“යුගදනවි” ඇමරිකාවට පැවරීම ගැන ආණ්ඩුවේ මත ගැටුමක්

කෙරවලපිටිය යුග දනවි බලාගාරයේ ගෑස් නල පද්ධතිය සහ ගබඩා සංකීර්ණයේ ඉදිකිරීම් ටෙන්ඩර් පටිපාටියකින් බැහැරව අමෙරිකානු සමාගමකට ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුවට සහය දක්වන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ දේශපාලන පක්ෂවල විරෝධයක් පළ වී තිබේ. ඒ සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(23).ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ දේශපාලන පක්ෂවල රැස්වීමක් අරලියගහ මන්දිරයේදී පැවැත්විණ.
ඊට එක් වූ ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ මහතා පැවසුවේ,එකොලොස් දෙනෙකුගේ පමණ අත්සන්වලින් යුත් ලිපියක් ජනාධිපතිවරයාට භාර දීමට නියමිත බවය. එම සාකච්ඡාවේදී අගමැතිවරයාගෙන් සාධනීය පිළිතුරක් ලැබුණේ දැයි මෙහිදී අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් වැඩිදුරටත් විමසා සිටි විට ඊට පිළිතුරු ලෙස වීරවංශ අමාත්‍යවරයා සඳහන් කළේ,අග්‍රාමාත්‍යවරයා කිසිදු පාර්ශවයක මතයක නියෝජනයක් නොකට මධ්‍යස්ථව කටයුතු කළ බව ය.මේ අතර තම පක්ෂ ඉදිරිපත් කළ කරුණු පිළිබඳව මුදල් අමාත්‍යවරයා විශේෂ අවධානයක් යොමු කරනු ඇතැයි, අපේක්ෂා කරන බව ද වීරවංශ අමාත්‍යවරයා පැවසී ය.
මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසුවේ, පක්ෂ නායකයින් සාමකාමීව සාකච්ඡාව පවත්වා විසිර ගිය බවයි.

කාලීන පුවත්