. ඒ මහජනකාය අතර සිංහල කතෝලිකයෝ ද සිටිති. උතුරු හා නැගෙනහිර පළාත් සභා ඉදිරියේ දී එක් පළාත් සභාවක් කර ගන්නට ඉඩ ඉන් විවෘත වන හෙයිනි. ( උතුරේ වෙනම රාජ්‍ය ඉල්ලීම! ඊලම!)
එයින් සිදුවිය හැක්කේ, මේ කුඩා රට හා ජනතාව භාෂා හා ජනවර්ග මත, දෙකට බෙදීම ය.එ සේ දෙකට බෙදන ලද සුඩානයට අද වී ඇති දේ! එහි නො නවතින ඉස්ලාම් කිතුනු ගැටුම් ය.රට සිංහල බෞද්ධ බවත්, අප ජීවත් වන්නේ, ශ්‍රී මහ බෝධිය හා දළදා මැදුර සිප එන සුළඟ ආශ්වාස කරමින් බවත්, ඒ නිසා අප හැමවිටම බුදුනුවන් හා එකට සිටිය යුතු බවත්, මැල්කම් රංජිත් කාදිනල් හිමි නිතර නිතර පවසයි. පොදු ජන පෙරමුණ බලයට පත් කළ භික්ෂූ සමූහය හා බහුතර බෞද්ධ ජනතාව 13 ට එරෙහි ය. අස්ගිරිය විරුද්ධ ය. ඇල්ලේ, මැදගොඩ හිමිවරු දැනටමත් යුද ප්‍රකාශ කරලා ය.

වතිකාන තානාපති ගේ ඒ, මරඳමඩු ප්‍රකාශය, එදින එතැනදී, ජනාධිපති ඉදිරියේ වදාරනු ඇතැයි කාදිනල් හිමි දැන සිටියේ ද හා, ඊට එතුමා එකඟ වූයේදැයි කාදිනල් හිමිගෙන්ම දැනගන්නට කොළඹ කතෝලික ජනතාව කන් අයා බලා සිටී.එ සේ ම, රදගුරු සම්මේලනය, 13 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව එලෙසම ක්‍රියාත්මක කරන්නට එකඟවූයේදැයි හා ඒ බව ජනාධිපති ද කැඳවා, රටට ප්‍රකාශ කරන්නට වතිකාන තානාපති ව භාවිතා කරන්නට, තීරණය කළේදැයි, ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලන සභාපති හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමි මෙ රට සමස්ත කතෝලික ජනතාවට දැන ගන්නට සැළැස්විය යුතු ය.

උතුරේ රදගුරුවරු ද, රටේ කතෝලික සභාව දෙකඩ කරන ඉල්ලීමක් වතිකානයෙන් කර තිබේ.ඒ වන්නිය රදගුරු වසමක් කර, යාපනය අගරදගුරු වසමක් කරන ලෙසය.1987 පළාත් සභා පණතට අනුව, පළාත් සභා දෙකක් එකතු කර එක් පළාත් සභාවක් පිහිටුවීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දී තිබේ.
එ සේ තිබියදී, මෙ රට වතිකාන තානාපති අත ඔබා ඇත්තේ දෙබරයකට ය. රටවල් සාමකාමී කරන්නට පුහුණුව ලැබ ඉදිරිපත්ව සිටින්නන්, රටක් අසමාදානයට හේතු වන සේ ක්‍රියා කිරීම කෙසේ හඳුන්වන්නද? රනිල් ජනපතිට, ඊළඟටත් ජනපතිවීම සඳහා, ද්‍රවිඩ කිතුනු මනාප ලබාදීමට දැරූ අක්‍රිස්තියානි වෑයමක්සේ?

ඉහත කී උත්සවයට මඩුපල්ලි ගිය කීප දෙනෙකු අපට කතා කළේය.

පළමුවැන්නා:
” අපි හිටියෙ ආගමික භක්ති අභ්‍යාසයක…මඩු මෑණියන් ගැන කියව කියව හිටිය වතිකාන තානාපති…. එක පාරටම…ජනාධිපති දෙමළ දේශපාලකයන් හමුවීම හොඳයි…බලය බෙදාහැරී ම වෙනුවෙන් ඔහු ක්‍රියා කිරිම හොඳයි … කියල තමයි 13 ගැන වක්‍රව කතා කළේ”

දෙවැන්නා:
” මාව ගල්ගැහුණා වතිකාන තානාපති නින්දෙන් ඇහැරුණා වගේ මේ මොනවද කියන්නෙ කියල…එච්චර සෙනගක් මඩුපල්ලි ආවෙ කාගෙවත් දේශපාලන කතා අහන්න නෙමේනෙ”

තෙවැන්නා:

( ඔහු පියතුමෙක් විය යුතුය)” කොළඹ මැදි වයසෙ පියතුමෙක් ගිහින් මන්නාරම රදගුරුට කියල තිබුණා…ඔහේ සමග මුළු රටම විරුද්ධ වේවි මේ කරපු නොහොබිනා වැඩේට කියල”

සිරිල් එඬේරමුල්ල සූරීන් පසුගිය 16 වන දා තැබූ ඒ මුහුණු පොතේ සටහන ද කියැවීමෙන් පසු එක් වරම අප ගේ මනැසට පිවිසියේ 1987 නොවැම්බර් 10 වනදින බුත්තල අළුකළවිට දී නාඳුණන තුවක්කු කරුවකු විසින් ඝාතනය කළ මයිකල් රුද්‍රිගො පියතුමා කර තිබූ ඓතිහාසික ප්‍රකාශයකි.”හැම දේම දෙවියන් වහන්සේ කරලා දෙයි කියලා හිතා ගෙන මොළේ පාවිචිචි නොකර උඩ බලාගෙන ඉන්න එපා.මිනිස්සුන්ට හොඳට වැඩ ගන්න පුළුවන් මොළයක් දීලා තියෙන්නෙත් දෙවියන් වහන්සෙම තමයි” එතුමන් ගේ එම වැකිය ඉහත කරුණ සම්බන්ධ සුසංවාදයේ දී මෙරට කිතුණු ප්‍රජාවට ජවයක් පන්නරයක් වනු ඇතැයි යන්න අප ගේ වැටහීම ය.

මාදම්පේ රීටා ජෙනට් පෙරේරා

එතෙර - මෙතෙර