මේ වසරේ ප්‍රේක්‍ෂකයන් හමුවට ආ ෂාරුක්ගේ තුන්වැනි සිනමාපටය දැන් සිනමා ශාලාවල

2023 වසර බොලිවුඩ් සිනමාවේ ෂාරුක් ඛාන් වසර ලෙස හැඳින්වුවත් වරදක් නැත. මන්ද යත් මෙම වසර තුළ ඔහුගේ චිත්‍රපට තුනක් ම තිරගත වූ බැවිනි. ඒ අතරින් අවසන් සිනමාපටය වන ඩන්කි පසුගිය 21 වැනි දින ප්‍රදර්ශණය ආරම්භ කළේය. මේ වනවිට එය ද ඉතා සාර්ථක අන්දමින් තිරගත වන බව වාර්තා වෙයි.

මෙම සිනමා පටයේ ෂාරුක් සමග බොලිවුඩයේ තවත් ජනප්‍රිය, දක්‍ෂ නළු නිළියෝ කිහිප දෙනෙක් රඟපාති. ඒ තාප්සි පන්නු, විකී කෞෂාල්, බෝමන් ඉරානි වැනි අය යි. ඩන්කි අධ්‍යක්‍ෂණය කළේ ද ඉතාම දක්‍ෂ අධ්‍යක්‍ෂවරයකු වන රාජ්කුමාර් හිරානි ය. මෙයට පෙර ඔහු අධ්‍යක්‍ෂණය කළ 3 ඉඩියට්ස් වැනි චිත්‍රපට අතිශයින් ජනප්‍රිය වූ බව රහසක් නොවේ.

ඩන්කි චිත්‍රපටයට පසුබිම් වන්නේ මෙකල ඉතා කාලීන තේමාවකි. එය ඉන්දියාවේ සිට ලන්ඩනය බලා සංක්‍රමණය වීමට උත්සාහ කරන පිරිසක් ගැන කියැවෙන්නක් බව පැවසේ. හර්දයාල් හාඩි සිං දිලන්, බාල්ලි, බුග්ගු ලකන්පාල්, සුකි සහ මනු හොඳම මිතුරු මිතුරියන් පිරිසකි. වඩා යහපත් ජීවිතයක් සොයා ලන්ඩනය වෙත යාමට ඔවුහු සිහින මවති. ඒ වෙනුවෙන් ඔවුහු ඉංග්‍රිසි ඉගෙන ගැනීමටත්, එරට සංස්කෘතිය වටහා ගැනීමටත් පියවර ගනිති. නමුත් ඔවුන් ලන්ඩනය වෙත සංක්‍රමණය වීමට තෝරා ගන්නේ නීති විරෝධී ගමන් මාර්ගයකි. ඩන්කි යනු එහි නම යි. මෙම ගමනේ දී මෙම යහළුවෝ විශාල අභියෝගවලටත්, ජීවිතය වෙනස් කරන අත්දැකීම්වලටත් මුහුණ දෙති. චිත්‍රපටයේ කතා පුවත ගැන මාධ්‍ය තුළ සඳහන් වන්නේ එලෙසිනි.

මෙය ආදරය, මිත්‍රත්වය ඇතුළු මානුෂීය සබඳතා පිලිබඳ සංවේදී කතාවක් රැගත් ප්‍රහසන (Comedy) සිනමාපටයකි. චිත්‍රපටය නැරඹූ සිනමා විචාරකයන් පවසන්නේ එය ඉතා හැඟීම්බර සිනමාපටයක් බව ය. මෙහි ඇති වැදගත් ලක්‍ෂණයක් වන්නේ ෂාරුන් ඛාන් පසුගිය දිනවල රඟ පෑ චිත්‍රපටවල දී මෙන් ඔහුට පමණක් ප්‍රධානත්වයක් හිමි නොවීම බව එක් විචාරකයකු සඳහන් කර තිබේ. ඔහු පවසන්නේ මෙහි ඔහු සමග රඟපාන සෙසු නළු නිළියන්ගේ චරිත සහ රඟපෑම් ද බෙහෙවින් කැපී පෙනෙන බවයි. විශේෂයෙන් තාප්සි පන්නු සහ විකී කෞෂාල් යන දෙදෙනාගේ රංගනයන් ගැන ඔහු සඳහන් කර තිබිණි. ඔවුන් දෙදෙනාම ඉතා දක්‍ෂ රංගන ශිල්පීන් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

පසුගිය දිනෙක ෂාරුක් ද ඩන්කි ගැන විශේෂයෙන් කතා කර තිබිණි. ඔහු කියා තිබුණේ මෙය ඔහුගේ හොඳම සිනමාපටය බවකි. මේ වසරේ මෙයට කලින් තිරගත වූ චිත්‍රපට මෙන් නොව මෙය තමා නිශ්පාදනය කළේ තමා වෙනුවෙන්ම බවක් ද ෂාරුක් පවසා තිබිණි. ඩන්කි සිනමාපටයේ නිශ්පාදන කටයුතුවලට ෂාරුක් සහ ගෞරි ඛාන් දෙදෙනාට අයත් රෙඩ් චිලීස් එන්ටර්ටේන්මන්ට් චිත්‍රපට සමාගම ද සම්බන්ධ ය. 2023 වසරේ තිරගත වූ ෂාරුක්ගේ සෙසු චිත්‍රපට දෙක වූයේ ‘පතාන්’ සහ ‘ජවාන්’ ය. තමා ඒවා නිර්මාණය කළේ සිනමා ලෝලී තරුණ තරුණියන් වෙනුවෙන් බව ෂාරුක් පවසා තිබිණි. නමුත් ඩන්කි තමාගේ ජීවිතයට ඉතා සමීප සිනමාපටයක් බව ඔහු සඳහන් කරයි.

පසුගිය ජනවාරියේ ප්‍රේක්‍ෂකයන් හමුවට ආ පතාන් මෙන්ම සැප්තැම්බරයේ තිරගත වූ ජවාන් ද සිනමා ලෝකය වසඟයට ගැනීමට සමත් විය. සුවිසල් ආදායම් වාර්තා තබමින් ලොව පුරා තිරගත වූ මේ චිත්‍රපට දෙකම ඉන්දියානු රුපියල් කෝටි 1,000 ඉක්මවා ආදායම් උපයන්නට සමත් වීම විශේෂත්වයකි. මේ වසරේ වැඩිම ආදායම් ඉපැයූ ඉන්දියානු සිනමාපට අතර උඩින්ම සිටින්නේ පිලිවෙලින් ජවාන් සහ පතාන් සිනමාපට දෙක යි. එමෙන්ම එදා මෙදා තුර ඉන්දියානු සිනමා ඉතිහාසයේ වැඩිම අදායම් ඉපැයූ සිනමාපට ලැයිස්තුවේ 5 වැනි සහ 6 වැනි ස්ථාන දිනා ගැනීමට ද ඒවා සමත්ව තිබේ.

දෙමළ, මලයාලම්, තෙලිගු වැනි දකුණු ඉන්දියානු සිනමාවන්ට සාපේක්‍ෂව පසුගිය දිනවල යම් පසුබෑමකට ලක්ව තිබූ හින්දි සිනමාවට නව ජීවයක් එන්නත් කිරීමට ෂාරුක් ගේ මෙම සිනමාපට දෙකට හැකි විය.

මේ වසරේ තම වීරයාගේ චිත්‍රපට තුනක්ම නැරඹූ ෂාරුක්ගේ රසික රසිකාවියන් දැන් කුතුහලයෙන් යුතුව බලා සිටින්නේ එළැඹෙන 2024 වසරේ ෂාරුක් මොනවා කරනු ඇත් ද කියා ය. තමාගේ මීළඟ සිනමාපටය ගැන මේ වනවිට ෂාරුක් ද යම් ප්‍රකාශයක් කර තිබෙනු දැකිය හැකි වේ. එහි කතා පුවත වැනි විස්තර ඔහු අනාවරණය කර නැතත් මාර්තු/ අප්‍රේල් පමණ රූපගත කිරීම් ආරම්භ වනු ඇති බව පවසයි. මෙහි තමා රඟපාන්නේ තමාගේ වයසට ගැලපෙන චරිතයක් බවක් ද ෂාරුක් පවසා තිබේ. මේ වනවිට ඔහුගේ වයස අවුරුදු 58 කි. මේ අතර ෂාරුක් ඔහුගේ දියණිය සුහානා ඛාන් සමග රඟපාන සිනමාපටයක් ගැන අරංචි ද මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබෙනු දැකිය හැකි වේ.

නිහාල් පීරිස්

රසගඟුල