මෙවර වෙසක් උළෙලේ ආලෝකය අඩු වුණේ ඇයි?

wesak-alokaya

බුදුවරයෙකු ලොවට පහළ වීම මෝහාන්ධකාරයෙන් වැසී තිබුණු ලෝකයට ආලෝකයක් බව බුද්ධ භාෂිතයක් වන දම්සක් පැවතුම් සූත්‍රයේ සඳහන් වෙයි. ‘පඤ්ඤා උදපාදි – ආලෝකෝ උදපාදි’ යනුවෙන් එහි සඳහන් වන්නේ එයයි. මෙය අප සාමාන්‍යයෙන් දකින භෞතික ආලෝකය නොවුනත්, බුදුවරයකුගේ පහළ වීම නිසා මුළු මහත් ලෝ තලයම මෝහාන්ධකාරයෙන් මිදීම හේතු කොට ගෙන අවසානයේ ලෝකය භෞතිකව ද ආලෝකවත් වෙයි. මේ නිසාම බුදුන් වහන්සේගේ තෙමඟුල සිහි කෙරෙන වෙසක් පුන් පොහෝ දිනය මුළු ලොවම ආලෝකයෙන් සරසන ආලෝක පූජාවක් ලෙස සමරන්නට ලොව පුරා බොදුනුවෝ අනාදිමත් කාලයක සිට ම පුරුදු වී සිටියහ. එය අප රටේ ද අති උත්කර්ෂවත් ලෙස සිදුවෙයි. අප දන්නා ඉතිහාසයේ සිට ම නිවෙස් මට්ටමින් විවිධ වෙසක් කූඩු සහ මහා පරිමාණ මට්ටමින් විශාල කූඩු, තොරණ ආදිය බොහෝ ඉදි වීම සාමාන්‍ය දෙයක් විය. නමුත් මෙවර වෙසක් සැමරුම සම්බන්ධයෙන් අපට ඒ පිළිබඳ කතා කරන්නට සිදුව ඇත්තේ වෙනස් ආකාරයකට ය.

මෙවර වෙසක් උත්සවයේ යම් පිබිදීමක් පෙන්නුම් කළ ද නිවෙස් මට්ටමින් පවා වෙසක් කූඩු, ව්‍යාපාරික මට්ටමින් තොරණ ආදිය ඉදිකිරීමේ සැලකිය යුත් අඩුවක් සිදුව ඇති බව පෙනේ. මෙයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ මේ සඳහා යොදා ගැනෙන අමුද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාමට වඩා ඉතිහාසයේ නොවූ විරූ ලෙස ඉහළ දැමුණු විදුලි බිල ය. විදුලි බිල දෙතුන් ගුණයකින් ඉහළ ගොස් ඇති තත්ත්වයක් තුළ තොරණ සංවිධායකයන් පවසන්නේ මේ සඳහා වැය වන වියදම සැහැදැවතුන්ගෙන් ලැබෙන ආධාර මුදල්වලින් හෝ පියවා ගත නොහැකි තත්ත්වයක පවතින බව ය. ඩීසල් ද පෙර වසරවලට වඩා ඉහළ මිල මට්ටමකින් පවතින බැවින් විදුලි ජනක යන්ත්‍ර යොදා හෝ තොරණ ප්‍රදර්ශනය කිරීම දරා ගත නොහැකි තත්ත්වයක් වී තිබේ. මේ නිසා සැදැහැවතුන්ට බුදුන් වහන්සේ වෙනුවෙන් තුන් සිත පිරී යන තරමට ආලෝක පූජා පවත්වන්නට නොහැකි වී තිබෙන බැව් පෙනෙන්නන්ට තිබේ.

ඉහළ දමා ඇති විදුලි බිල මොනයම් ආකාරයකින් හෝ නැවත පැවති බිල් සැකසුම් ආකෘතිය දක්වා වෙනස් වේ යැයි අපට සිතන්නට හැකියාවක් නැත. එබැවින් ඉදිරියේ දී මෙයට ද වඩා දුෂ්කර තත්වයක් බලාපොරොත්තු වනවා හැර වෙනත් විකල්පයක් නැත. නමුත් විකල්පයක් නැතැයි කියා ද පැවසිය නොහැකි ය. මන්ද අප සාමාන්‍යයෙන් දන්නා තාප සහ ගල් අඟුරුවලින් නිපදවෙන විදුලිය හැරුණු විට ‘පුනර්ජනනීය බලශක්තිය’ (Renewable energy) යනුවෙන් හඳූන්වන සංකල්පයක් තිබේ. අප රටේ ‘සුනිත්‍ය බලශක්ති අධිකාරිය’ (Sri Lanka Sustainable Energy Authority) පිහිටුවා ඇත්තේ මේ සඳහා ය. එහි අරමුණ වන්නේ තාප සහ ගල් අඟුරු හැරුණු විට වෙනත් ස්වාභාවික බලශක්ති මූලාශ්‍ර ඔස්සේ විදුලිය නිපදවා ගැනීමය. ජලය, සූර්ය ශක්තිය, සුළඟ සහ මුහුද තරංග මූලික වශයෙන් මෙයට ඇතුළත් වෙයි. මේ අතරින් අප රටේ ජල විදුලිය නිපදවීම සිදුවුව ද එය සමස්ත විදුලි බල ඉල්ලුම සපුරාලන්නට ප්‍රමාණවත් වන්නේ නැත. තාප සහ ගල් අඟරු විකල්ප සඳහා ගමන් කරන්නට සිදුව ඇත්තේ මේ නිසා ය. ඊට අමතරව මෑතක සිට සූර්ය ශක්තිය සහ සුළං මගින් විදුලිය ජනනය කිරීම ද අප රටේ සිදුවෙමින් පවතී.

මේ අතරින් සූර්ය ශක්තිය වැඩි වශයෙන් වර්ධනය කිරීමේ හැකියාවක් දක්නට ලැබුණ ද පොදුවේ නැගෙන චෝදනාව වන්නේ බලශක්ති අංශයේ සිටින උසස් නිලධාරීන් මෙවැනි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සාර්ථක කරගන්නට බාධාවන් ඇති කරන බව ය. පුනර්ජනනීය බලශක්තිය සැලකිල්ලට ගතහොත් ඒවා සඳහා දැරිය යුත්තේ මූලික වියදමක් පමණි. නඩත්තු වියදම සැලකිල්ලට ගතහොත් එය තාප සහ ගල් අඟුරු බලාගාරවලට වැය කරන්නට සිදුවන නඩත්තු වියදමට වඩා ඉතාමත් අඩු ය. එබැවින් නඩත්තු කටයුතුවල දී විශාල වශයෙන් මුදල් හුවමාරු නොවන තත්ත්වයක් තුල මේ චෝදනා කෙරෙන ආකාරයට බලධාරීන්ට ඒවායෙන් කොමිස් ලබාගැනීමේ හැකියාව අඩු ය. නමුත් තාප සහ ගල් අඟුරු බලාගාරවල තත්ත්වය මෙයට හාත්පසින්ම වෙනස් ය.

ඒවා නඩත්තු කිරීම සඳහා මූලික වශයෙන් ඩීසල්, දැවි තෙල්, ගල් අඟුරු නිරන්තරයෙන් සැපයිය යුතුය. ඒ කිසිවක් අප රටේ නිෂ්පාදනය නොවන බැවින් වෙනත් රටවලින් ආනයනය කරගත යුතුය. ඒ රටවල සිට අප රටේ විදුලි බලාගාරයක් දක්වා මේවා පැමිණීමේ ක්‍රියාවලිය තුළ විශාල මුදල් ප්‍රමාණයක් හුවමාරු වන අතර වංචාවන්, කොමිස් ගැනීම් ද විශාල වශයෙන් සිදුවන බවට බොහෝ කාලයක සිට චෝදනා එල්ල වෙයි. විදුලි බල මණ්ඩලයේ ඇතැම් විදුලි ඉංජිනේරුවන් විශ්‍රාම යාමෙන් පසු පෞද්ගලික විදුලි ජනක යන්ත්‍ර මිල දී ගෙන අප රටේ විදුලි අර්බුදයක් ඇති වන සෑම අවස්ථාවක දීම වැඩි ගණනට විදුලිය අළෙවි කොට ලාබ ලබන බවට ද චෝදනා අසන්නට ලැබේ. එබැවින් මේ ආයතනවල සිටින උසස් බලධාරීන් පුනර්ජනනීය විදුලි බල ව්‍යාපෘති කෙරෙහි දක්වන්නේ කුඩම්මාගේ සැලකිලිය. ඒවායේ නඩත්තු වියදම ඉතා අවම මට්ටමක පැවතීම නිසා කොමිස් ගැනීම සිදුකරන්නට නොහැකි ය.

ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක්ම අප රටේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ආරම්භ කරන්නට කැමැත්ත පළකොට තිබුණ ද බලධාරීන් මේවා පිළිබඳ දක්වා ඇත්තේ ඇල්මැරුණු ප්‍රතිචාරයන් ය. ඔවුන් මේ සඳහා ශක්‍යතා වාර්තා සකස් කොට රජයට ඉදිරිපත් කරන්නේ ඒවා ක්‍රියාත්මක කිරීමෙන් පලක් නොමැති බව ඇඟවෙන පරිදි ය. නමුත් ඉන්දියාව, චීනය ආදී රටවල් සූර්ය ශක්තියෙන් විශාල වශයෙන් ප්‍රයෝජන ගන්නා බව අන්තර්ජාලය මදක් පරිශීලනය කිරීමෙන් ඕනෑම අයෙකුට දැකගත හැකිය.

අප රටේ නිවෙස් මට්ටමින් විදුලි බල මණ්ඩලය හා එක්ව ක්‍රියාත්මක කෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ද ගමන් කරන්නේ ඉතා මන්දගාමීව ය. ඒවාට අදාළ ව විදුලි බල මණ්ඩලය පාර්ශ්වයෙන් සිදුවිය යුතු කාර්යයන් ඉතා මන්දගාමී බව බොහෝ දෙනෙක් පවසති. මේ සියල්ල තුළින් පෙන්නුම් කෙරෙන්නේ අප රටේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කෙරෙහි ඇති ඇල්මැරුණු ස්වභාවය ය. අනාගත ලෝකය රඳා පවතින්නේ පුනර්ජනනීය බලශක්තිය මත වුව ද අප රටේ බලධාරීන්ට තවම ඒ පිළිබඳ දැක්මක් ඇති කරගැනීමට අවශ්‍යතාවක් නැත.

මෙවැනි තත්ත්වයක් තුළ එලැඹෙන වසරවල බුදු තෙමඟුල ආලෝකයෙන් බැබලීම පිළිබඳ අප ඉදිරියේ ඉතිරි වන්නේ ගැටලුවකි. මන්ද අප රටේ බලධාරීන් තවමත් විශ්වාසය තබාගෙන සිටින තාප සහ ගල් අඟුරු මූලාශ්‍රයන් වසරින් වසර මිල අධික තත්ත්වයකට පත්වනවා මිස අඩුවීමක් නොවන බැවිනි. වෙසක් කූඩු සහ තොරණ ඉතිහාසයට එක් වී අනාගත ආලෝක පූජාවන් පොල් තෙල් පහන් දක්වා සීමාවුවහොත් එය පුදුමයට කරුණක් නොවනු ඇත.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර