ශ්‍රී ලාංකීය ත්‍රස්තයා ඝාතනය නවසීලන්ත විපක්ෂයේ ප්‍රශංසාවට

 

මා ජීවත්වන ඕස්රේලියාවට ආසන්නම රට නවසීලන්තයයි. මේ දෙරටේම මිනිසුන් ජීවත් වන්නේ බොහෝ සාමයෙනි. සමගියෙනි. හිටිහැටියේ මෙම සාමය පුපුරා යන පුවත් ද අසන්නට ලැබේ. එවැනි පුවත් දෙරටේම මිනිසුන්ගේ සිත්වල අවුළුවන්නේ බිය හා සැකයයි. නමුත් දෙරටේ ආණ්ඩු වැඩි කාලයක් නොගෙන සිද්ධිය සමනය කොට රටත් ජනතාවත් යළිත් යථා තත්ත්වයට පත් කරවන්නට සමත් වෙයි. ඉකුත් සිකුරාදා නවසීලන්තයේ දී සිදුවූයේ එබඳු පුපුරා යාමකි.
අහිංසක නිරායුධ මිනිසුන් හත් දෙනෙකුට පිහිපහර එල්ල කරමින් ‘යකා’ නටන්නට පටන්ගත් ශ්‍රී ලාංකීය ත්‍රස්තවාදියා තත්පර හැටක් තුළ දී වෙඩි තබා ඝාතනය කරන්නට නවසීලන්ත පොලිසියට සිකුරාදා (03/09) හැකිවිය.

නවසීලන්තය මානව හිමිකම් පිළිබඳව දක්වන්නේ දැඩි සැලකිල්ලකි. එහෙත්,තමන්ගේ රටේ අහිංසක මිනිසුන්ට එල්ල වන ප්‍රහාර හමුවේ මානව හිමිකම් සම්බන්ධයෙන් සාකච්ජා පවත්වමින් කාලය කා දමන සිරිතක් නොමැති බව මෙයින් තහවුරු වෙයි. එරටේ මානව හිමිකම් සංවිධාන කොතෙකුත් වෙයි. එහෙත් එම සංවිධාන පොලිස් වෙඩි ප්‍රහාරයට එරෙහිව මේ දක්වා වචනයක් හෝ කතා නොකිරීම තුළින් පෙන්වා දෙන්නේ ත්‍රස්තවාදියෙකු පිළිතුරු දුන් ආකාරය පිළිබඳ ගැටළුවක් නොමැති බවයි.

මෙම ත්‍රස්තවාදියාගේ පුද්ගලික තොරතුරු විදෙස් ජනමාධ්‍ය හරහා එතරම් ස්ථිරව තහවුරු කර නොමැති අතර මොහු ශ්‍රී ලංකාවේ කාත්තන්කුඩියේ පදිංචි වී සිටි මොහොමඩ් සම්සුදීන් නැමැත්තෙකු යැයි පැවසේ. නවසීලන්තයේ අගමැති ජසින්දා ආඩර්න් මහත්මිය පුවත්පත් සාකච්ජාවේ දී පවසා සිටියේ “ප්‍රචණ්ඩ ත්‍රස්තවාදියකු අහිංසක නවසීලන්ත වැසියන්ට ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව”යි. “මෙම වෛරි සහගත ප්‍රහාරය සිදුකළේ ඇදහිල්ලක් විසින් නොවේ. පුද්ගලයකු විසින්. පොලිසිය විසින් මරා දමන ලද මෙම පුද්ගලයාගේ නඩුව සම්බන්ධයෙන් පවතින සියලුම නීතිමය බාධාවන් ඉදිරියේ දී ඉවත් කර ගැනීමට බලාපොරොත්තු වෙනවා” අගමැතිවරිය පවසයි.

ප්‍රහාරකයා නවසීලන්තයට පැමිණ ඇත්තේ 2011 වසරේදී ය. මොහු එරට පවතින නීති රාමුවට පිටින් යම්, යම් හිතුවක්කාරි ක්‍රියාවන් හී නිරත වීම හේතුවෙන් කීප වතාවක් පොලිස් අත්අඩංගුවට පත් වී තිබේ. වරින්වර උසාවිය හමුවට පමුණුවන ලද සැකකරුට 2016 වසරේ දී උසාවි මර්දන නියෝග රැසක් පනවා නිදහස ලබා දී තිබේ. ඒ දිගු කාලයක් සිරගත කිරීමට තරම් ප්‍රමාණවත් වරදක් මොහු විසින් සිදුකර නොමැති බවක් පෙනී ගිය බැවින් ය. එහෙත් ඔහු පසුපස පොලිසියේ ලුහුබැඳීම නවතා නැත. පසුගිය පස් වසර මුළුල්ලේ ඔහු නවාතැන් ගෙන සිටි නිවස වටාද පැය විසිහතර පුරා පොලිස් දැළ එළා තිබිණ. මන්ද ඒ වනවිට මොහු ඉස්ලාමීය රාජ්‍ය සටන්කාමි ආභාෂය ලැබූ පුද්ගලයෙක් බවට තොරතුරු පොලිසිය වෙත ලැබී තිබූ බැවින් ය.

සැකකරුවා මෙම ප්‍රහාරය සිදුකළ සැප්තැම්බර් 03 වැනිදා දහවල් ඔක්ලන්ඩ්, ග්ලේන් ඊඩ්න් උප නගරයේ පිහිටි නිවසින් පිටත් වී තිබේ. පොලිස් නිලධාරින්ද ඔහු ලුහුබැඳ යන්නට පටන් ගෙන ඇත. මේ දිනවල නවසීලන්තය පුරා ‘ඩෙල්ටා’ වසංගතය තදින් පැතිරී යයි. එබැවින් බොහෝ කඩ සාප්පු වසා දමා තිබේ. එහෙත් අවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය මිල දී ගැනීම පිණිස සුපිරි වෙළෙඳ සංකීර්ණ කීපයක් විවෘතව තබා ඇත. ප්‍රහාරකයා ගමන් කරන්නේ කිසියම් ආහාර ද්‍රව්‍යයක් මිල දී ගැනීමට යැයි පොලිසිය විශ්වාස කළේය. බටහිර ඔක්ලන්ඩ්, නිව්ලින් හි පිහිටි සුපිරි වෙළෙඳසලට සැකකරුවා ඇතුළු වනවිට පොලිසිය සිය අවධානය මඳකුදු ඔහුගෙන් ඉවතට නොගත්තේය. පැමිණ සිටි පාරිභෝගිකයෙකු සාක්කි දෙමින් පවසා ඇත්තේ ප්‍රහාරකයා එක්වරම වෙළෙඳසලේ රාක්කයකින් දිග පිහියක් අතට ගත් බවයි. අනතුරුව ඔහු එය ඉවක් බවක් නැතිව පහර පිට පහර එල්ල කරමින් මිනිසුන්ට තුවාල සිදු කරන්නට පටන්ගත් බව සාක්කිකරු වැඩිදුරටත් පවසා ඇත. තත්පර හැටක් වැනි සුළු කාලයක් ඔහු මරු විකල්ලෙන් පිහි ප්‍රහාර එල්ල කළේය. මිනිසුන් හත් දෙනෙක් පිහිපහර කාගෙන ඇද වැටෙද්දී පොලිසිය වෙඩි පිට වෙඩි එල්ල කොට සාහසිකයා එතැනම මරා දැම්මේය.
නවසීලන්ත විපක්ෂයේ ජාතික පක්ෂ නායක ජුඩිත් කොලින්ස් මහත්මිය පුවත්පත් සාකච්ඡාවේ දී පවසා සිටියේ මෙම ප්‍රහාරය ආගමික ගැටළුවක් ලෙස නොව, ත්‍රස්තවාදී ගැටළුවක් ලෙස සැලකිය යුතු බවයි. “අගමැතිවරිය ඉතා නිවැරැදියි. ප්‍රහාරකයා ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදියකු වන අතර අප නොදන්නා හේතුවක් නිසා ඔහු නවසීලන්ත ප්‍රජාව අතරේ ගැවසුණේය. මෙම අපරාධකරුට සමාජයේ නිදහසේ හැසිරෙන්නට ඉඩ ලබා දුන්නේ කෙසේද යන්න පිළිබඳව ප්‍රශ්න ඇසීමටත් ඒවාට පිළිතුරු දීමටත් අපට සිදුවනු ඇත.” යනුවෙන්ද ඇය පවසා තිබේ.

මේ අතර ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත්තේ මෙම අඥාන ප්‍රචණ්ඩත්වය හෙළා දකින බවයි. නවසීලන්ත රජයට ඕනෑම ආකාරයකින් සහයෝගය ලබා දීමට පසුබට නොවන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

මේ වනවිට සිය රට තුළ හිස ඔසවන්නට තැත් කරන අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් නවසීලන්ත රජයේ දැඩි අවධානය යොමු වී තිබේ. ප්‍රජාව තුළ තවත් මෙබඳු ගණයේ ත්‍රස්තවාදීන් කීප දෙනකු සැඟ වී සිටින බවට රජය විශ්වාස කරයි. ඔවුන් පසුපස ලුහුබැඳීම හා නුදුරේදීම ඔවුන් අත්අඩංගුවට ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් අගමැතිවරිය විශ්වාසය පළ කරයි.

අනුර හොරේෂස් බ්‍රිස්බෙන් සිට

එතෙර - මෙතෙර