සදහටම සමුගත් සෙනෙහෙබර බිරිඳක වෙනුවෙන් සැමියකු ගේ හදින් පිබිදුණු කවි කු(සු )සුමක්!

සාහිත්‍යකරණය සංගීත‍ය ඇතුළු කලා ක්ෂේත්‍රයන් කිහිපයක් සම්බන්ධයෙන්ම ප්‍රාමාණික දක්ෂතා හෙබවූ 1975 වසරේ රාජ්‍ය සාහිත්‍ය උළෙලේ සමස්ත ලංකා කෙටි කතා තරඟයෙන් පළමු තැන හිමි කර ගත් චන්ද්‍රලතා ලක්දුසිංහ කලාවේදිනියගේ පළමු වන ගුණ සැමරුව නිමිත්තෙන් ප්‍රකට විචාරක සිසිර මහගම මහතා මෙහෙයවන ගීත රස වින්දනය පිළිබඳ වැඩ සටහන අගෝස්තු මස 20 වන ඉරු දින සවස 3.00 ටවේයන්ගොඩ ජනාධිපති විද්‍යාලයේ දී පැවැත්වේ.එය ශ්‍රවණය කිරීමට සහභාගී වන ලෙස කලා කාමීන් හට විවෘත ඇරයුමක් කරන බව චන්ද්‍රලතා ලක්දුසිංහ අනුස්මරණ පදනම දන්වා සිටියි.ඒ සම්බන්ධ වැඩි විස්තර 07766 25 170 හෝ 071-63 24 704 යන දුරකථන අංක මඟින් විමසා දැන ගත හැකි බව සංවිධායකයෝ දන්වති. එම කලාකාරිය වෙනුවෙන් ඇගේ ආදරණීය සැමියා වන ජාතික කෞතුකාගාර සහ කැලණිය විශ්ව විද්‍යාලයීය පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ හිටපු අධ්‍යක්ෂ හා පුරා විද්‍යාඥයන් ගේ ජාතික සභාවේ සමාරම්භක ලේකම් සේම සම්මානලාභී ගත් කතුවරයකු සාහිත්‍ය විචාරකයකු සේම කවියකු ද වන ආචාර්ය සිරි නිමල් ලක්දුසිංහ සූරීන් විසින් සම්පාදිත කාව්‍ය නිර්මාණයකි මේ;

*********ඈ යන්නම ගිහිල්ලා*********

ලියාගත් විට කවක්
කා හටත් පළමුවෙන්
පෙන්නුවෙ ඇයටමයි
මා ලියූ කවිය දැක
ඇගෙ හිසේ මල් පිපේ
දසන් දක්වා සිනා
සෙන්නෙ නෑ ඒ ඇගේ
සොබාවයි ඒ වුවත්
මුහුණ එළියක් ලබයි
මසිත නො බිඳෙන ලෙසින
අකු, පිළි වදන් කා
පාද වුව වෙනස් කොට
රජතමය මගෙ කවිය
රන් මලක් කළෙ ඇයයි
ඇතැම් විට ඇතැම් කවි
වාරණය කළා ඇය
බෑ ලිව්ව කියවන්න
ලැජ්ජාවෙ කියමින් ම
යළිදු නම් ඈ වෙතින්
ලැබෙනු නැත ඒ මහඟු
විචාරය, ඇගෙ සුවඳ
පමණි දැන් උරුම මට
ලියූවත් මේ කවිය
යළිත් කිසි විටක එය
කියවන්න බැරිය මට
වෙද කෙනෙක් ලොව තවත්
මැරි මැරී යළි යළිත්
දිවි ගෙවන මා විලස.

සිරි නිමල් ලක්දුසිංහ

wall එක