ලෝකයේ ජනගහණය වැඩිම රට දැන් චීනය නොවේ !

ලෝකයේ ජනගහණය වැඩිම රට ලෙස සැලකුණේ චීනය බව කවුරුත් දන්නා කාරණයකි. නමුත් එරට තවදුරටත් එම වාර්තාවට හිමිකම් නොකියන බව වාර්තා වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අලුත්ම ඇස්තමේන්තුවලට අනුව මේ වනවිට ලෝකයේ ජනගහණය වැඩිම රට චීනය නොව ඉන්දියාව යි. එකී ඇස්තමේන්තුවලට අනුව මේ වෙද්දී ඉන්දියාවේ ජනගහණය 1,425,775,850 කි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝකයේ රටවල ජනගහණයන් ගැන වාර්තා තබා ගැනීම ආරම්භ කළේ 1950 වසරේ යි. එදා පටන්ම ලොව ජනගහණය වැඩිම රට ලෙස වැජඹුණේ චීනය යි. වෙනත් රටක් චීන ජනගහණය පසු කර ගිය පළමු වතාව මෙය යි.

1961 වසරෙන් පසු පළමු වතාවට පසුගිය වසරේ චීනයේ ජනගහණය අඩු විය. එවැන්නක් සිදු වන්නේ යම් වසරක් තුළ උපත් සංඛ්‍යාවට වඩා මරණ සංඛ්‍යාව වැඩි වූ විට ය. චීනය තුළ මෙවැනි තත්ත්වයක් ඇති වීමට ප්‍රධාන හේතුව ලෙස ජනගහණ විශේෂඥයන් පෙන්වා දෙන්නේ කොවිඩ් වසංගතයේ බලපෑමයි. කොවිඩ් වසංගතය ආර්ථිකය මත ඇති කරන ලද බලපෑම නිසා බොහෝ දෙනෙකුට ආදායම් අහිමි විය. මේ නිසා බොහෝ තරුණ තරුණියන් විවාහ වීම කල් දැමූ අතර අඹුසැමියෝ දරුවන් හැදීමෙන් වැලකී සිටියෝය.

1982 වසරේ පටන්ම චීනයේ ජනගහණය බිලියනය ඉක්මවා පැවතිණි. නමුත් 2100 වනවිට එරට ජනගහණය පළමු වතාවට බිලියනයෙන් පහතට වැටෙනු ඇති බවට ගණන් බලා තිබේ.

රටක ජනගහණය වුවමනාවට වඩා වැඩි වීම මෙන්ම වුවමනාවට වඩා අඩු වීම ද ගැටලු ඇති කරන කාරණා ය. ජනගහණය වුවමනාවට වඩා වැඩි වූ විට එහි බර දරා ගැනීම ආර්ථිකයට අසීරු වෙයි. ජනතා සුබ සාධනය සඳහා වැය කළ යුතු ප්‍රමාණය ඉහළ යාම වැනි ප්‍රශ්න ඇති වන බැවිනි. අනෙක් අතට ජනගහණය වුවමනාවට වඩා පහත වැටීමට පටන් ගත් විට ද විවිධ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදු වේ. එහිදී රටේ ආර්ථිකයට දායක විය නොහැකි වියපත් පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉහළ යන අතර ඔවුන් නඩත්තු කිරීමට සිටින තරුණයන්ගේ සංඛ්‍යාව පහත වැටේ. මෙය ද රටකට ආර්ථික වශයෙන් විශාල පීඩනයක් ඇති කරන්නකි. චීනය මේ වනවිට මෙම ගැටලුවට මුහුණ දෙමින් සිටින බව වාර්තා වේ

ඉන්දියාවේ ජනගහණය පසුගිය කාලයේ වේගයෙන් වර්ධනය වනු දැකිය හැකි විය. 1950 න් පසු එරට ජනගහණය බිලියනයකින් පමණ වැඩි වී ඇති බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. ජනගහණය වැඩි වීමේ වේගය පසුගිය කාලයේ එරට බලධාරීන් තුළ යම් නොසන්සුන්තාවක් ද ඇති කර තිබිණි. නමුත් මේ වනවිට එම වේගය යම් දුරකට පාලනය වී තිබේ. නමුත් තවමත් ඉන්දීය ජනගහණය අඛණ්ඩව ඉහළ යමින් පවතී. 2064 වසර වනවිට එය බිලියන 1.7 ක් පමණ වනු ඇතැයි විශ්වාස කෙරේ.

කලකට පෙර ඇස්තමේන්තු කර තිබූ ආකාරයට ඉන්දියාවේ ජනගහණය චීන ජනගහණය ඉක්මවා යනු ඇතැයි බලාපොරොත්තු වූයේ 2027 වසරේ ය. නමුත් ඊට වසර 4 කට කලින් ඉන්දියාව චීනය පසුකර ගොස් තිබේ.

ඉන්දියානු ජනගහණයෙන් සියයට 47 ක්ම වයස අවුරුදු 25 ට අඩු අය යි. තරුණ ජනගහණය මෙවැනි ඉහළ ප්‍රතිශතයක් ගැනීම ඉන්දියාවට ආර්ථික වශයෙන් ද විශාල වාසියක් අත් කර දී තිබේ.

කෙසේ නමුත් මේ වනවිට ඉන්දියාවේ ජනගහණය ගැන ඇස්තමේන්තු විනා නිශ්චිත සංඛ්‍යා ඉදිරිපත් නොවේ. 2021 වසරේ කිරීමට නියමිතව තිබූ එරට ජන සංගණනය සිදු කෙරුණේ නැත. කොවිඩ් වසංගත තත්ත්වය නිසා එය කල් දමනු ලැබිණි. මීළඟ සංගණනය සිදු කරන දිනයක් ගැන තවම තීරණය කර නොමැත.

ලෝකයේ ජනගහණය අතින් තුන්වැනි තැන සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදය යි. අලුත් වාර්තාවලට අනුව එරට ජනගහණය මිලියන 339 කි. ඉන්දියාවට සහ චීනයට සාපේක්‍ෂව ඇමරිකාව සිටින්නේ බොහෝ පසුපසිනි. මෙම ලැයිස්තුවේ සිව් වැනි ස්ථානයේ සිට 10 වැනි ස්ථානය දක්වා හිමි කරගෙන සිටින රටවල් මෙසේය:

4 ඉන්දුනීසියාව මිලියන 277
5 පකිස්තානය මිලියන 239
6 නයිජීරියාව මිලියන 222
7 බ්‍රසීලය මිලියන 216
8 බංග්ලාදේශය මිලියන 172
9 රුසියාව මිලියන 144
10 මෙක්සිකෝව මිලියන 128

ලෝකයේ ජනගහණයෙන් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් සිටින්නේ ඉන්දියාවේ සහ චීනයේ ය. පසුගිය වසර 70 කට ආසන්න කාලයක් තිස්සේ මෙම තත්ත්වය දැකිය හැකි වේ.

නිහාල් පීරිස්

අරුමැසි පුවත්