රට තුළ ඉන්ධන තිබේ නම් ආයිත් පෝලිම් ඇයි? ඇමති ගෙන් පිළිතුරු

මේ වන විට ඉන්ධන පිරවුම් හල් ඉදිරියේ වාහන පෝලිම් දක්නට ලැබෙනුයේ රට තුළ පවතින ඉන්ධන හිඟයක් නිසා නොවන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අවධාරණය කරයි.වියදම් අඩුකිරීමේ අරමුණ සහිතව පසුගිය මාස හතරක කාලය තුළදී රජයේ නිවාඩු දිනවල සහ ඉරිදා දිනවල ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ක්‍රියාත්මක නොවූ මුත් මෙම සතියේ සෙනසුරාදා සහ ඉරිදා දිනවල ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව සිදුකරන ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය වෙත උපදෙස් ලබා දී ඇති බව ද ඇමති වරයා කියයි.මේ අතර ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ඉන්ධන මිල අඩුවීමේ බලාපොරොත්තුව සහිතව ඇතැම් ඉන්ධන පිරවුම්හල් පසුගිය සෙනසුරාදා සිට ඉන්ධන ඇනවුම් සිදුනොකිරීම සහ අවම තොග පවත්වාගෙන නොයාම හේතුවෙන් ද මේ වනවිට ඉන්ධන පිරවුම්හල් වල හිඟයක් නිර්මාණය වී ඇති බවයි.එසේම ඉන්ධන කෝටාව ඉහළ දැමීමත් සමඟ ක්ෂණිකව ඉන්ධන පාරිභෝගිකයින්ගේ ඉල්ලුම ඉහළ යාම ද මෙලෙස ඉන්ධන හිඟයක් ඇතිවීමට හේතුවී තිබෙන බව ද අමාත්‍යවරයා පවසයි.කෙසේ වෙතත් ඉන්ධන හිඟයක් සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කර නොගත යුතු බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මීට පෙර නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.අමාත්‍යවරයා සඳහන් කළේ, ඛනිජ තෙල් සංස්ථාව සහ ලංකා IOC සමාගම සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව ය.ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා තව දුරටත් සඳහන් කළේ අලෙවි නියෝජිතයින් විසින් සියයට 50ක අවම ඉන්ධන තොගයක් සෑම විටම පවත්වාගෙන යායුතු වන අතර ඒ ආකාරයෙන් කටයුතු නොකරන ඉන්ධනහල් සමාලෝචනය කර ඔවුන්ගේ බලපත්‍ර අත්හිටුවන ලෙස ඛනිජ තෙල් සංස්ථාව වෙත දැනුම් දුන් බවය.

කාලීන පුවත්