ලංකාවටත් සම්බන්ධ චිත්‍රපටයක් නිසා ඉන්දීය අධ්‍යක්‍ෂවරයකුට මරණ තර්ජන

 

ලංකාවට ද යම් සම්බන්ධයක් ඇති චිත්‍රපටයක් නිසා ඉන්දියාවේ සිනමා අධ්‍යක්‍ෂවරයකුට සහ තිරනාටක රචකයකුට මේ දිනවල මරණ තර්ජන එල්ල වී ඇති බව වාර්තා වේ. මේ ආකාරයෙන් තර්ජන එල්ල වී ඇත්තේ මෙයට ටික දිනකට පෙර ප්‍රදර්ශණය ආරම්භ කළ ‘ආදිපුරුෂ්’ චිත්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා වන ඕම් රාවුත්ට සහ තිරනාටක රචක මනෝජ් මුන්තෂිර්ට ය.

පසුගිය 16 වැනි දින ප්‍රදර්ශණය ආරම්භ කළ ‘ආදිපුරුෂ් ඉන්දියාවේ සුප්‍රකට සාහිත්‍ය කෘතියක් වන ‘රාමායනය’ ඇසුරෙන් නිර්මාණය කළ සිනමාපටයකි. ඊට පසුබිම් වන්නේ රාම-රාවණ යුද්ධය පිලිබඳ කතාව යි. මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නේ බාහුබලී වැනි චිත්‍රපට තුළින් අතිශයින් ජනප්‍රිය වූ තෙලිගු සිනමා නළු ප්‍රභාස් ය. ඔහු නිරූපනය කරන්නේ රාම කුමරුගේ චරිතය යි. ප්‍රභාස් වැනි විශාල රසික කැලක් සිටින නළුවකු රඟපෑව ද, රාමායනය වැනි අතිශයින් ජනප්‍රිය සාහිත්‍ය කෘතියක් ඇසුරෙන් නිර්මාණය කළ ද මේ වනවිට ‘ආදිපුරුෂ්’ ප්‍රේක්‍ෂකයන්ගෙන් ප්‍රතික්‍ෂේප වී ඇති බව සඳහන් වන අතර ඊට එරෙහිව දැවැන්ත විරෝධතාවක් ද මතු වී තිබේ.

මෙම විරෝධතාව මතුව තිබෙන්නේ එයින් හින්දු ආගමික චරිතවලට නිගරුවක් සිදුවන්නේ ය යන චෝදනාව නිසා ය. විශේෂයෙන් මෙම චිත්‍රපටය තුළ රාම කුමරුගේ චරිතය නිරූපනය කර ඇති ආකාරය ගැන හින්දු ආගමික කණ්ඩායම්වලින් දැඩි විරෝධයක් එල්ල වී තිබේ. එමෙන්ම දෙබස් රචනා කර ඇත්තේ ද එම චරිතවලට නිගරු වන ආකාරයෙන් බවට මෙම කණ්ඩායම් චෝදනා කරති. ඔවුන් තවදුරටත් පවසන්නේ මෙම චරිත ඉදිරිපත් කර ඇති ආකාරය සහ රාමායනයේ එම චරිත ඉදිරිපත්වන ආකාරය අතර විශාල වෙනසක් ඇති බවයි. මෙම චිත්‍රපටය මහජන ප්‍රදර්ශණය සඳහා ඉදිරිපත් කිරීමට අවසර නොදෙන ලෙස කළ ඉල්ලීම් ද පසුගිය දිනවල දැකිය හැකි විය. ඇතැම් කණ්ඩායම් ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවට පවා ගොස් තිබිණි.

ක්‍ෂත්‍රිය කාර්නි සේනා යනු ‘ආදිපුරුෂ්’ ට එරෙහිව දැඩි විරෝධයක් දක්වන හින්දු කණ්ඩායමකි. එහි සභාපතිවරයා වන රාජ් ශේකාවත් පසුගිය දා ඉතා දරුණු ප්‍රකාශයක් කර තිබෙනු දැකිය හැකි විය. ඔහු පවසා තිබුණේ මෙහි නිර්මාණකරුවන් ඝාතනය කිරීමට සැලසුම් කරන බවයි. ‘අපි මෙහි අධ්‍යක්‍ෂවරයා මරා දමනවා. අපි මේ සඳහා කණ්ඩායමක් පත් කිරීමට අදහස් කරනවා. ඔවුන්ට අපි කියනවා ආයුධ අරගෙන ගිහිල්ලා ඔවුන්ව හොයාගෙන මරා දමන්න කියලා’ සභාපතිවරයා මෙසේ පවසා තිබුණේ මාධ්‍ය සාකච්ඡාවක් ද කැඳවමිනි.

මෙම තත්ත්වය තුළ ‘ආදිපුරුෂ්’ අධ්‍යක්‍ෂ ඕම් රාවුත්ට සහ තිරනාටක රචක මුන්තෂිර්ට පොලිස් ආරක්‍ෂාව ලබා දී ඇති බව ද මාධ්‍ය වාර්තා කර තිබිණි.

චිත්‍රපටයේ රාවණ රජු නිරූපනය කර ඇති ආකාරය සම්බන්ධයෙන් ද චෝදනා නැගේ. ඔහුගෙන් පළවන්නේ ලංකා දේශයේ රජ කෙනෙකුගේ ස්වරූපයට වඩා මූගල් රජ කෙනෙකුගේ ස්වරූපයක් බව බොහෝ දෙනා පෙන්වා දී තිබිණි. මූගල් යනු මුස්ලිම් රාජ වංශයකි. ඉන්දියාව තුළ පවතින හින්දු-මුස්ලිම් විරසකය නිසා රාවණට එවැනි පෙනුමක් ලබා දුන් විට ප්‍රේක්‍ෂකයන් තුළ වැඩි බලපෑමක් ඇති කිරීමට හැකි වනු ඇතැයි චිත්‍රපට කණ්ඩායම කල්පනා කළා විය හැකිය. රාවණ රජුගේ චරිතයට පණ දෙන්නේ ජනප්‍රිය බොලිවුඩ් නළු සයිෆ් අලි ඛාන් ය.

මේ අතර ‘ආදිපුරුෂ්’ චිත්‍රපටයේ දෘශ්‍ය ප්‍රයෝග (Special Effects) සම්බන්ධයෙන් ද විශාල වශයෙන් විවේචන එල්ල විය. අද වනවිට බොහෝ චිත්‍රපටවල මෙවැනි දෘශ්‍ය ප්‍රයෝග ඉතා ඉහළ මට්ටමේ පවතින බව අමුතුවෙන් කිව යුතු නොවේ. එවැනි පසුබිමක් තුළ බාල ගණයේ ප්‍රයෝග භාවිත කරන සිනමාපටයකට වර්තමාන ප්‍රේක්‍ෂකයන්ගෙන් සමාවක් නොලැබෙනු ඇත. චිත්‍රපටයේ පළමු පූර්ව ප්‍රචාරක පටය නිකුත් වූ අවස්ථාවේම එහි දෘශ්‍ය ප්‍රයෝගවලට ප්‍රේක්‍ෂකයන්ගේ අප්‍රසාදය පළ වී තිබෙනු දැකිය හැකි විය. ඒ නිසා එම දෘශ්‍ය ප්‍රයෝග වැඩි දියුණු කිරීම සඳහා නිශ්පාදකයන් ඉන්දීය රුපියල් කෝටි 100 ක් පමණ වැඩිපුර වියදම් කර තිබිණි. ‘ආදිපුරුෂ්’ සඳහා වැය කළ සම්පූර්ණ මුදල ඉ. රුපියල් කෝටි 500 ක් (ලංකා රුපියල් කෝටි 1900 ක්) පමණ බව සඳහන් වේ. කෙසේ නමුත් මෙම මුදල උපයා ගැනීමට ඊට හැකි වේවි ද යන්න සැක සහිත බව සිනමා කර්මාන්තය පිලිබඳ විශාරදයන්ගේ අදහස යි. ප්‍රධාන නළු ප්‍රභාස්ට ඉ.රුපියල් කෝටි 100 ක් ගෙවීමට එකඟ වී ඇති බවක් ද ඇතැම් මාධ්‍ය වාර්තාවල පළ වී තිබිණි.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර