මිනිස් අලි ගැටුමින් මියගිය දෙකොටසටම පින් දෙන්න ගමක් එක් වී දෙන කොස් කොත්තු දන්සල

වෙසක්, පොසොන් ආදී පොහොය දිනයන් මුල්කොට දන්සල් පැවැත්වීම මේ වන විට පින්කමක් සේම ජනප්‍රිය සංස්කෘතිකාංගයක් සේ ද ප්‍රවර්ධනය වෙමින් තිබේ.

එහෙත්, මෙම නූතන දන්සල්කරණ ව්‍යාපෘතීන් හුදෙක් දානය, විනෝදාස්වාදය සහ ලාභ ප්‍රයෝජන යන චේතනාවන් හැරුණු කොට සංකල්පමය වශයෙන් සුවිශේෂත්වයක් පළ කරන අවස්ථා ඉතා අඩු ය. එවන් පසුබිමක් යටතේ අතීතයේ සිට හත් කෝරලයේ, වන්නි හත්පත්තුව ලෙස හැඳින්වෙන වත්මන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව ආශ්‍රිත උස්ගල සියඹලංගමුව ප්‍රදේශයේ ගැමියන් එක්ව දෙන අපූරු පොසොන් දන්සලක් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට අපට හැකි විය.

අප වෙත තොරතුරු වාර්තා වූ අන්දමට එය මුළු ගමක් එක් වී දෙන “කොස් කොත්තු” දන්සලකි. අප කවුරුත් දන්නා පරිදි කොස් යනු අප ශ්‍රී ලාංකේය ගැමි සමාජයේ විකල්ප බත සේ ගැනෙන සාම්ප්‍රදායික ආහාරයයි. නමුත් කොත්තු යනු ජනප්‍රිය ආහාර සංස්කෘතිය සමඟ මෑතක දී එක් වූ නවාංගයකි. මේ ආහාර වර්ග දෙක සුසංයෝග කොට දන්සලක් දීමේ යම් විශේෂත්වයක් තිබේ. එහෙත්, මෙම දන්සල සම්බන්ධ සැබෑ සුවිශේෂත්වය එය නොවේ.

ලබන ජුනි 03 වැනිදාට යෙදෙන පොසොන් පෝ දින රාත්‍රී 7.00 සිට 10.00 දක්වා ගල්ගමුව, උස්ගල සියඹලංගමුව යාය 04 ශ්‍රී ආනන්ද බෝධි රාජාරාමයේ දී එහි විහාරාධිපති පූජ්‍ය පානදුරේ දීපානන්ද හිමිපාණන් ගේ අනුශාසකත්වයෙන් දෙනු ලබන එම දන්සල සම්බන්ධ මූලික සංකල්පය එහි අහිංසක ගැමි හදවත් වලින්ම ඉස්මතු වීම ය.

ගල්ගමුව ආශ්‍රිත වන අලි පරපුර සම්බන්ධ රටම කම්පා කරවන සාතිශය ඛේදනීය සිදුවීම් දෙකක් 2010 සහ 2018 යන වසර වල සිදුවිය. ඉන් මුල් සිදුවීම නම් මුළු ගල්ගමුවටම මහත් අභිමානයක් ගෙන දුන් සියඹලංගමුවේ ඇතා නම් වන සද්දන්තයාගෙන් ප්‍රදේශයේ ජනතාවට හිරිහැර වන බවට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කොහෙන් දෝ අහුලා ගත් බව කියන තහවුරු නොවූ තොරතුරකට අනුව එම ඇතා වෙනත් රක්ෂිත වනයට ගෙන ගොස් මුදාහැරීමට දැරූ වෑයමේ දී වනජීවී නිලධාරීන්ගේ නොවිධිමත් ක්‍රමෝපායන් නිසා සියඹලංගමුව වැව අද්දරදීම දැඩි වේදනාත්මක මරණයකට ලක් වීම ය. මෙම සිදුවීම සියැසින් දැක ප්‍රකෝපකාරී වූ සිත ගත සවිමත් සියඹලංගමුවේ තරුණයන් ඒ මොහොතේ ආවේගශීලීව හැසිරුණු ආකාරය අනුව සාපරාධී ක්‍රියාවන් සිදුවීමේ ද පැහැදිලි නැඹුරුවක් තිබූ බව ඒ එහි සිටි පිරිස් කීහ. එම සිදුවීමෙන් පසු අතිශය චිත්ත පීඩාවකින් යුතුව සිටි ගල්ගමුව වැසියන්ට ඊට වසර අටකට පසු 2018 වසරේ අසන්නට ලැබුණේ ඔවුන්ගේ වචන වලින්ම කිවහොත් ‘අහස පොළොව නුහුලන අපරාධයක්’ පිළිබඳව ය. එනම් දළපූට්ටුවා නමින් ප්‍රදේශවාසීන් විසින් හඳුන්වනු ලැබූ ගල්ගමුව අවට සැරිසැරූ දෘශ්‍යාබාධිත දළ ඇතා 2018 වසරේ ජුලි මාසයේ දී ඉන් ඔබ්බෙහි වූ කහල්ල පල්ලේකැලේ වන රක්ෂිතය තුළ දී ඇත් දළ සොරුන් වෙතින් කුරිරු ඝාතනයකට ලක් වීම ය.

මෙම ඛේදනීය සිද්ධීන් දෙකත් සමඟ පොදුවේ ගල්ගමුව ජනතාව සම්බන්ධයෙන් බාහිර සමාජය තුළ පැවැති යහපත් ප්‍රතිරූපයට බරපතළ හානි පැමිනුණු අතර පසුව එය යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමේ එක් පියවරක් ලෙස මේ වන විට පාදෙනිය හරහා වැටී ගත් කොළඹ, කුරුණෑගල අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ ගල්ගමුවට ඔබ්බෙන් පිහිටි සෙනරත්ගම පුලංචිය වැව් ඉස්මත්තේ පිහිටි ගිමන් හල පරිසර උද්‍යානයේ එම ඇතුන් දෙදෙනා ගේ සජීවී ප්‍රමාණයේ හැඩතල වලින් යුතු ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය ඉදි කොට තිබේ. ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති එච්. කේ. විමලරත්නයන් ගේ ඇරැයුමින් එම ස්මාරකය තනවන ලද්දේ අහිංසා ශ්‍රී ලංකා සත්ව හිමිකම් සංවිධානය වෙනුවෙන් එහි ව්‍යාපෘති අධ්‍යක්ෂ හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ මහතා ගේ මූල්‍ය ප්‍රතිපාදන මගිනි.

ගල්ගමුව ප්‍රදේශයේ සෙසු වන අලි ඇතුන්ට සාපේක්ෂව සියඹලංගමුවේ ඇතා සහ දළ පූට්ටුවා යන ඇතුන් දෙදෙනා කෙරෙහි ප්‍රදේශවාසීන් තුළ මහත් ආදර කරුණාවක් සේම ගෞරවයක් ද හටගෙන තිබිණ. මීට වසර ගණනකට ඉහත තවත් වන අලි රංචුවක් පෙරටු කොට ප්‍රදේශයේ මාර්ගයක් ඔස්සේ ඉදිරියට එමින් සිටි සියඹලංගමුවේ ඇතාට පා පැදියකින් තමන් ඉදිරියට එන උස්ගල සියඹලංගමුව තිස්ස විද්‍යාලයේ කුඩා දැරියක දක්නට ලැබිණ. ඇය දුටු සැණින් සියඹලංගමුවේ ඇතා පාපැදිය පිටින්ම ඇය ඔසවා මඟ අද්දර වූ කාණුවකට හෙළීය. ඉන් දැරිය සිරීම් තුවාලයක්වත් නොලබා බේරුණු අතර එසේ නොවන්නට ඇය තමන් පසුපසින් ආ සෙසු වන අලින් ගේ පහර කෑමට ලක් වන බව සියඹලංගමුවේ ඇතා අපටත් වඩා හොඳින් දැන සිටින්නට ඇත. එම සද්දන්තයා සම්බන්ධ එවැනි අධි මානුෂීය සිදුවීම් අහුරු ගණන් එක් කර ගැනීමට සියඹලංගමුවට පිවිසෙන ඔබට අද වුව ද පුළුවන.

උපතින් දෘශ්‍යාබාධිත නොවුණ ද කුරිරු මිනිසුන් ගේ වෙඩි උණ්ඩවලට ගොදුරු වීම මත මූනිස්සම් පහර වලින් ආදී හේතුන් මත ජීවිතයේ අවසන් භාගයේ පූර්ණ අන්ධභාවයට ආසන්න මට්ටමක සිටි දළ පූට්ටුවා ගේ සංචරණ රටාවට රෑ දවල් භේදයක් නොවිණි. බොහෝ විට නිවෙස්වල මිදුල පිළිකනු හරහා වුව ගමන් කළ ඒ සද්දන්තයා කෙරෙහි කිසිදු බියක් ප්‍රදේශවාසීන් තුළ නොවූයේ ගැමියන් ගේ වදන් වලින්ම කිවහොත් දළ පූට්ටුවා මී පැටවකුටත් වඩා අසරණ හා බලු පැටවකුටත් වඩා කීකරු සත්වයකු වූ බැවිනි. එදිනෙදා කටයුතු කරගත නොහැකි අන්ධකාර ලොවක පසු වූ දළ පූට්ටුවා එසේ යන එන ගමනකදී ගෙවත්තක ඇති බව බෝගයකට හොඬවැල දිගු කොට යමක් ගොනු කර ගනිත්ම ‘දැන් ඔය ඇති; පලයන්’ කී සැණින් පියවර හත අටක් පසු පසට ගමන් කොට ආපසු ගිය බවත් ඉන් කම්පා වූ ගැමියන් ‘ඔහේ කමක් නෑ එහෙනම්. ඇවිත් තව ටිකක් කාපන්’ කීවද කිසිවිටෙකත් යළි නොපැමිණි බවත් ප්‍රදේශවාසීහු අදත් කඳුළු පිරි දෙනෙත් වලින් යුතුව සිහිපත් කරති.

සියඹලංගමුවේ ඇතා මෙන්ම දළ පූට්ටුවා ද කොස් කෑමට රුසියෝ ය. තමන් ගමන් කරන මංපෙත්වල ඇති කොස් ගෙඩියක් දෙකක් හොඬවැලෙන් ගෙන මුව තුළ බහා ගැනීමේ ඒ පුරුද්ද ඒ දෙදෙනා තුළම තිබිණ. දෑස හරිහැටි නොපෙනුණ ද හොඬවැල අගට දැනුණු තියුණු ඉව නිසා ඒ රසවත් ආහාරයට ළංවීමේ හැකියාවක් දළ පූට්ටුවා තුළ විය. එහෙත්, තවත් අඩසිය වසකට ආසන්න කාලයක් ජීවත් වීමට තිබූ ස්වභාවික හිමිකම නොසැලකිලිමත් හා තිරිසනුන්ටත් අන්ත කුරිරු මිනිසුන් නිසා අහිමි කරගත් මෙම සද්දන්තයන් දෙදෙනා මිනිස් ගුණ ඉක්මවන තම ගුණ සුවඳ පමණක් වත්මන් සමාජයට ශේෂ කොට තබා මේ වන විට සඳහටම අපගෙන් වෙන්ව ගොස් අවසන් ය.

නමුදු ඒ වගක් නොදන්නා තම නිවෙස් ආශ්‍රිත කොස් ගස් අදටත් පෙර සේම පළ දරනු අදත් ගල්ගමුව සියඹලංගමුව වැසියන්ට පෙනෙයි. එවිට ඔවුනට ඉතා අහිංසක ලෙස එම කොස් ඵල වලින් කුසගිනි නිවාගත් ඒ සද්දන්තයන් දෙදෙනා ගේ රූ සටහන් මතකය හමුවේ මැවී පෙනීම කෙසේවත් වළකාගත නොහැක. “අනේ දරුවනේ උඹලා ආයිත් එනවා නම් ඔය ගස් වල තියන ඔක්කොම කොස් ටික හරි උඹලට කන්න දෙනවා” තම හදවත් එලෙස අඳෝනා නඟන එම අහිංසක ගැමියන්ට දැන් කලෙක සිට හොඳින් ඇසෙමින් තිබේ.

“හැබැයි ඉතින්, උන්ට අපේ ගස් වල කොස් දෙන්න බැරි වුණාට ඒ කොස් කාට හරි දන් දීලා උන්ට පින් දෙන්න අපිට බැරිකමක් නෑනේ” සොබා දහමේ දරුවන් වුව එම ගම්මාන වල ගැමියන්ට තමන්ගේම දරුවන් සේ පෙනුණු එම සද්දන්තයන් සම්බන්ධයෙන් එහි ගැමියන් තුළ පහළ වූ එම සාතිශය සංවේදී හැඟීම ඉදිරි පොසොන් පුන් පෝ දින කොස් කොත්තු දන්සලක් තෙක් ප්‍රවර්ධනය වීම පිළිබඳ නිදාන කතාව එයයි.

නමුදු නිකම් කොස් යනු එතරම් රසවත් ආහාරයක් නොවන බැවින් එම දන්සල වෙත වැඩි පිරිසක් අද්දවා ගැනීමට එම ආහාරය කොස් කොත්තු වශයෙන් නවීකරණය කළ බව උස්ගල සියඹලංගමුවේ ගැමියෝ කියති. එමෙන්ම වඩාත් රසවත් කොස් කොත්තු වට්ටෝරුව තෝරා ගැනීම පිණිස පසුගිය කාලය තුළ ගැමි නිවෙස් තුළ ඒ සම්බන්ධ විවිධ අත්හදා බැලීම් කොට ඇති බව ද දැන ගන්නට තිබේ. ඒ අනුව ඒ අතුරින් වඩාත් රසවත් වට්ටෝරුවට අනුව එදිනට කොස් කොත්තු පිළියෙල කෙරෙනු ඇත.

පාදෙනිය ඔස්සේ වැටී ඇති කොළඹ, කුරුණෑගල, අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ ගල්ගමුව, අමුණුකොලේ හන්දියෙන් දකුණට හැරී කිලෝ මීටර් තුනක් දුරින් මෙම කොස් කොත්තු දන්සල පවත්වන ශ්‍රී ආනන්ද බෝධි රාජාරාමය පිහිටා තිබේ. අප ඔබ හමුවේ ඒ මාර්ග විස්තර ඉදිරිපත් කිරීමට හේතුව අමුතුවෙන් කිව යුතු නැතැයි සිතමු.

2023 මැයි 28 දිවයින ඉරිදා සංග්‍රහය

තිලක් සේනාසිංහ

අරුමැසි පුවත්