80 හැවිරිදි ජෝ බයිඩ්න් වේදිකාවක් මත ඇද වැටෙයි

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් වේදිකාවක් මත ඇද වැටීමේ සිද්ධියක් මාධ්‍ය තූළ විශාල අවධානයක් දිනාගෙන තිබිණි. මේ වනවිට 80 වැනි වියෙහි පසුවන බයිඩ්න් එරට ජනාධිපති ධුරයට පත් වූ වියපත්ම පුද්ගලයා ලෙස ද වාර්තාවක් පිහිටුවා තිබේ. 2024 වසරේ පැවැත්වීමට නියමිත මීළඟ ජනාධිපතිවරණයට ද තමා ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බව ඔහු පසුගිය දා නිල වශයෙන් නිවේදනය කළේය. නමුත් ඔහුගේ වයස අනුව නැවත මෙම භාරදූර තනතුර හෙබවීමට ඔහු සුදුසු ද යන්න සම්බන්ධයෙන් ඇමරිකාව තුළ මේ වනවිට කතාබහක් තිබේ. බයිඩ්න් වේදිකාව මත ඇද වැටීමේ සිද්ධිය සිදු වූයේ මෙවැනි පසුබිමක් තුළ ය.

ජුනි 01 වැනි දින මෙම සිදුවීම වූයේ කොලරාඩෝ ප්‍රාන්තයේ පිහිටි ගුවන් හමුදා ඇකඩමියක ඩිප්ලෝමා සහතික පිරිනැමීමේ උත්සවයකදී යි. මෙම උත්සවයේ දී ඩිප්ලෝමාලාභීන් 900 කට අධික සංඛ්‍යාවකට එම සහතික පිරිනමා තිබිණි. ඔවුන්ට සහතික පිරිනමමින් සහ අතට අත දෙමින් ජනාධිපතිවරයාට පැය එකහමාරකට ආසන්න කාලයක් වේදිකාව මත සිටගෙන සිටින්නට සිදුව තිබූ බව සඳහන් වේ. ඔහු ඇද වැටී තිබුණේ සහතික පිරිනැමීමෙන් පසු නැවත සිය අසුන කරා ගමන් කිරීමට සූදානම් වෙද්දී ය. වේදිකාව මත තිබූ ටෙලිප්‍රොම්ප්ටරයක් නොවැටී තිබීම සඳහා තබා තිබූ කුඩා වැලි ගෝනියක ජනාධිපතිවරයාගේ පය පැකිලී තිබූ බව මාධ්‍ය සඳහන් කර තිබිණි. ටෙලිප්‍රොම්ප්ටරය නොවැටී තිබුණත් ජනාධිපතිවරයාට වැටෙන්නට සිදු විය.

නැවත ධවල මන්දිරය වෙත පැමිණීමෙන් පසු ජනාධිපතිවරයා සිනාසෙමින් සිද්ධිය ගැන සිහිපත් කරමින් මාධ්‍යවේදීන් හමුවේ විහිළු කර තිබූ බව සඳහන් වේ. ඔහුට කිසිදු තුවාලයක් සිදුව නැති බව ද ධවල මන්දිරයේ ප්‍රකාශකයකු පවසා තිබිණි.

මෙය සුළු සිද්ධියක් වුවත් බයිඩ්න්ගේ වයස ගැන ඇතිව තිබෙන සංවාදයට මෙයින් නැවතත් උත්තේජනයක් ලැබී ඇති අයුරු දැකිය හැකි වේ. ඔහු මෑත කාලයේ මේ ආකාරයෙන් ඇද වැටුණු පළමු අවස්ථාව මෙය නොවේ. මාස කිහිපයකට පෙර බයිඩ්න් තම පෞද්ගලික නිවස පිහිටි ඩෙලවෙයාර් ප්‍රාන්තයේ ව්‍යායාම පිණිස බයිසිකල් පදිමින් සිටිය දී ද ඇද වැටීමක් සිදු විය. එය සිදු වූයේ මාර්ගය අයිනේ රැඳී සිටි පිරිසක් සමග කතා කිරීම සඳහා ඔහු බයිසිකලය නතර කිරීමට සූදානම් වෙද්දී ය. එම අවස්ථාවේ පාදයක් බයිසිකලයේ පැඩල ආවරණයේ සිර වීම නිසා ඇද වැටීම සිදුව තිබිණි. එදින ජනාධිපතිවරයා ව්‍යායාම පිණිස බයිසිකල් පදිමින් සිටියේ ඔහුගේ බිරිඳ ජිල් බයිඩ්න් ද සමග ය. තවත් අවස්ථාවක සිය ගුවන් යානයට නගිමින් සිටිය දී ද ඔහු එහි පඩිපෙල මත ඇද වැටුණේය.

මේ වනවිට 80 වැනි වියෙහි සිටින බයිඩ්න් මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වී එයින් ජයගතහොත් 2025 වසරේ දෙවැනි ධුර කාලයේ වැඩ පටන් ගන්නා විට ඔහුගේ වයස අවුරුදු 82 ක් වනු ඇත. එම ධුර කාලය අවසන් කරන විට අවුරුදු 86 ක් වනු ඇත. මෙතරම් වියපත් කෙනෙකු ජනාධිපති පදවිය සඳහා සුදුසු නොවන බව ඇතැම් පාර්ශ්වවල අදහස වී තිබේ. මෙම කාරණය ගැන ඇමරිකානු ඡන්දදායකයන්ගේ ද ලොකු අවධානයක් යොමු වෙයි. මේ සම්බන්ධයෙන් මෑතක පවත්වන ලද ජනමත සමීක්‍ෂණයකට සහභාගි වූවන්ගෙන් සියයට 68 ක් පවසා තිබුණේ බයිඩ්න්ගේ වයස නිසා නැවත ජනාධිපති ධුරය දැරීමට ඔහු නුසුදුසු බවයි. ඇමරිකාවේ වැඩිහිටි ජනතාව ඔහුට ඡන්දය දුන්නත් තරුණ පරපුර එතරම් ආකර්ශණය කර ගැනීමට ඔහුට නොහැකි වනු ඇති බව පෙනේ. නමුත් බයිඩ්න් අයත්වන ඩිමොක්‍රටික් පක්‍ෂයෙන් වෙනත් කිසිදු ප්‍රබල අපේක්‍ෂකයකු 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවක් තවම ප්‍රකාශ කර නැත. එම තත්ත්වය තුළ ඩිමොක්‍රටික් ඡන්දදායකයන්ට ඔහු හැර වෙනත් විකල්පයක් නැති වීමට ඉඩ තිබේ.

මේ අතර ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය ද මේ වනවිට තරමක් පහත වැටී ඇති බව වාර්තා වේ. ඒ පිලිබඳව කළ සමීක්‍ෂණයකට අනුව ඔහු ධුරයේ කටයුතු කරන ආකාරය අනුමත කර තිබුණේ සියයට 40 ක ප්‍රතිශතයක් පමණි. සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ඔහු අනුගමනය කරන පියවර සහ උද්ධමනය සම්බන්ධයෙන් ගන්නා පියවර බොහෝ දෙනාගේ විවේචනයට ලක්වන බව සඳහන් ය.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර