සමාජ මාධ්‍ය හරහා දියත් වන සංවිධානාත්මක ශාසනික විනාශයට හසු නොවන්න

අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ වැරදිකරුවෙකු බවට මෙතෙක් කිසිදු අධිකරණයකින් ඔප්පු වී නොමැති වුවද, වත්මන් සමාජ මාධ්‍ය විසින් උන්වහන්සේ දැනටමත් වැරදිකරුවෙකු බවට පත් කර අවසන් යැයි ජාතික භික්ෂු එකමුතුවේ කැඳවුම්කරු පූජ්‍ය ඇලපාතගම ඥානරතන හිමියෝ පවසති. කොළඹදී පැවැති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ පෙන්වා දුන්නේ, මෙම සිදුවීම මුල් කරගනිමින් සමස්ත මහා සංඝරත්නයම වැරදිකරුවන් වන තැනට පත් කිරීම සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ද්වේෂසහගත ප්‍රචාරයක් දියත් වෙමින් පවතින බවයි. ජාතික හා ශාසනික අර්බුදයන්හිදී නිරන්තරයෙන් hඬක් නඟන ප්‍රමුඛ පෙළේ ක්‍රියාකාරී යතිවරයකු වන ඇලපාතගම ඥානරතන හිමියන් එහිදී වැඩිදුරටත් චෝදනා කළේ, කිසියම් අදෘශ්‍යමාන හස්තයක් සහ රාජ්‍ය නොවන සංවිධාන (NGO) කල්ලියක් ඒකාබද්ධ වී අටමස්ථානාධිපති යන උත්තරීතර තනතුර ඉලක්ක කර ගනිමින් මෙම සූක්ෂම කුමන්ත්‍රණය ක්‍රියාත්මක කරන බවයි. අධිකරණය සහ නීතිඥවරුන් පසෙක තබා, වත්මන් සමාජ මාධ්‍ය විසින් රටේ නීතිය තමන් සන්තකයට ගෙන ක්‍රියා කරන ඛේදනීය ස්වභාවයක් වර්තමානයේ දකින්නට ලැබෙන බව ද උන්වහන්සේ අවධාරණය කළහ.

සමාජ මාධ්‍ය හරහා සිදු කෙරෙන මෙම අසාධාරණ පහරදීම් හේතුවෙන් සමස්ත සංඝ සමාජය තුළම දැඩි බලපෑම් සහගත සහ කලකිරීම් සහගත සිතුවිලි මතු වීමේ අවදානමක් පවතින බව උන්වහන්සේ පෙන්වා දෙති. විශේෂයෙන්ම වර්තමානයේ ශාසනය තුළ වැඩ වෙසෙන තරුණ භික්ෂූන් වහන්සේලාට, මෙම සංවිධානාත්මක මඩ ගැසීම් හේතුවෙන් ඇති වන මානසික බිඳවැටීම් මත උතුම් වූ පැවිදි දිවිය අතහැර උපැවිදි වීමේ දැඩි ප්‍රවණතාවයක් නිර්මාණය විය හැකි බවට ද උන්වහන්සේ අනතුරු අඟවති. ලංකාවේ දැනට වැඩ වෙසෙන 35,000ක් පමණ වන සමස්ත භික්ෂු පිරිස අතරින් අතළොස්සක් දෙනා අතින් යම් නොගැලපෙන දේ සිදු විය හැකි වුවත්, ඉතිරි 34,000ක් වන අතිමහත් බහුතරයක් මහා සංඝරත්නය දුෂ්කර ගම්මානවල දාන වේල පවා නිසි ලෙස නොමැතිව මහත් කැපවීමෙන් ශාසනය රකින බව බෞද්ධ ජනතාව සිහි තබා ගත යුතු බව ද උන්වහන්සේ ප්‍රකාශ කරති.

මෙරට බෞද්ධ උරුමය සහ භික්ෂු සමාජය මුහුණ දෙන මෙවැනි සූක්ෂම අභියෝග hමුවේ මහා සංඝරත්නය සහ ගිහි සමාජය එකට පෙළගැස්වීමට සක්‍රිය දායකත්වයක් දෙන ඇලපාතගම ඥානරතන හිමියන්, මෙම සැලසුම්සහගත ශාසනික විනාශයට hසු නොවන ලෙස සමස්ත බෞද්ධ ජනතාවගෙන් ආදරණීයව ඉල්ලා සිටිති. එමෙන්ම, නිදහස් මතවාදයන්ට මුවා වී රටේ සාමකාමී පැවැත්ම සහ ආගමික සහජීවනය විනාශ කරන සමාජ මාධ්‍ය ජාලාවන් වහාම නියාමනය කිරීමට දැඩි සහ විධිමත් පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා ඇතුළු වගකිවයුතු වත්මන් රජයෙන් තමන් වහන්සේ ඇතුළු ජාතික භික්ෂු එකමුතුව දැඩිව ඉල්ලා සිටින බව ද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරති.

කාලීන පුවත්