විලියම් කුමරු ගේ අනියම් ප්‍රේමයක් ගැන කතාවකින් බ්‍රිතාන්‍ය මාධ්‍ය උණුසුම් වෙයි

vinivida

බ්‍රිතාන්‍යයේ මීළඟට රජ වීමට සිටින විලියම් කුමරුගේ අනියම් ප්‍රේමයක් ගැන කතාවකින් පසුගිය දිනවල එරට මාධ්‍ය උණුසුම් වූ ආකාරයක් දැකිය හැකි වුණා. මේ කතාව හදිසියේම මතු වූයේ විලියම්ගේ බිරිඳ වන කේට් මිඩ්ල්ටන් දැන් ටික කලෙක සිට ප්‍රසිද්ධියේ දකින්නට නොලැබීමේ තත්ත්වය නිසා යි.
ඇය මේ ආකාරයෙන් දකින්නට නැත්තේ උදරයේ බරපතල සැත්කමකට මුහුණ දී විවේක ගනිමින් සිටින නිසා බවයි රජ මාලිගය දැනුම් දුන්නේ. කේට්ට මෙම සැත්කම කළේ පසුගිය ජනවාරි මාසයේ යි. නමුත් ගිය වසරේ දෙසැම්බර් මාසයේ සිටම ඇය ප්‍රසිද්ධියේ දකින්න සිටියේ නැහැ.

කෙසේ හෝ වේවා, කේට්ගේ සැත්කම ගැනවත්, සුවය ලබමින් සිටින ඇයගේ තත්ත්වය ගැනවත් රජ පවුල ප්‍රමාණවත් තරමින් ජනතාව දැනුම්වත් නොකළ බවක් දකින්න ලැබුණා. ඇයට මාස ගණනක් විවේක ගන්නට සිදුවන බරපතල සැත්කමක් කළ බවක් පෙනුණත් එම සැත්කම කළේ කුමක් නිසා ද යන්නවත් හෙලි කළේ නැහැ. කේට් කුමරිය තම සෞඛ්‍යයට සම්බන්ධ කාරණා රහසිගතව තබා ගැනීමට කැමැති නිසා මෙම තොරතුරු හෙලි නොකරන බවයි පැවසුණේ.

කේට් පෙනී සිටින ඡායාරූපයක් පවා රජ පවුල ප්‍රසිද්ධියට පත් කළේ සැත්කමෙන් සෑහෙන කාලයකට පසුව යි. එහි ඇය පෙනී සිටියේ දරුවන් තිදෙනා සමග යි. ඡායාරූපය ගත්තේ විලියම් බවත් සඳහන් වුණා. කෙසේ හෝ වේවා, කලකට පසු නිකුත් කළ මේ ඡායාරූපය ගැන පවා විශාල ගැටලුවක් මතු වුණා. එයට හේතු වුණේ මෙම ඡායාරූපය අව්‍යාජ ඡායාරූපයක් නොව සංස්කරණය කරන ලද ඡායාරූපයක් බව ඇතැම් මාධ්‍ය ආයතන පෙන්වා දීම යි. අවසානයේ කේට් පවා ඒ බව පිලිගත් අතර මෙයින් ඇය සහ රජ පවුල පිලිබඳ පැවැති විශ්වාසය දැඩි ලෙස බිඳ වැටුණු බවක් පෙනුණා. එම අවස්ථාවේ මාධ්‍ය ආයතන ඉල්ලා සිටියේ මුල් ඡායාරූපය නිකුත් කරන ලෙසයි. නමුත් රජ පවුල එම ඉල්ලීම ඉටු කළේත් නැහැ. ඒ නිසා ඡායාරූපය සංස්කරණය කර ඇත්තේ කවරාකාරයෙන් ද යන්න දැන ගැනීමට නොහැකි වුණා. රජ පවුල කේට් පිලිබඳ යමක් වසන් කරනවා ද යන සැකයක් පවා ඉහත කාරණා නිසා ඇති වන්නට පටන් ගත්තා.

මෙම සැකසංකා වර්ධනය වෙද්දී ඇතැමුන් කේට්ගේ සැත්කම ගැනත් සැක කරන්නට පටන් ගත් බවක් පෙනුණා. ඇය සැත්කමකට මුහුණ දුන්නාය යන කතාව මෙවැනි පාර්ශ්ව විශ්වාස නොකළ බවයි දක්නට ලැබුණේ. විලියම්ගේ අනියම් ප්‍රේමය පිලිබඳ කතන්දරය කරළියට ආවේ මේ පසුබිමේ යි. කේට් දැන් දකින්නට නොලැබීම සහ විලියම්ගේ මෙම අනියම් ප්‍රේමය අතර සම්බන්ධයක් ඇති බව මේ උදවිය පවසන්නට වුණා.

මේ කතාවල ඇත්ත නැත්ත කෙසේ වෙතත්, විලියම් කුමරු සහ රෝස් හැන්බරි නැමැති කාන්තාවක අතර පැවැති බව කී ප්‍රේම සම්බන්ධයක් ගැන කතාවක් මෙයට වසර කිහිපයකට කලිනුත් විශාල ආන්දෝලනයක් ඇති කළා. මේ ගැන මුලින්ම මාධ්‍ය තුළ සාකච්ඡා වන්නට පටන් ගත්තේ 2019 වසරේ යි. එම අවස්ථාවේ මෙම කතාව නිසා කළබලයට පත් කේට් මේ ගැන සෘජුවම තම සැමියාගෙන් විමසා තිබූ බවකුත් පැවසුණා. මාධ්‍ය කියන ආකාරයට විලියම් එහි දී සිනාවක් පා පවසා තිබුණේ මෙම කටකතාවල කිසිදු සත්‍යයක් නැති බව යි. කෙසේ නමුත් මේ කතන්දර නිසා විලියම් සහ කේට් දෙදෙනාගේ විවාහය තුළ යම් දෙදරීමක් ඇති වූ බව රජ පවුලට සමීප අය පැවසුවේ යයි මාධ්‍ය සඳහන් කර තිබුණා.

රෝස් හැන්බරි යනු රජ පවුලට ඉතා කිට්ටු පවුලක සාමාජිකාවක්. ඇය කලක් කේට්ගේත් ඉතා සමීප මිතුරියකව සිට ඇති බව සඳහන් වෙනවා. කෙසේ නමුත් ඉහත කී කටකතාවලින් පසු කේට් ඇයගෙන් ඈත් වූ බවටත් කතා පැතිරුණා. එපමණක් නොව විලියම්ට පවා එම පවුලෙන් ඈත් වන ලෙස කේට් පවසා තිබූ බව ඇතැම් මාධ්‍ය වාර්තාවලින් පැවසුණා.

රෝස් විවාහක කාන්තාවක්. ඇය විවාහ වී සිටින්නේ ඩේවිඩ් රොක්සැවේජ් නැමැත්තකු සමගයි. රෝස් ගේ වයස අවුරුදු 40 ක් වන අතර ඩේවිඩ්ගේ වයස අවුරුදු 63 ක්. 2009 වසරේ ඔවුන් දෙදෙනා විවාහ වූ අවස්ථාවේ මෙම වයස් පරතරය ගැනත් බොහෝ කතාබහ ඇති වූ බව සඳහන් වෙනවා.

විලියම්-රෝස් අනියම් ප්‍රේමය ගැන කතා පැතිරෙද්දී එකල විලියම් සිය නීතිඥයන් හරහා මාධ්‍යයට යම් අනතුරු ඇඟවීමක් කර තිබූ බව පැවසෙනවා. මෙම කටකතා අසත්‍ය බවත්, ඉතා හානිකර බවත් එහිදී මෙම නීතිඥයන් පවසා තිබූ බවයි සඳහන් වුණේ.

කෙසේ හෝ වේවා, දැන් කේට් ප්‍රසිද්ධියේ පෙනෙන්නට නැති වෙද්දී නැවතත් කරළියට පැමිණ ඇත්තේ ඉහත කී ප්‍රේම කතාවයි. සමාජ මාධ්‍ය තුළ අදහස් දක්වන ඇතැමුන් පවසන්නේ මේ වනවිට විලියම්- කේට් දෙදෙනා වෙනම ජීවත් වෙනවා විය හැකි බවයි. ඔවුන් දික්කසාද වීමට සූදානම් වෙනවා විය හැකි බවටද ඇතැමුන් අදහස් දක්වා තිබෙනවා.

මේ කටකතාවලින් සමාජ මාධ්‍ය උණුසුම් වෙද්දී රජ පවුල පවසා ඇත්තේ කේට් විවේක ගැනීමෙන් පසු ලබන අප්‍රේල් මැද හරියේ සිට නැවත සුපුරුදු ලෙස ඇයගේ නිල කටයුතුවල නිරත වනු ඇති බවයි.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර