මුතුරාජවෙල තෙත් බිමේ කොටස් ලිට්‍රෝ සමාගමට රහසින් විකුණලා

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ වත්මන් පාලනාධිකාරිය මුතුරාජවෙල තෙත් බිම් රක්ෂිතයේ කොටසක් ලිට්‍රෝ ගෑස් සමාගමට රහසිගත ලෙස විකුණා දමා ඇතැයි පැවසෙයි. ජාතික නිදහස් වෘත්තිය සමිති මධ්‍යස්ථානයට අනුබද්ධ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථා වෘත්තීය සමිතිය චෝදනා කරනුයේ එම විකුණා දැමීමේදී අත යට ගනුදෙනු සිදුව ඇති බවටත් තක්සේරු වටිනාකම නොලැබී ඇති බවටත් ය.රජයේ ඉඩම් සංවර්ධනය කොට ව්‍යාපෘති සඳහා ලබා දීම මූලික අරමුණ කරගත් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව එම කටයුත්ත පසෙක තබා සංස්ථාව සතු ඉතා ඉහළ වාණිජ වටිනාකමින් යුත් ඉඩම් අතයට ගනු දෙනු හරහා කුණු කොල්ලයට විකුණා දමමින් සිටින බව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථා වෘත්තීය සමිතිය පෙන්වා දෙයි.2019ට පෙර පැවති යහපාලන ආණ්ඩුව සමයේ සංස්ථාව සතු මුතුරාජවෙල සහ නාරාහෙන්පිට කිරිමණ්ඩල මාවතේ පිහිටි ඉතා ඉහළ වාණිජ වටිනාකමින් යුත් ඉඩම් කොටස් විකුණා දැමීමට සැරසෙන විට එය වළක්වා ගැනීමට සංස්ථා සේවක සහයෝගය සහිතව සිය වෘත්තීය සමිතියට හැකියාව ලැබුණු බව පෙන්වා දෙන ඔවුන් වැඩිදුරටත් පවසන්නේ, රාජ්‍ය ව්‍යවසායන් ශක්තිමත්ව පවත්වාගෙන යාමේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්තිය පෙරදැරිකර ගත් පාලනයක් යටතේ සංස්ථාව සතු මුතුරාජවෙල ඉඩම් කීපයක් මෙලෙස රහසිගත ලෙස විකිණීමට පියවර ගැනීම කනගාටුවට කරුණක් බව ය.

කාලීන පුවත්