මෙවර ලෝක රූ රැජින තරගාවලිය ඉන්දියාවේ

2023 ලෝක රූ රැජින තරගාවලිය පැවැත්වීම සඳහා ඉන්දියාව තෝරාගෙන තිබේ. ඉන්දියාව තුළ ලෝක රූ රැජින තරගාවලියක් පැවැත්වෙන්නේ වසර 27 කට පසුව ය. මෙයට පෙර එහි මෙම තරගාවලියක් පැවැත්වූයේ 1996 වසරේ යි. එවර එය සංවිධානය කරනු ලැබුවේ සුපිරි නළු අමිතාභ් බච්චන්ට අයත් සමාගමක් විසිනි.

2023 ලෝක රූ රැජින තරගය පැවැත්වීම සඳහා මුලින් තෝරාගෙන තිබුණේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යි. පසුගිය පෙබරවාරි මාසයේ ඒ බව නිවේදනය කරනු ලැබිණි. යම් හෙයකින් මෙම තරගාවලිය එහි පැවැත්වූවා නම් මැද පෙරදිග රටක එය පැවැත්වුණු පළමු අවස්ථාව එය වීමට තිබිණි. කෙසේ හෝ වේවා පසුව එම සැලසුම වෙනස් වූ අතර තරගාවලිය පැවැත්වීමේ අවස්ථාව දැන් ඉන්දියාවට හිමිව තිබේ.

ලෝක රූ රැජින තරගාවලිය ඉන්දියාවට බොහෝ ජයග්‍රාහී මතකයන් ඉතිරි කර ඇති තරගාවලියකි. මේ වනවිට ඉන්දියාවෙන් ලෝක රූ රැජිනන් සය දෙනෙකු බිහි වී තිබේ. ඒ ආකාරයෙන් මෙම කිරුළ හිමි කරගත් පළමුවැන්නිය රීටා ෆාරියා යි. ඇය එම ජයග්‍රහණයට හිමිකම් කීවේ 1966 වසරේ ය. එවර තරගාවලිය පැවැත්වුණේ එංගලන්තයේ ලන්ඩන් නුවර යි. එයින් පසු අයිශ්වර්යා රායි (1994), ඩයනා හේඩ්න් (1997), යුක්තා මූකී (1999), ප්‍රියංකා චොප්රා (2000) සහ මනුෂි චිලර් (2017) මෙම කිරුළ දිනා ගැනීමට සමත් වූහ.

මෙවර තරගාවලිය පැවැත්වෙන දිනය තවමත් ප්‍රකාශයට පත් කර නැත. නමුත් ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට එය නොවැම්බරයේ හෝ දෙසැම්බරයේ පැවැත්වීමට ඉඩ තිබේ. පැවැත්වෙන ස්ථානය ගැන ද තවමත් ප්‍රකාශයට පත්ව නැත. 1996 වසරේ ලෝක රූ රැජින තරගය පවත්වන ලද්දේ බැංගලෝරයේ චින්නස්වාමි ක්‍රීඩාංගනයේ යි.

මෙවර ලෝක රූ රැජින තරගාවලිය සඳහා රටවල් 130 ක රූ රැජිනන් සහභාගි වනු ඇති බව ලෝක රූ රැජින සංවිධානය (Miss World Organization) ප්‍රකාශ කර තිබේ. ‘71 වැනි ලෝක රූ රැජින තරගාවලිය ඉන්දියාවේ පැවැත්වෙනු ඇති බව මා නිවේදනය කරන්නේ ඉමහත් සතුටෙන්’ එම සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරිනිය වන ජූලියා මෝලි සඳහන් කර තිබුණාය. ‘මෙයට වසර 30 කට පෙර මා මුල් වරට මෙම අපූරු රටට පැමිණි මොහොතේ පටන්ම ඉන්දියාව පිලිබඳ මා තුළ විශාල ආදරයක් තිබෙනවා. ඔබේ රටේ සුවිශේෂී සහ විචිත්‍ර සංස්කෘතිය, එහි සුන්දර ස්ථාන සහ වෙනත් ආකර්ශණයන් සෙසු ලෝකය සමග බෙදා ගැනීමට අප නොඉවසිල්ලෙන් සිටිනවා’ යයි ද ඇය පවසා තිබිණි.

මේ වනවිට ලෝක රූ රැජින කිරුළ දරන්නේ පෝලන්ත ජාතික කැරොලිනා බීලව්ස්කා ය. 24 හැවිරිදි ඇය මෙම කිරුළ දිනාගත්තේ 2022 වසරේ මාර්තු මාසයේ පුවෙටෝ රිකෝ හි පැවැති තරගාවලියේදී යි. මෙවර ජයග්‍රාහිකාවට කිරුළ පළඳවනු ලබන්නේ ඇය විසිනි. මෙම තරගාවලිය ප්‍රවර්ධනය කිරීම සඳහා ඇය ද පසුගිය දිනවල ඉන්දියාවට පැමිණ සිටියාය.

2023 තරගාවලියට ඉන්දියාවෙන් ඉදිරිපත් වන්නේ සිනි ෂෙට්ටි ය. තමා ඉදිරිපත්වන තරගාවලිය තම මව් රටේම පැවැත්වීම ගැන ඇය මහත් සතුටට පත්ව සිටින බව පෙනේ. 22 වැනි වියෙහි පසුවන ඇය නිරූපන ශිල්පිනියක, නිළියක, නර්තන ශිල්පිනියක ලෙස ද කටයුතු කරයි. ඇය දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ උපත ලැබූ තරුණියකි.

1996 වසරේ ලෝක රූ රැජින තරගාවලිය ඉන්දියාවේ පැවැත්වුණු අවස්ථාවේ ඊට එරෙහිව බොහෝ පාර්ශ්ව විරෝධතා දැක්වූහ. විවිධ සංස්කෘතික කණ්ඩායම් ද, ඇතැම් ස්ත්‍රීවාදී කණ්ඩායම් ද මෙලෙස විරෝධතා දැක්වූවන් අතර සිටියහ. මෙවැනි තරග ඉන්දීය සංස්කෘතියට නොගැලපෙන බව ද, මේවා අහිතකර ලිංගික ප්‍රවණතාවලට උඩගෙඩි දෙන බව ද ඇතැම් විරෝධතාකරුවන් මතු කළ තර්කයන් විය. එක් විරෝධතාකරුවකු සිය දිවි නසාගත් බවක් ද වාර්තා විය. තරගාවලිය පැවැත්වෙන ක්‍රීඩාංගනය ගිනිබත් කරන බවට ද සමහර සංවිධාන තර්ජනය කළෝය. මෙම විරෝධතා නිසා තරගකාරියන්ට විශේෂ ආරක්‍ෂාවක් ලබා දීමට පවා සිදුව තිබිණි. ඔවුන් තරු පහේ හෝටලයක රඳවා සිටි බවත්, පිටස්තර ලෝකය සමග සබඳතා පැවැත්වීමට අවසර නොවූ බවත් සඳහන් වේ. තරගකාරියන් පිහිනුම් ඇඳුමෙන් සහභාගි වන තරග පවත්වා තිබුණේ සීෂෙල්ස් දිවයිනේ යි. ලෝක රූ රැජින තරගාවලිය උපහාසයට ලක් කරමින් සමහර පාර්ශ්ව දිළිඳු රූ රැජින, නිවාස අහිමි රූ රැජින වැනි තරග ද සංවිධානය කර තිබිණි.

නිහාල් පීරිස්.

රසගඟුල