දිළිඳු බවේ සහ ගැහැනු කමේ නාමයෙන් අකල් මරණයකට පත් රාජ කුමාරි

වැලිකඩ පොලිසියේ දී සිදු කරන ලද පහරදීමකින් පසුව මිය ගිය බව පැවසෙන ආර්. රාජකුමාරි නම් 41 හැවිරිදි තිදරු මවගේ මරණය පිළිබඳ මේ වන විට මාධ්‍යවල මෙන්ම සමාජ මාධ්‍ය ජාලා තුළ ද දැඩි කතාබහකට ලක්වෙමින් පවතින සිද්ධියක් බවට පත්ව තිබේ. මේ සිද්ධියට සම්බන්ධ වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය වෙත මාරු කර යවා තිබේ. එමෙන්ම පොලිස් පරීක්ෂකවරයෙක්, සැරයන්වරු දෙදෙනෙක් සහ පොලිස් කොස්තාපල්වරයකු වැඩ තහනමට ලක් වූ අතර පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනෙකුට සහ පොලිස් කොස්තාපල්වරයකුට ස්ථාන මාරුවීම් ද ලබා දී තිබේ. මේ සිදුවීම සම්බන්ධව බොහෝ දෙනෙක් දන්නා මුත් එය සැකෙවින් මෙසේ ඉදිරිපත් කළ හැකිය.

රාජකුමාරි සේවය කරමින් සිට ඇත්තේ ඉතා බලවත් කෝටිපති ව්‍යාපාරික කාන්තාවක මෙන්ම ප්‍රකට ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරියක ද වන සුධර්මා නෙත්තිකුමාර නම් කාන්තාවගේ රාජගිරියේ නිවසේ ය. රාජකුමාරි මේ නිවසේ සේවය කළ නොහැකි බව පවසා වෙනත් නිවසක මෙහෙකාර සේවය සඳහා රැකියාවෙන් ඉවත්ව ගොස් තිබේ. යට කී ව්‍යාපාරික කාන්තාවට අයත් රන් මුද්දක් නැති වූ කතාව පිටතට එන්නේ මේ අතරතුරදී ය. මේ පිළිබඳ රාජකුමාරි නම් මෙහෙකාර කාන්තාව පිළිබඳ සැකයක් ඇති බව ඇය විසින් වැලිකඩ පොලිසිය දන්වා තිබේ. මේ සිද්ධියේ මේ අවස්ථාව දක්වා සියලු දේ සාමාන්‍ය කාරණා ය. සිය නිවසේ යමක් නැති වී ඇත්නම්, නිවසට පැමිණෙන එකම ආගන්තුක පුද්ගලයා එකී මෙහෙකාරිය නම් ඒ පිළිබඳ සැක පහළ කිරීම සාධාරණ ය. ඒ සඳහා සඳහා තමා පුද්ගලිකව මැදිහත් නොවී නීතිය අනුව කටයුතු කිරීම පිණිස එය පොලිසියට භාර දීම සාමාන්‍යයෙන් කොයි කවුරුත් ගන්නා ක්‍රියා පිළිවෙත ය. නමුත් මේ සිදුවීමේ මෙතැන් පටන් වූ කාරණා මේ සාමාන්‍ය පිළිවෙතින් බැහැරට ගිය ඒවා බව පෙනේ.

රාජකුමාරි ඒ වන විට වෙනත් නිවසක සේවය කරමින් සිටි බැවින් වැලිකඩ පොලිසිය ඇය අත්අඩංගුවට ගැනීම සඳහා එම නිවසට යයි. පසුගිය 11 වැනිදා ඇය එහි දී අත්අඩංගුවට පත්වන්නේ නීතිවිරෝධීව ය. අනතුරුව පොලිසියට රැගෙන එන රාජකුමාරිට මුහුණ දෙන්නට සිදුවන්නේ ඇය කිසිසේත්ම අපේක්ෂා නොකළ සිදුවීම මාලාවකට ය.

මේ පිළිබඳ විවිධ මාධ්‍ය තොරතුරු වාර්තා කොට ඇති අතර ඒ සියලු කාරණාවල මූලිකවම සඳහන් එක් කාරණයක් තිබේ. එනම් මේ ව්‍යාපාරික කාන්තාවට ඉහළ පෙළේ පුද්ගලයන් සමග බොහෝ සබඳතා ඇති බැවින් ඇය මේ පිළිබඳ පුද්ගලිකව සොයා බලන ලෙස එක් උසස් පොලිස් නිලධාරියකුට පවසා තිබීම ය. එහි ප්‍රතිඵලයක් ලෙස වැලිකඩ පොලිසියේ දී රාජකුමාරි කාන්තා පොලිස් නිලධාරින්ගේ මෙන්ම පිරිමි පොලිස් නිලධාරීන්ගේ ද අමානුෂික පහර කෑමට ලක්ව තිබේ. තමාට පොලිසියේ දී පහර දෙන බව ඇය සිය සැමියා වන යේසුරාසා ට දුරකතනයෙන් පවසා ඇත. කෙසේ හෝ මේ පහරදීම්වලින් අනතුරුව ඇය අසාධ්‍ය තත්වයට පත් වූ බව දුටු පොලිසිය වහාම ඇය රෝහල් ගත කරනු ලැබුව ද ඇයට තවදුරටත් ජීවත් වීමේ වාසනාව හිමි වූයේ නැත.

වැලිකඩ පොලිසිය පවසා ඇත්තේ අත්අඩංගුවට ලත් අවස්ථාවේ දී ඇයට හුස්ම ගැනීමේ අපහසුතාවක් තිබූ නිසා රෝහල් ගත කළ බව ය. නමුත් ඇගේ සැමියා පවසන්නේ තමා ඇය දකින විට නාසයෙන් සහ මුවින් රුධිරය වෑහෙමින් තිබෙන බව දුටු බවත් පාදයක් ද ඉදිමී තිබුණු බවත් ය. ඇගේ සැමියා පවසා තිබූ තවත් වැදගත් දෙයක් වූයේ රාජකුමාරී කිසිදු කල්පවත්නා රෝගයක් නොතිබුණු නිරෝගී කාන්තාවක බවය. එසේ නම් එකවර හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇති වන්නට ඉඩක් ද තිබිය නොහැකි ය. එමෙන්ම පොලිස් වාර්තාවන්ම සනාථ කරන පරිදි සොරකම් කිරීම් සම්බන්ධව රාජකුමාරිට එරෙහිව මෙයට පෙර කිසිදු පොලිස් පැමිණිල්ලක් ද නොමැති බව ය. එය ඇගේ නිර්දෝෂීභාවය සනාථ කරන්නට එක් හේතුවක් වන නමුත් ඒ නිර්දෝෂීභාවය පිළිබඳ සතුටු වන්නට ඇය තවදුරටත් ජීවතුන් අතර නැත.

නීතිය හමුවේ සෑම පුද්ගලයකුම සමාන වන බව නීතිය මගින්ම කියැවුන ද අප රටේ එය ක්‍රියාත්මක වන්නේ වෙනස් ආකාරයකට ය. යම් පුද්ගලයකුගේ බලවත්කම, ධනවත්කම මත අප රටේ නීතිය ක්‍රියාත්මක වීම අද ඊයේ හිටිවනම සිදුවූවක් නොවේ. එය ජරාජීර්ණ දේශපාලනය අප රටට හුරු වූ දින සිටම වර්ධනය වෙමින් පැවති දෙයකි. මේ මුද්ද අයත්වන්නේ මේ සා බලවත් ව්‍යාපාරික කාන්තාවකට වූ බැවින් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග අභිබවමින් එය සොයා ගන්නට පොලිසියේ උසස් නිලධාරීන් ඇතුළු සියලු දෙනා යුහුසුලුව ක්‍රියාත්මක වුව ද මේ මුද්ද නැති වූයේ දුප්පත්, දුබල, කිසිදු උසස් සබඳතා නොමැති පුද්ගලයකුගේ නම් තත්ත්වය මෙයට වඩා හාත්පසින්ම වෙනස් ය. යම් හෙයකින් මේ මියගිය කාන්තාවගේ රන් මුදුවක් සොරකම් කිරීමට ලක් වී, ඇය සිය තම ස්වාමි දියණිය වූ සුධර්මා නෙත්තිකුමාරට එරෙහිව පොලිසියේ පැමිණිල්ලක් දැමුවේ යැයි මොහොතකට සිතමු. නමුත් එහි දී පොලිසිය වහා ක්‍රියාත්මක වී එකී ධනවත් කාන්තාව අත්අඩංගුවට ගැනීමට ක්‍රියාත්මක වන්නේ නැත. එහි දී සිදුවන්නට හැකි ආසන්නතම දෙය නම් එවැනි වැදගත් කාන්තාවකට බොරු චෝදනා එල්ල කිරීම මත මෙහෙකාරියටම එරෙහි ක්‍රියා මාර්ග ගැනීම පමණි. අපේ රටේ නීතිය එසේය. අත්අඩංගුවට ගනු ලබන සැකකරුවන් කිසිදු ක්‍රමවත් විමර්ශනයන්ට ලක්නොකොට පොලිසිය තුළ දී ඝාතනය වීමේ මහඟු ඉතිහාසයක් ශ්‍රී ලංකා පොලිසිය සතුව තිබේ. එය ලෝක වාර්තාවක් වන්නට පුළුවන.

මේ සිදුවීම සම්බන්ධව වාර්තා වන එක් ප්‍රවෘත්තියක දැක්වෙන්නේ වැලිකඩ පොලිසියේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ගේ ලැයිස්තුවේ රාජකුමාරිගේ නම නොමැති බව ය. එය ද මේ මරණය පිළිබඳ සැක කරන්නට ඇති තවත් කාරණාවකි. ඇය පිළිබඳ පොලිසියට දන්වා සිටි අවස්ථාවේ පටන්ම සියල්ල ක්‍රියාත්මක වී ඇත්තේ නීතියෙන් පරිබාහිරව ද යන සැකය එහි දී මතු වේ. එමෙන්ම රාජකුමාරිගේ දේහය ඇයගේ ගම් ප්‍රදේශය වන බදුල්ල දොමෝදර කරා රැගෙන යාම සඳහා පොලිසිය විසින් ඇගේ සැමියා අතට රුපියල් දහදාහක මුදලක් ලබා දී ඇති බවට ද තොරතුරු දැනගන්නට ලැබේ. මේවා සැකකටයුතු කාරණාය.

රාජකුමාරිගේ මරණය සම්බන්ධව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් ලබා දී ඇත්තේ ද විවෘත තීන්දුවකි. උසස් පොලිස් නිලධාරියකු පවසා ඇත්තේ ඇගේ මරණයට හේතුව පොලිසියේ දී සිදු කළ පහර දීමක් බව ය. නමුත් අධිකරණ වෛද්‍ය නිලධාරියා එය එක එල්ලේ සඳහන් කරන්නේ නැත. වෙනත් රෝගී තත්ත්වයක් නිසා ඇය මිය ගියේ ද යන කාරණය දෙසට වුව මේ සිදුවීම තල්ලු කිරීමේ හැකියාව මේ විවෘත තීන්දුව තුළ තිබේ. කෙසේ නමුත් දේහය ආදාහනය නොකොට භූමදානය පමණක් කරන ලෙස ද තීන්දුවක් ලබා දී තිබේ.

බලවත් කම හමුවේ නීතිය නැවෙන ආකාරය පිළිබඳ නිදසුන් අතරට එක්වන තවත් සිදුවීමක් බවට පත්වෙමින් දිළිඳු බවේ සහ ගැහැනු කමේ නාමයෙන් මෙම ඛේදවාචකයට ලක් වූ රාජ කුමාරි පිළිබඳ මතකය ද නොබෝ දිනකින් අපගේ මතකයෙන් බැහැරව යනු ඇත. නමුත් මේ එවැනි සිදුවීම්වල අවසානය නොවේ. නීතිගරුක සමාජයක් අපේක්ෂා කරන පොදු ජනතා ඉදිරියේ ඉතිරිවන ගැටලුව එයයි.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර