විදුලිබල හා බලශක්ති ඇමති මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිට එරෙහිව නඩු මඟට

ආනයන කළ බොරතෙල්වල ගුණාත්මක භාවය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා නැඟූ චෝදනාවලට එරෙහිව ලංකා ඛනිජතෙල් සංස්ථාව නීතිමය පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.මෙරටට ආනයනය කර ඇති බොරතෙල් ප්‍රමිතියෙන් තොර වීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් ලැබෙන දැවි තෙල් විදුලි ජනනයට යොදාගත නොහැකි වී ඇතැයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය. එම බොර තෙල්වලින් වැඩි වශයෙන් නිපදවිය හැක්කේ දැවි තෙල් බවත් එම දැවි තෙල්වල සර්ෆර් ප්‍රතිශතය 3% ක් තිබෙන නිසා වෙස්ට්කෝස්ට් බලාගාරය සඳහා භාවිත කළ නොහැකි බව ජනක රත්නායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.විදුලි කප්පාදු කාලසීමාව විදුලිබල මණ්ඩලයේ ඉල්ලීම පරිදි දීර්ඝ කළේ ලක්ෂපාන බලාගාරයේ දෝෂයක් ඇතිවීම සහ ඩීසල් සහ දැවි තෙල් මිලදී ගැනීමට විදුලිබල මණ්ඩලයට ප්‍රමාණවත් මුදල් නොමැතිකම සහ ජල විදුලි නිෂ්පාදනය කළමනාකරණය කිරීම වැනි කරුණු නිසා බව ඇමැතිවරයා ට්විටර් පණිවිඩයක් මඟින් සඳහන් කර තිබේ. ඛනිජ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් තරම් ඩීසල් සහ දැවි තෙල් සංචිත තිබෙන බවද ඇමැතිවරයා කියයි.

කාලීන පුවත්